මේ ආණ්ඩුව ගේන්න මහන්සි වෙච්ච අයට පවා අද ආණ්ඩුව වහකදුරු වෙලා
සුවිශේෂී වර්ෂයක් - නිවාඩු වැඩි වර්ෂයක්
පක්ෂ විපක්ෂ සියලුම මැති ඇමතිවරුන් පළාත් පාලන මැතිවරණයේදී වැඩි ජයග්‍රහණයක් ලබාගැනීමට වෙහෙසී කටයුතු කරමින් සිටියි.
ඇමති වජිර අබේවර්ධනද එක්සත් ජාතික පක්ෂයට ගාල්ල දිස්ත්‍රික්කයේදී අතිවිශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් කරදීම සඳහා වෙහෙසී කටයුතු කරමින් සිටියි.
ඒ අනුව ඉකුත් සති අන්තයේදී ගාල්ල දිස්ත්‍රික්කයේ ආසන බලමණ්ඩල 10ම කැඳවීමට වජිර පියවර ගෙන තිබුණි. මෙම ආසන බලමණ්ඩල රැස්වීම් සඳහා විදේශ කටයුතු ඇමති තිලක් මාරපන, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමති ගයන්ත කරුණාතිලකද එක්ව සිටියහ. මෙම ආසන බලමණ්ඩල රැස්වීම්වලදී ඡන්ද පොත් බෙදා දී මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කිරීමට අවශ්‍ය උපදෙස් හා මගපෙන්වීම් අදාළ අමාත්‍යවරු විසින් සිදුකළහ.
බදාදා සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවති එජාප ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමේදී පක්ෂ මහලේකම් කබීර් හෂීම් ඇමති වජිරට විශේෂ ස්තුතියක් පළ කළේය. ඒ ඉකුත් සති අන්තයේදී ගාල්ල ආසන බලමණ්ඩල 10 අතිසාර්ථක ලෙස පැවැත්වීම පිළිබඳවය.
නව වසරේ වැඩ ආරම්භ කිරීම වෙනුවෙන් ස්වදේශ කටයුතු හා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ දෙක මගින් සංවිධානය කර තිබූ උත්සව අවස්ථාවට එක්වීමට ඇමති වජිර සහ ඇමති රංජිත් මද්දුමබණ්ඩාර පැමිණියහ. මෙහිදී ඇමති වජිර සේවකයන්ට විශේෂ යමක් කියා සිටියේය.
‘2018 වසර සුවිශේෂී වර්ෂයක්. ඒ මොකද මේ අවුරුද්දට නිවාඩු දින 124ක් තියෙනවා. ඒ වගේම පෝය 13ක් යෙදී තිබෙන නිසාත් වෙසක් පෝය අප්‍රේල් 29 වැනි දිනට යෙදී ඇති නිසාත් නිවාඩු දින නොතකා රට සහ ජනතාව වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන් ලෙස සේවය කිරීම තමයි වැදගත්. ඔබ සියලුම දෙනා මේ සම්බන්ධයෙන් අවධානය යොමුකරයි කියලත් මම හිතනවා’ යැයි කීවේය.
ඇමතිවරුන්ගේ යෝජනාව හා මන්ත්‍රීවරුන්ගේ යෝජනාව
2018 වසරේ ආරම්භ වීම නිමිත්තෙන් ජනවාරි 02 වැනි දින අරලියගහ මන්දිරයේ රාජකාරි කටයුතු ඇරඹීමේ අවස්ථාවට අගමැති රනිල් වික්‍රමසිංහ සමග මැති ඇමතිවරු එක්වූහ.
මැතිවරණ කොමිසම විසින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කළ මාධ්‍ය උපමාන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ යෝජනා සම්මතයට මෙම අවස්ථාවේදී අගමැතිවරයා අත්සන් කළ අතර, එම අවස්ථාවටද ඇමතිවරු කිහිපදෙනෙක්ම එක්වූහ. තේපැන් සංග්‍රහයෙන් පසුව අගමැතිවරයාට පෞද්ගලිකව හමුවූ ඇමතිවරුන් කිහිපදෙනෙක් අගමැති රනිල්ට යෝජනාවක් කළේය.
