මේ ආණ්ඩු පෙරළීමක් නොවෙයි බුද්ධාගමට සිදුවන නොමනා බලපෑම් පෙන්වා දීමක් අපි කරන්නෙ
ආණ්ඩුව පෙරළීමට රතු එළියක් අස්ගිරි මහා විහාරයෙන් නිකුත් කළා යැයි සහ ඥානසාර හිමියන් වෙනුවෙන් එම පාර්ශ්වය පෙනී සිටින්නේ යැයි ඇසුණු චෝදනා යෝජනා අදටත් රට පුරා සංවාදයක් බවට පත්වෙමින් තිබේ. මේ ඒ සම්බන්ධයෙන් 'අද' පාඨකයන් වෙනුවෙන් අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී කාරක සංඝ සභික ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් සමග කෙරෙන අදහස් විමසුමකි.
Q භික්ෂූන් වහන්සේලාට දේශපාලනය තහනම්ද?
රටේ රාජ්‍ය පාලකයා බෞද්ධාගම රැකිය යුතුයි. එදා රජ දවස රාජ්‍ය නායකයා භික්ෂූන් වහන්සේලාගේ අවවාද උපදෙස් අපේක්ෂා කළා. පිළිගත්තා. දළදා වහන්සේ හැරුණුකොට රාජ්‍ය පාලකයන් දෙදණ බිම තබා භික්ෂූන් වහන්සේලාට නමස්කාර කළා. එහෙම නම් රටේ දේශපාලනය සඳහා භික්ෂූන් වහන්සේලාගේ දායකත්වය නැතිව බැහැ කියන එක පැහැදිලියි.
Q එහෙම වුණත් ඇතැම් සංවිධාන, පුද්ගලයන්, කණ්ඩායම් සහ ජනමාධ්‍ය විසින් භික්ෂුවගේ දේශපාලන කාර්යභාරය විවේචනයට ලක්කරන ප්‍රවණතාවයක් තියෙනවා යැයි ජනතාව පෙන්වා දෙනවා?
එන්ජීඕ හෝ ජාත්‍යන්තර බේදකාරීන් විසින් දක්වන ප්රකාශයන්ට හෝ ජනමාධ්‍යයන්ට පිළිතුරු දීමට භික්ෂූන් වහන්සේලා වශයෙන් අප සූදානම් නැහැ. අප ඒ මට්ටමේ නැහැ. ඔවුන් මේ උත්සාහ කරන්නේ ජාත්‍යන්තරය ඉදිරියේ බෞද්ධාගම සහ භික්ෂුව ලඝු කිරීමේ උත්සාහයක්.
Q ඔබ වහන්සේලා ආණ්ඩු විරෝධීන් ලෙස සලකා ඇතැම් මැති ඇමතීන් චෝදනා කරනවා?
අපි ආණ්ඩු විරෝධීන් ලෙස කටයුතු කරන්නේ නැහැ. අපට පැවරී ඇත්තේ ශාසනික ස්වරූපය තුළ හොඳ නරක පෙන්වාදීමක්. අපට ආණ්ඩු පෙරළන්න හෝ ඒවා වළක්වන්න අවශ්‍යතාවක් නැහැ. අපේ උත්සාහය බලයට පත්වන ඕනෑම රජයක් සමග අපේ උරුමය සහ අපේ බුද්ධ ශාසනයේ පැවැත්ම වෙනුවෙන් සුභවාදී ලෙස කටයුතු කිරීමයි.
අපි පසුගිය රජය සමග කී දේ කළ දේ ඒ රජයට අදාළ දේ පමණයි. ඒවා තවදුරටත් ඉදිරියට ගෙන ඒමේ අවශ්‍යතාවයක් නැහැ. අපි කරන්නේ අද රජයේ පවතින දේ තුළ රටට ආගමට ශාසනයට සිදුවන දේ පිළිබඳ කරුණු පෙන්වා දීම පමණයි. කවුරු හෝ ඒක දේශපාලන වාසිය තකා විවරණය කරන්න උත්සාහ කරනවා නම් එතැනයි මේ අර්බුදය මතුවන්නේ.
Q නමුත් අස්ගිරිය පාර්ශ්වය මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ වාසියට කඩේ යන ස්වභාවයක් තිබෙනවා යැයි දේශපාලන වශයෙන් ඇතැමුන්ගෙන් චෝදනාවක් තියෙනවා නේද?
