නෙළුව ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස සමගි ජනබලවේගයේ ආර්.ජී.අජිත් චන්දන මහතා ජන්ද දහයක් ලබාගනිමින් තේරීපත්විය.
සභාපති තනතුර සඳහා ඉදිරිපත් වූ ජාතික ජනබලවේගයේ කණිෂ්ඨ සෙව්වන්ද එදිරිසිංහ මහතා ලබගත්තේ ජන්ද හයක් පමණි.
නෙළුව ප්‍රාදේශීය සභාව සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් පසුව නව සභාපති වරයෙකු තෝරා පත්කරගැනීම අද දකුණු පළාත් පාලන කොමසාරිස් එරන්දි උමයංගනා මෙන්ඩිස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් නෙළුව ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී සිදුකරනු ලැබීය.
මෙම ප්‍රාදේශීය සභාව සඳහා මෙවර මැතිවරණයෙන් සභිකයන් 16 දෙනෙකු තේරීපත්වූහ.ජාතික ජනබලවේගයෙන් සභිකයන් 06 ක්ද,සමගි ජනබලවේගයෙන් සභිකයන් 05 ක්ද,ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් සභිකයන් 03 ක්ද,එක්සත් ජාතික පක්ෂයෙන් සභිකයන් 01 හා සර්වජන බලයෙන් සභිකයන් 01 ක් වශයෙන් මෙම සභිකයන් 16 දෙනා තේරි පත්වූහ.
සභාපති වරයා තෝරාගැනීම සඳහා මෙහිදී රහස් චන්දයක් පවත්වන ලෙස ජාතික ජනබලවේගයේ සභිකයන් යෝජනා කළ අතර විවෘත චන්දයක් පවත්වන ලෙස විපක්ෂ සභිකයන් ඉල්ලා සිටියහ.රහස් චන්දයක් පවත්වන යෝජනාවට චන්ද හයක්ද විවෘත චන්දයක් පවත්වන ලෙස චන්ද දහයක්ද ලැබීම නිසා කොමසාරිස් වරිය විසින් විවෘත චන්ද විමසීමක් පවත්වනු ලැබීය.
ඒ අනුව පැවැති චන්ද විමසීමේදී සමගි ජනබලවේගයෙන් ඉදිරිපත් වූ ආර්.ජී.අජිත් චන්දන මහතාට ජන්ද දහයක් ලැබුණ අතර ජාතික ජනබලවේගයෙන් ඉදිරිපත් වූ කණිෂ්ඨ එදිරිසිංහ මහතාට හිමිවූයේ චන්ද හයක් පමණි.මේ අනුව වැඩි චන්ද හතරක් ලබාගනිමින් අජිත් චන්දන මහතා නෙළුව ප්‍රාදේශීය සභාවේ සභාපති වරයා ලෙස තේරි පත්විය.
උපසභාපති තනතුර සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ එච්.කේ.තිලක් කුමාර මහතා ඉදිරිපත් වූ අතර ජාතික ජනබලවේගයේ නන්දසිරි ගුණතුංග මහතා ඉදිරිපත් විය.එම තනතුරටද පැවැති විවෘත චන්ද විමසීමෙන් වැඩි ජන්ද හතරකින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ එච්.කේ.තිලක් කුමාර මහතා තේරිපත්විය.
මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය හා සමගි ජනබලවේගයේ හිනිදුම ආසන සංවිධායක පියසේන ගමගේ,හිටපු දකුණු පළාත් සභා නියොජ්‍ය සභාපති හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිනිදුම සංවිධායක චම්ලි විතානාච්චි ,හිටපු නෙළුව ප්‍රාදේශීය සභාවේ සභාපති එම්.අයි.ජී.සුනිල් ,හා නෙළුව ප්‍රාදේශීය සභාවේ ලේකම් අනුර ළමාහේවා මහතා සහභාගිවී සිටියහ.
ඇල්පිටිය චන්ද්‍රසිරි ගුණසේකර.නෙළුව පියරත්න ජයවික්‍රම .