‘අලුතින් පිහිටුවන දුෂණ වංචා අධිකරණයේ පළමු නඩුව විදිහට බැඳුම්කර කොමිසමේ නඩුව අහන්න කියලා අපි යෝජනා කරනවා සර්’ යැයි ඔවුන් කියා සිටියහ.
බැඳුම්කර කොමිසමේ වාර්තාව සහ එහි නිර්දේශ පිළිබඳව විවිධ අදහස් මෙහිදී පල කළ අතර, ඊට පසු දිනයේදී ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශයක් කරන බවට මාධ්‍ය වාර්තා පළවී තිබූ බැවින් ඒ පිළිබඳවද මෙහිදී විවිධ අදහස් පළ විය.
අගමැතිවරයා සමග සාකච්ඡා කොට ඇමතිවරුන් ඉවත්ව ගිය පසු පසුපෙළ මන්ත්‍රීවරුන්ද අගමැතිවරයා හමු විය. ඔවුන් තවත් යෝජනාවක් අගමැතිවරයාට ඉදිරිපත් කළහ.
‘බරපතළ දූෂණ වංචා විමර්ශන කොමිසමේ වාර්තා 17ක් ජනාධිපතිතුමාට බාරදීල තියෙනවා සර්. මේ වාර්තාවල නිර්දේශ ඉක්මනින් ක්‍රියාත්මක කරන්න කියල අපි ඉල්ලන්න කැමතියි සර්’
ඔවුන්ගේ යෝජනාවටද අගමැති රනිල් ඇහුම්කන් දුන් අතර, මේ වර්ෂයේ සැලසුම් පිළිබඳවද, පුංචි ඡන්දය පිළිබඳවද ඔවුන් දීර්ඝව කතා කළේය.
නවීන්ගෙන් අලුත් යුනිට් එකක්
අලුත් අවුරුද්ද වෙනුවෙන් අමාත්‍යාංශවල වැඩකටයුතු ආරම්භ කෙරුණේ අඟහරුවාදා උදෑසනය. අඟහරුවාදා උදෑසන කැබිනට් මණ්ඩල රැස්වීමත් පැවැත්වෙන නිසා අලුත් අවුරුද්දේ වැඩ කැබිනට් රැස්වීමෙන් ආරම්භ කරනවාද නැතිනම්, අමාත්‍යාංශයට ගොස් ආරම්භ කරනවා දැයි ඇමතිවරුන් සිටියේ දෙගිඩියාවෙනි.
මේ අතර සඳුදා රාත්රියේදී කැබිනට් ලේකම් කාර්යාලයෙන් ඇමතිවරුන්ට දුරකථන ඇමතුම් ලබාදී පැවසුවේ අමාත්‍යාංශවල රාජකාරි ආරම්භ කිරීමෙන් පසුව දහවල් එකොළහට කැබිනට් රැස්වීම පවත්වන බවයි.
නවීන් දිසානායක ඇමතිවරයාත් උදෑසන අටයිතිහ වනවිට අමාත්‍යාංශයට පැමිණ අලුත් අවුරුද්දේ වැඩකටයුතු ආරම්භ කළේය.
“අපි කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කරලා අවශ්‍ය ක්ෂේත්‍ර සම්බන්ධයෙන් තීරණ ගන්නවා. ඒත් සමහර තීරණ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. තීරණ ක්‍රියාත්මක කිරීමට විධිමත් ක්‍රමයක් අවශ්‍යයි” යැයි නවීන් අමාත්‍යාංශ ලේකම්වරයාට කීවේය. ලේකම්වරයාද එය අනුමත කළේය.
“ඉතාමත් ඉක්මනින් කැබිනට් තීරණ ක්‍රියාත්මක කරන යුනිට් එකක් හදන්න” යැයි නවීන් ලේකම්වරයාට උපදෙස් දුන්නේය.
අමාත්‍යාංශ නිලධාරීන්ද නවීන්ගේ අලුත් යෝජනාව ගැන කතා කළේ ප්‍රසාදයෙනි.
කෙහෙල්මලකටද මේ ජනාධිපති වෙන්නේ
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සපුගස්කන්ද පිරිපහදුවේ සේවක හමුවකට අමාත්‍ය අර්ජුන රණතුංග පසුගිය බ්‍රහස්පතින්දා එක්විය. විවිධ දේ පවසමින් සිටි ඔහු එහිදී මෙසේද කීවේය.
