මාතර,වැලිගමW15හෝටලය අසලදී වෙඩි වැදීමෙන් පසු කොළඹ බලා යෑම මිස තුවාල කරුවන් ගැන බැලීමට වෑන් රථයේ පැමිණි කිසිවෙකුට අවශ්‍යතාවයක් නොතිබූ බව අද (18දා) අනාවරණය විය.
පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා සිදු කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධූරයේ බලතල බරපතළ අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙක් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුව ඊයේ රැස් වූ අතර, එහිදී සාක්ෂි ලබා දුන් අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසයේ පොලිස් සැරයන් සමරකොන් විජේවික්‍රම විධානේ මුහන්දිරම්ගේ උපුල් වසන්ත අල්විස් විජේවික්‍රම මහතාගේ සාක්ෂි මත මෙම කරුණු අනාවරණය විය.
අදාළ වෙඩි තැබීම සිදු වූ දිනයේ තමා අධිවේගී මාර්ගයේ සේවයේ නිරතව සිටින අවස්ථාවේ අලුයම 2.43ට වැලිගම පොලීසියෙන් ස්ථන උප සේවකට මෙලෙස වෙඩි තැබීමක් සිදු කර සුදුපාට කේ.ඩී.එච් වර්ගයේ වෑන් රථයක් පලා යන බවට පණිවිඩයක් ලැබුණු බවත්, ඒ අනුව වාහන පරික්ෂා කිරීම ආරම්භ කළ බවත් ඔහු පැවසීය.
ඒ අනුව මෙම වෑන් රථය පැමිණි අවස්ථාවේ තමා සහ ජයසිංහ නැමැති උසස් නිලධාරියා සමග එක්ව වීදුරුද කැඩී පලා යමින්සිටි එම වෑන් රථය නවතා ඇතුළේ සිටින පිරිස නිරීක්ෂණය කර ඔවුන් කවුරුන්ද යන්න විමසා සිටි බවත්, එහිදී වෑන් රථයේ සිටි සී.අයි. සිල්වා යනුවෙන් සඳහන් කළ පුද්ගලයෙකු ඔවුන් පොලිස් නිලධාරීන් බව සඳහන් කර හැඳුනුම්පතක් පෙන්වා කඩිනමින් කොළඹ බලා යෑමට අවශ්‍ය බව පැවසූ බවත් සාක්ෂිකරු සඳහන් කළේය.
කෙසේ වෙතත් එම හැඳුනුම්පතේ ඡායාරූපය හඳුනාගත නොහැකි ලෙස තිබූ බැවින් ඔවුන් පොලිස් නිලධාරීන් ලෙස තමා විශ්වාස නොකළ බවත්, අනතුරුව තමා සිය රාජකාරී ස්ථානයේ ස්ථානාධිපති දැනුවත් කර පසුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා අමතා මෙම සියලු කරුණු සඳහන් කළ බවත් පැවසීය.
එහිදී මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා විසින් මෙම පිරිස කෙසේ හෝ නවතා ගන්නා ලෙසත්, තමා විනාඩි 20ක් ඇතුළත පැමිණෙන බවටත් දැනුම්දුන් බව සාක්ෂිකරු පැවසීය.
ඒ අනුව වෑන් රථය නවතා ගැනීමට යෑමේදී එය නොතකා සී.අයි. සිල්වා යන අය විසින් ‘අපි යං යන්න ’යනුවෙන් රථයේ රියදුරුට උපදෙස් දුන් බවද ඔහු පැවසීය. එහිදී තමා සතුව තිබූ ටී56 ගිනිඅවිය ලෝඩ් කර ‘ගන්න සූදානම් වෙන්න එපා, වෙඩි තියන්න වෙනවා’ යනුවෙන් ප්‍රකාශ කර පසුව වෑන් රථයේ යතුර සිය භාරයට ගත් බවත් නීතිපති දෙපාර්තමෙන්තුව නියෝජනය කරමින් පරීක්ෂණ කමිටුවට සහභාගී වූ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ දිලීප පීරිස් මහතාගේ ප්‍රශ්න කිරීම හමුවේ පැවසීය.