“මේ ජාතික ආණ්ඩුව මගේ ජීවිතේ තිබුණු ලොකුම ආසාවක්. අපි හැමදාම පක්ෂ බදාගෙන මරා ගන්නවා . නමුත් අද අපි ඒ සංස්කෘතිය වෙනස් කරලා තියෙනවා. අද අපේ රට අභියෝග මැද අලුත් ගමනක් යමින් තිබෙන්නේ. තමුන්නාන්සේලාට කියන්න ඕන, මේ අවුරුද්ද අපේ ඉතිහාසේ වැඩියෙන්ම ණය වාරික ගෙවන්න තියෙන අවුරුද්දක්. හැබැයි අපි පුළුවන් තරම් මේ ණය ප්රශ්නය කළමනාකරණය කිරීමට උත්සාහ ගන්නවා. රටේ ජනතාවට ණය බර නොදී මේ ණය ගෙවන්න කටයුතු කරනවා.
පසුගිය අවුරුදු දෙකේදී මේ ණය ප්රශ්නය විසඳීමට අපේ ආණ්ඩුව, කැබිනට් මණ්ඩලය පුදුම කැපවීමකින් කටයුතු කළා. කැබිනට් මණ්ඩලය විතරක් නෙමෙයි ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් රටේ දියුණුවට විශාල කැපවීමක් කළා. මට එක වෙලාවකට හිතෙනවා මොන කෙහෙල්මලකටද මේ ජනාධිපති වෙන්නේ. මොන කෙහෙල්මලකටද මේ අගමැති වෙන්නේ කියලා. මේ අමාත්‍යාංශයක් අරගෙන මට තියෙන හිසරදය කොච්චරද ? නමුත් අපේ මේ නායකයන් දෙදෙනා ප්‍රධාන පක්ෂ දෙක එකතු කරගෙන, තුන්වැනි ප්‍රධාන පක්ෂයත් එකතු කරගෙන, විශේෂයෙන්ම උතුරේ පක්ෂද දකුණේ පක්ෂද කියන්නේ නැතුව සිංහලද, දෙමළද, මුස්ලිම්ද කියන්නේ නැතුව සියලුම පක්ෂ එකතු කරගෙන අද මේ රට වෙනස් තත්ත්වයකට ගෙනිහිල්ල තියෙනවා.
අඩුපාඩු තියෙනවා. මමත් සමහර වෙලාවට කලකිරිලා ඉන්නවා හොරු අල්ලලා නෑ කියලා. ඒක මට තියන ලොකුම ප්‍රශ්නයක්. නමුත් අපේ ආණ්ඩුවේ වුණත් වැරැද්දක් කළා නම් ඊට දඬුවම් දෙන්න අපේ ජනාධිපතිතුමයි අගමැතිතුමයි අද තීරණ අරගෙන තියෙනවා’.
ගම්පහ අලවා තිබූ පෝස්ටරය
ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංගගේ ඡන්ම දිනය යෙදී තිබුණේ ජනවාරි 01 වැනිදාටය. එදින විශාල පිරිසක් උඩුගම්පොළ පිහිටි ප්‍රසන්නගේ නිවසට රැස්ව සිටියේ ප්‍රසන්නට සුබ පැතීමටය. ප්‍රසන්නට එදින උදෑසන මහින්දගෙන් ඇමතුමක් ලැබිණි. උපන් දිනයට සුබ පැතූ මහින්ද ප්‍රසන්න සමග මැතිවරණය සම්බන්ධයෙන්ද කතාබහක නියැළුණේය.
පසුගිය සතියේ දේශපාලන ලෝකයේ කතාබහට ලක්වූ ප්‍රධාන මාතෘකාවක් වූයේ ‘ජනතාවගේ නායකයා අගමැති කරන ගම්පහ දිස්ත්‍රික් සටන^ ලෙසින් අලවා තිබූ පෝස්ටරයක් සම්බන්ධයෙනි. මහින්දගේත් නෙළුම් පොහොට්ටුවේත් ඡායාරූප යොදා පෝස්ටරය අලවා තිබුණේ ප්‍රසන්නය. ගම්පහ දිස්ත්‍රික්කය පුරා අලවා තිබූ පෝස්ටරය පක්ෂ විපක්ෂ කාගෙත් කතාබහට ලක්විය.
එක්සත් ජාතික පක්ෂය කල්පනා කළේ මෙම පෝස්ටරය මහින්දගේ ප්‍රධානත්වයෙන් 06 වැනිදා කඩවත දී පැවැත්වීමට නියමිත ජනරැලිය අරමුණු කරගෙන නිර්මාණය කරන ලද්දක් බවටය. පෝස්ටර් ලක්ෂ 03ක් මුද්‍රණය කර ඇති බවද ඔවුන් සොයාගෙන තිබිණි. එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම මහින්දගේ පාර්ශ්වයේ අයද මෙම පෝස්ටරය ගැන කතාබහ කළහ.
පෝස්ටරය ගැන දැනගන්නට ලැබුණු වහාම මහින්ද ප්‍රසන්නට කතා කළේය. ‘මොකක්ද ප්‍රසන්න මේ පෝස්ටරයක් ගහලා තියෙනවා කියන්නේ?’ මහින්ද ඇසුවේය.
‘ඔව් සර් මම එහෙම පෝස්ටරයක් ගැහුවා තමයි. මේක තමයි මේ පාර මැතිවරණයේදී අපේ ගම්පහ දිස්ත්‍රික්කයේ තේමාව. අපේ ජනතාවගේ නායකයා වන්නේ ඔබතුමායි. මේ මැතිවරණයෙන් ලබන ජයග්‍රහණයත් එක්ක අපි මේ ආණ්ඩුව ගෙදර යවලා අපේ ආණ්ඩුවක් පිහිටුවනවා කියන එක තමයි අපි මේ පෝස්ටර් එකෙන් අදහස් කළේ. අපි 2015 ජනවාරි 09 වැනිදා ඉඳලම පාරට බැහැලා ඉන්නේ ඔබතුමා මේ රටේ නායකත්වයට පත්කරන්නයි. මේ මැතිවරණය තමයි අපි ඒකට තියන මුල්ම පියවර’ ප්‍රසන්න පැහැදිලි කළේය.
ඔය විදියටම ගියොත් රටම හොල්ලන ප්‍රතිඵලයක් ගන්න පුළුවන්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුවෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කරන අපේක්ෂකයන්ගේ සමුළුවක් අඟහරුවාදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණේ මහින්දගේ ප්‍රධානත්වයෙනි. අතිසාර්ථකව පැවැත්වුණු සමුළුවේ සංවිධාන කටයුතුවලට කරගසා තිබුණේ රෝහිත අබේගුණවර්ධන සහ මහින්දානන්ද අලුත්ගමගේය.
විශේෂයෙන් රෝහිත සමුළුවට ආරාධිතයෙකු වශයෙන් එක්වීමටවත් උත්සුක නොවී ‘වෝකිටෝකි^ යන්ත්‍රයක්ද අතැතිව සමුළුව අවසන් වන තුරුම සංවිධාන කටයුතු මෙහෙයවනු දකින්නට ලැබිණි. සමුළුව අවසන් වීමෙන් පසුව මහින්දගේ නිල නිවසට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු ගිය අවස්ථාවේදී මහින්ද පෞද්ගලිකවම රෝහිතට සහ මහින්දානන්දට ස්තුති කළේ සාර්ථක සමුළුවක් පැවැත්වීමට දැක්වූ වෙහෙස අගය කරමිනි.
‘ඔයාලා ගොඩක් මහන්සි වෙලා සමුළුව සංවිධාන කරලා තිබුණා. අනෙක් පක්ෂ එක්ක බලනකොට සාර්ථක සමුළුවක් පවත්වන්න ලැබුණේ ඒ මහන්සිය හින්දයි. ඔය විදියටම මහන්සි වෙලා මේ ගමන ගියොත් අපට මේ මැතිවරණයේදී රටම හොල්ලන ප්‍රතිඵලයක් ලබන්න පුළුවන්’ යැයි මහින්ද පැවසීය.