අනතුරුව 1990 ගිලන් රථය පැමිණෙනවාත් සමගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා පැමිණි බවද ඔහු පැවසීය.
මෙලෙස ගිලන් රථය පැමිණි අවස්ථාවේ තුවාල ලබා සිටි නිලධාරියා එසවීමට ‘වෑන් රථයේ සිටි කිසිවෙකු උදව් කළේ නෑ’ යනුවෙන් සඳහන් කළ ඔහු අනතුරුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා පැමිණි රථයේ රියදුරු, ගිලන් රථයේ දෙදෙනෙකු සමග තුවාල ලැබූ නිලධාරියාව ගිලන් රථයට ඔසවා ගෙන ගිය බවද ඔහු පැවසීය.
මෙම අවස්ථාවේ තමා ගිලන් රථයට නැග තුවාල ලැබූ පුද්ගලයා පැලඳ සිටි ‘බයිසිකල් ජැකට්’ එක ගැලවූ පස ඇඳ සිටි ටී ෂර්ට් එක ලේ නිසා ඇඟට ඇලී තිබුණු බවත්, අනතුරුව ගිලන් රථයේ සිටි හෙද නිලධාරිනියට එය කපා ඉවත් කරන ලෙස තමා පැවසූ බවත්, එහිදී වම්පස තනපුඩුවට ඉහළින් වෙඩි වැදුණු සලකුණු තිබෙනු තමා නිරීක්ෂණය කළ බවත් සාක්ෂිකරු පැවසීය.
අනතුරුව ස්පන්දන මැෂින් එක සවි කිරීමෙන් පසු ස්පන්දනය 52 තිබූ බවට එම අවස්ථාවේ හෙද නිලධාරිනිය සඳහන් කර ඔහුගේ තත්ත්වය අසාධ්‍ය බවට ප්‍රකාශ කළ බවත්, එම අවස්ථාවේම කොර ගසමින් වෑන් රථයේ සිට වෙඩි වැදීමෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයෙකු බැසිනු දුටු බවත් ඔහු පැවසීය.
එමෙන්ම එම අවස්ථාවේ ඔහු විසින් ගිනිඅවියක් ගෙන තමාගේ පිටුපසින් ඉණේ ගසා ගනු දුටු බවත්, අනතුරු ගිනි අවිය වෙනත් අයෙකුට ලබා දී රෝහල වෙත යාමට පැමිණෙන ලෙස ඔහුට දැනුවත් කළ බවත්, අනතතුරුව ඔහු පැමිණි පසු තමා ඉණ අල්ලා බැලූ බවත් සාක්ෂිකරු සාක්ෂි ලබා දෙමින් සඳහන් කළේය.
මෙහිදී සාක්ෂිකරු සාක්ෂි ලබා දෙමින් අවධාරණය කළේ වෑන් රථයේ පැමිණි කිසිවෙකුට තුවාලකරුවන් රෝහල් ගත කිරීමට අවශ්‍යතාවයක් නොතිබුණු බවත්, එසේ තිබුණේ නම් සිද්ධිය වූ ස්ථානයේ සිට වැඩි දුරක් නොයා ඊට ආසන්නයේම තිබෙන වැලිගම වලාන රෝහල, අහංගම ප්‍රාදේශීය රෝහල හෝ මාතර රෝහලට යාමට තිබූ බවත් ඔහු පැවසීය.
කෙසේ වෙතත් ගාල්ල කරාපිටිය රෝහලට යෑම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ උපදෙස් මත තීරණය කළ බවත්, වෙඩි වැදුණු පුද්ගලයා බරපතළ තත්ත්වයෙන් පසුවීම මෙන්ම කුඩා රෝහලකට ඇතුළත් කිරීමේදී වෛද්‍යවරු ගෙන්වා ගැනීමට ඇතිවන ප්‍රමාදයන් පදනම් කරගෙන මෙම තීරණය ගත් බවත් සාක්ෂිකරු සාක්ෂි ලබා දෙමින් සඳහන් කළේය.