‘අද රටම කතා වෙන්නේ පොහොට්ටුව ගැනයි. යන යන තැන මිනිස්සු කියන්නේ ආණ්ඩුව ගෙදර යවන්න පුළුවන් එකම කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂය කියලයි’ පවිත්‍රා පෙන්වා දුන්නාය.
‘අපේ ජයග්‍රහණය ස්ථිරයි. ඒ හින්දා තමයි එක්සත් ජාතික පක්ෂයත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අපට කකුල් මාට්ටු දාන්න පටන් අරගෙන තියෙන්නේ. එයාලා පරාජයෙන් බේරෙන්න හදන්නේ අපට කකුල් මාට්ටු දාලයි’ ප්‍රසන්න පැවසීය.
‘ඒක නම් ඇත්ත. අපට මැතිවරණ නීතියට අනුකූලවවත් පක්ෂ කාර්යාලයක් පිහිටුවන්න, පත්‍රිකා බෙදන්න පොලීසිය ඉඩ දෙන්නේ නැහැ. අපේ අපේක්ෂකයන්ට ලොකු අසාධාරණකම් වෙනවා මේ ආණ්ඩුවේ නීතිය නැමිල්ල හින්දා’ නාමල් කීවේය.
‘ආණ්ඩුව මොනවා කළත් මහජනතාවගේ මතය වෙනස් කරන්න පුළුවන්කමක් නැහැ. මේ ආණ්ඩුව ගේන්න මහන්සි වෙච්ච අයට පවා අද ආණ්ඩුව වහකදුරු වෙලා තියෙන්නේ’ මහින්ද පැවසීය.
‘සර්ගේ මූණට තමයි දැන් රටේ ලොකුම ඉල්ලුම තියෙන්නේ. පුළුවන් නම් යූ.ඇන්.පීකාරයොත් සර්ගේ මූණ දාලා පෝස්ටර් ගහයි. ඒ තරමට සර්ගේ මූණ ජයග්‍රහණයේ ලකුණ වෙලා ඉවරයි’ ප්‍රසන්න පැවසීය.
‘ඒක තමයි මම කිව්වේ ඕනේ කෙෙනකුට මගේ මූණ දාලා පෝස්ටර් ගහන්න පුළුවන්. හැබැයි අයිතිය නිල වශයෙන් තියෙන්නේ පොහොට්ටුවේ අපේක්ෂකයන්ට විතරයි කියලා’ මහින්ද සිනාසෙමින් පැවසීය.
මෛත්‍රී ප්‍රකාශය කරද්දි මහින්දගේ ගෙදර කතාවුණු දේවල්
බැඳුම්කර කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් සිදුකළ බදාදා සවස ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් සිටියේ මහින්දගේ විජේරාම පෙදෙසේ පිහිටි නිල නිවසේය. ප්‍රසන්න, නාමල්, ජොන්ස්ටන්, පවිත්‍රා ඇතුළු ඒකාබද්ධයේ මන්ත්‍රීවරු පිරිසක් එහි සිටියහ.
‘ජනාධිපතිවරයාගේ කතාවත් හරියට පුස්ස බින්දා වගේ තමයි. ජනතාව බලන් හිටියේ බැඳුම්කර කොමිසම් වාර්තාවෙන් මීට වඩා දෙයක් එළිවෙයි කියලා’ ප්‍රසන්න පැවසීය.
‘ඒක නම් ඇත්ත. බැඳුම්කර මගඩියේ ලොකු මොළකාරයෝ බේරලා තමයි වාර්තාව ලියලා තියෙන්නේ. හරිනම් අර්ජුන් මහේන්ද්‍රන්ව සිංගප්පූරුවේ ඉඳලා මෙහේ ගෙනාව අගමැති වගේම එයාට
මහ බැංකු අධිපතිකම දීපු ජනාධිපතිවරයාත් මේවාට වගකියන්න ඕන’ ජොන්ස්ටන් පෙන්වා දුන්නේය.
‘ජනාධිපතිවරයා කියනවා කොමිසම් වාර්තාව නීතිපතිට යැව්වා කියලා. අපි දැක්කානේ කොමිසම ඉස්සරහා අගමැතිවරයාගෙන් සාක්ෂි ගන්නකොට නීතිපතිවරයා දක්වපු ලිහිල. ඉතින් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවයි කිව්වට ගන්නකම් විශ්වාස කරන්න බැහැ’ නාමල් පැවසීය.
‘කොහොම හරි මෙයාලා 2020 පහුවෙනකම් මේ නඩුව ඇදගෙන යන්න බලයි’ මහින්දානන්ද කීවේය.
‘ඔය කොමිසම් වාර්තාවේ කොනක හරි මහින්ද මහත්තයාගේ නම ගෑවිලාවත් තිබුණා නම් බලන්න තිබුණා. එහෙම නම් දැන් නඩුත් අහලා දඬුවමුත් දීලා ඉවරයි. ජනාධිපතිවරයාගේ දෙපැත්ත කැපෙන කඩුවත් හරියට මඩු වලිගේ වගේම තමයි. නිකම් වන වන ඉන්නවා විතරයි’ ප්‍රසන්න පැවසීය.
‘ජනාධිපතිවරයා කොමිසම පත්කළේ ඒකාබද්ධ විපක්ෂය මුල්කර ගෙන රටෙන් නැගුණු විරෝධය අහක දාන්න බැරි නිසයි. දැන් නම් පෙන්වන්න හදන්නේ තමන්ම හිතලා කොමිසම පත්කළයි කියලයි. හැබැයි අපට මතකයි බැඳුම්කර ගනුදෙනු ගැන මුලින්ම හොයපු ඩීව් ගුණසේකර මහත්තයාගේ කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට එන්න කලින් දවසේ පාර්ලිමේන්තුව විසුරුවා හැරලා අගමැතිවරයා බේරගත්ත හැටි. අන්තිමට ඩීව් ගුණසේකර මහත්තයාට හැමදාම ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්රීකමත් නැති කරලා දැම්මා’ මහින්දානන්ද කීවේය.
‘කෘෂිකර්ම අමාත්‍යාංශයට කෝටි ගණන් කුලී ගෙවන් නිළියන්ගේ ගොඩනැගිලි ගන්න පුළුවන් වුණාට ගොවියට පොහොර ටිකවත් දීගන්න බැහැ’ ජොන්ස්ටන් පැවසීය.
‘අද මේ පොහොර ප්රශ්නය ලොකු ගැටලුවක් වෙලා තියෙනවා. අපි එදා යුද්ධය තියෙනකොටත් රුපියල් තුන්සිය පනහට පොහොර සහනාධාරය දුන්නා. 2005දී ම? ම පොරොන්දු වුණේ වීවලට විතරක් සහනාධාරයක් දෙන්නයි. හැබැයි මම 2015 අයින් වෙන කොට වී විතරක් නෙමෙයි එළවළු, තේ, රබර්, පලතුරු වගාවලටත් පොහොර සහනාධාරය දෙමින් තිබුණා. මේ ආණ්ඩුව ආවා විතරයි එක පෑන් පාරෙන් පොහොර සහනාධාරය නතර කළා. අද සහන මිලට තියා වැඩි මිලටවත් පොහොර ගන්න නැතුව ගොවියෝ අනාථ වෙලා ඉවරයි’ මහින්ද පැහැදිලි කළේය.
‘මේකෙන් පේන්නේ ආණ්ඩුවේ අසාර්ථකමයි. තෙල් හිඟයක් ඇවිත් රට පුරාම මිනිස්සු තෙල් පෝලිම්වල ලැගලා මාස දෙකක් ගියේ නැහැ. දැන් පොහොර හිඟයක් ඇවිත්. එහෙන් හාල් පෝලිම්. මෙහෙන් පොහොර පෝලිම්. මේවා ආණ්ඩුවට සැලැස්මක් නැති නිසා ඇති වෙන අර්බුද’ ප්‍රසන්න පැවසීය.
‘දුමින්ද දිසානායකට සබීතාගේ බිල්ඩිම කුලියට ගන්න තිබුණු හදිසිය ගොවියාට පොහොර දෙන්න නැහැ’ නාමල් පැවසීය.
කථානායකට මාධ්‍යවේදියෙකුගෙන් කවියක්
නව වසර උදාවීමට ආසන්යේ තිබියදී මහා බ්‍රිත්‍යානයේ සිට මින් වසරකට පෙර ජීවිතයෙන් සමුගත් ඉන්දිරා ජයසූරිය ඩිකර් මහත්මියගේ (කරු ජයසූරිය මහතාගේ කනිටු දියණිය) දරු දෙදෙනා, මුත්තණුවන්, මිත්තණිය හා ඥාතීන් දැකීමට පැමිණ සිටියහ.
තම පියා සමග ඔවුන් පැමිණ සිටියේ කුසෙහි හොවා සිටි සිය පුතුට නිරෝගී උපතත් ල??බා දෙනුවස් පිළිකා රෝගයට ලබා දෙන වෛද්‍ය ප්‍රතිකාර ගැනීමෙන් වැළැකී සිට ස?ිය මව සිදුකළ ශ්‍රේෂ්ඨ ආත්ම පරිත්‍යාගය සිහි කරමින් බිහිකළ ‘පිළිකා සරණ^ භාරයේ පළමු වසර සම්පූර්ණ වීම නිමිත්තෙන් පැවැති වැඩසටහනටද එක්වීමේ අරමුණෙනි.
ස්වකීය කුස පිළිසිඳ ගත් පුත්‍ර සම්පත්තිය නිරුපද්‍රිතව ලෝකයට දායද කළ ඇයගේ අසිරිමත් මවු සෙනෙහසේ සකේතය සිඟිති ‘ඩීලාන්’ පුතුය.
ඔහු සිය මුත්තණුවන් වන කථානායක කරු ජයසූරිය මහතා සමග හුරතල් වෙමින් සිටි අතර, එහිදී ගත් ඡායාරූප බොහෝමයක් මාධ්‍යයේදී පළවිය.
එය දුටු මාධ්‍යවේදියෙකු කවි පද කිහිපයක් ලියා කථානායකවරයාට එවා තිබිණි.
එහි මෙලෙස සටහන් විය.
“නැළවිලි ගී අසන්නට නොසොයන් අම්මා
දරු දුක මමත් කඳුළැලි සයුරක දැම්මා
මගේ දෑතේ උඹට උණුසුම නැත නිම්මා
බඩ බැද රකිමි නුඹ තනි නැත මයෙඅම්මා”
ජීවිතයේ කෙතරම් අමිහිරි අත්දැකීම්වලට මුහුණ දුන් පරිණත පුද්ගලයෙකු වවද, මෙම කවි පද කිහිපය කෙරෙහි කරු ජයසූරිය මහතා බෙහෙවින් සංවේදී විය.
එය ලියා එවා තිබූ ප්‍රියන්ත කොඩිප්පිලි නම් මාධ්‍යවේදියා අමතා බෙහෙවින් ස
්තුති කිරීමටද ඔහු අමතක නොකළේය.
පොහොර ප්‍රශ්නෙ ගැන කවුරු හරි ඇහුවාද?
බදාදා දින පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත රැඳී සිටියේ නාරාහේන්පිට රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේය. ඒ අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි. එම මාධ්‍ය හමුව අවසන් වූ විගසම සෞඛ්‍ය අමාත්‍යවරයාට ජනාධිපතිවරයාගෙන් දුරකථන ඇමතුමක් ලැබිණි. එහිදී මාධ්‍ය හමුවේදී පොහොර ප්රශ්නය ගැන මාධ්‍යවේදීන් විමසුවේ දැයි ජනාධිපතිවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විමසීය. එවිට සෞඛ්‍ය අමාත්‍යවරයා පැවැසුවේ, “ජනාධිපතිතුමනි, දයාසිරි ඇමතිතුමා ඒ ප්‍රශ්නයට සාර්ථකව පිළිතුරු ලබා දුන්නා. ඒක නිසා ප්‍රශ්නයක් වුණේ නැහැ” කියාය.
ඉන් පසු ජනාධිපතිවරයා සෞඛ්‍ය අමාත්‍යවරයාට ආරාධනාවක් කළේය. ’ඩොක්ටර් මම 08 වැනිදා මොරගහකන්දේ සහ පොල්ගොල්ලේ උත්සව දෙකකට යනවා. මගෙත් එක්ක හෙලිකොප්ටරයෙන් යන්න එන්න. පොල්ගොල්ලේ තිබෙන උත්සවයේදී ඩොක්ටර් කතාවකුත් කරන්න. අගමැතිතුමා එන්න වෙන්නේ නැහැ කිව්වා. එම නිසා අගමැතිතුමා වෙනුවෙන් ඔබතුමා කතා කරන්න” යැයි ජනාධිපතිවරයා සඳහන් කළේය. සිනහවෙමින් එය සතුටින් බාරගත් රාජිත “හරි ජනාධිපතිතුමනි, මම එන්නම්” යැයි පැවසීය.
දොස්තර රාජිත - ‘ඩොක්ටර් නවරියන්’ බලන්න යයි
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සහ ඔහුගේ බිරිඳගේ ආරාධනාව මත සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ට සහ මාධ්‍යවේදී හිතවතුන්ට පසුගියදා සුහද හමුවක් පැවැත්විණි. මෙහිදී මාධ්‍යවේදීන් බහුතරය විමසා සිටියේ බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳවය. “එම වාර්තාව පිළිබඳ ජනාධිපතිතුමා බදාදා හැන්දෑවේ ප්‍රකාශයක් කරනවා. ඒකෙදී මොකද වෙන්නේ කියලා බලාගන්න පුළුවන්” යැයි රාජිත පැවසීය. ඉන් පසු එම අවස්ථාවට එක්ව සිටි මාධ්‍යවේදියෙකු විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ “ ‘ඩොක්ටර් නවරියන්^ චිත්‍රපටය බැලුවාද?” යන්නයි.
එවිට රාජිත කියා සිටියේ “මට නම් තාම බලන්න බැරිවුණා. ඒත් වෛද්‍යවරුන් සිදුකරන විවිධ විෂමාචාර ක්‍රියා පිළිබඳ එහි සඳහන් වෙනවා යැයි මට ආරංචි වුණා. හොඳ සින්දුවකුත් තියෙනවාලු නේද?” යැයි අමාත්‍යවරයා විමසීය.
එවිට මාධ්‍යවේදියෙකු විසින් රාජිතට ‘ඩොක්ටර් නවරියන්^ චිත්‍රපටයේ දර්ශන තම ජංගම දුරකථන සහ ටැබ් උපකරණ මගින් පෙන්වූ අතර, එය බලා රාජිත හඬනගා සිනහ විය.
මම ඉදිරියේදී ඒ ගැන කියන්නම්
බැඳුම්කර කොමිෂන් සභාවේ වාර්තාව පිළිබඳ ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් සිදුකරන ලද්දේ බදාදා දින පස්වරුවේය. ඊට පෙර සෞඛ්‍ය අමාත්‍යවරයා ‘සුව සැරිය^ ගිලන් රථ සේවාව දිවයින පුරා ව්‍යාප්ත කිරීමේ උත්සවයට අග්‍රාමාත්‍යවරයා සමග එක්වූයේ අරලියගහ මන්දිරයේදීය. එහිදී අග්‍රාමාත්‍යවරයා සමගද සුහද සාකච්ඡාවක නිරත වූ සෞඛ්‍ය අමාත්‍යවරයා පැමිණ සිටින නිලධාරීන්ට ප්‍රකාශ කළේ “මට ඉක්මනට යන්න තිබෙනවා ජනාධිපතිවරයාගේ කතාව අහන්න” යනුවෙනි.
එවිට එම නිලධාරීන් පැවසුවේ “ඔබතුමා කතාව අහන එක හොඳයි මොකද මාධ්‍ය හමුවලදී පිළිතුරු දෙන්නත් තිබෙනවා නේද?” යනුවෙනි.
“ඔව්. එය ඇත්ත” යනුවෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළ අතර, කඩිනමින් තම නිවස වෙත පැමිණි සෞඛ්‍ය අමාත්‍යවරයා ජනාධිපතිවරයාගේ කතාව රූපවාහිනියෙන් නරඹන ලදී. ඉන් පසු සෞඛ්‍ය අමාත්‍යවරයාට විවිධ දේශපාලන හිතවතුන්ගෙන් දුරකථ ඇමතුම් ගලාගෙන එන්නට පටන් ගත්තේය. එවිට සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ “මේ ගැන මම ඉදිරියේදී ඔබලා සමග කතා කරන්නම්” යනුවෙනි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