මහින්දගේ වාසියට කඩේ යන්න අපට අවශ්‍යතාවක් නැහැ. එයාට නැවත ජනාධිපති වෙන්න බැරි බව කවුරුත් දන්නවා. ඒක ව්‍යවස්ථාමය කරුණක්. නමුත් ඒ අයගේ දේශපාලන ස්ථාවරය අනුව ඔවුන් අදටත් කටයුතු කරනවා විය හැකියි. ඒක වළක්වන්න අපි කාටවත් අවශ්‍ය නැහැ. අපි දේශපාලකයන් පස්සෙ යන පිරිසක් නෙවෙයි.
Q එහෙම වුණත් ඒ ආණ්ඩුව කාලේ සිදුවුණු ඇතැම් දේ වලදී ඔබවහන්සේලා නිහඬ පිළිවෙතක් අනුගමනය කළා යැයි යමෙකු චෝදනා කරනවා?
ඔය කියන්නේ පහුගිය කාලයේ මහනුවර දළදා මාලිගය ඉදිරියේ කාර් රේස් තිබුණු කතාවනේ. ඒක හැම දේශපාලන වේදිකාවකම කතා කළා. රේස් පදින්නට විරුද්ධ වූ පළමු කෙනා මම. මම පැහදිලිවම කිව්වා මාලිගාව ඉදිරියේ එවැනි කාර් රේස් පැදීම වැරදියි කියලා.
Q නමුත් රේස් පැද්දා?
ඒ වන විට එයට අවශ්‍ය කටයුතු සියල්ල සූදානම් කර තිබූ නිසා අවසානයේ අප අකමැත්තෙන් එකඟ වුණා. ඒත් මාලිගාව ඉදිරියේ රේස් පදින්න නෙවෙයි. බෝගම්බර බන්ධනාගාරයෙන් එහා පැත්තට ගිහින් ඒවා කරගන්න කීවා. දේශපාලන වාසි තියාගෙන එක එක්කෙනා ඒවා තමන්ට අවශ්‍ය විදිහට කියා ගන්නවා ඇති.
ඇයි 2014 මහනුවර ඇසළ දළදා පෙරහරට ඉදිරියෙන් එදා රාජ්‍ය පාලනයට සම්බන්ධ යම් පිරිසක් පෙරපාසලක කැරොල් රථයක් සූදානම් කරලා තිබුණා. අපට එය ආරංචිවූ විගස උභය මහා විහාරයන් සහ දියවඩන නිලමේතුමා සමග සාකච්ඡා කර ඒ වැඩේ නතර කරන්න නියෝග කළා. එදා ඒක නවත්වන්න කටයුතු කළේ නැත්නම් අපි පෙරහර පැවැත්වීම නතර කරන බවට අවවාද කළා. ඒ නොගැළපෙන දේ කවුරු කළත් අප ඒ වරද පෙන්වා දුන්නා.
අපට දේශපාලනයක් නැහැ. අපි මහින්දට කඩේ ගියා කියල චෝදනා කරන අය අසාධාරණ ලෙස අපට නිගාවන ප්‍රකාශ නොකළ යුතුයි. අපි කවදත් නොවිය යුතු දේ දුරදක්නා නුවණින් දැක ඒ අවස්ථාවේ හැටියට තැනට සුදුසු පරිදි මැදිහත්ව නිවැරදි කරනවා.
අපි ඒකාබද්ධ විපක්ෂයේ අතකොළු වෙලා නම් පහුගිය වෙසක් දිනයේ ජාත්‍යන්තර බොදු සමුළුවට මෝදි ජනාධිපතිතුමා පැමිණෙන විට කළු කොඩි දමන්න යැයි විමල් විරවංශ ප්‍රධාන පාර්ශ්වයක් යෝජනා කරන විට මෙවැනි අවස්ථා සඳහා දේශපාලනය ගාව ගන්න එපා යැයි ප්‍රසිද්ධියේ ජනමාධ්‍ය හරහා අපි ඉල්ලීමක් කළා.
තමන්ගේ දේශපාලන වාසිය අනුව අපි කරන දේ අර පැත්තටයි මේ පැත්තටයි කියලා පැති මාරු කරගෙන බලන්න එපා. අපි අවශ්‍ය තැනට අවශ්‍ය දේ එඩිතරව නිර්භයව කරනවා.
Q ගතවූ දිනයක අස්ගිරි ප්රකාශනය එළිය දකින්නේ ඇයි?
අන්න ඒකයි අපි ගතවූ සතියේ අස්ගිරි ප්‍රකාශය එළිදක්වන්නේ. වර්තමාන රටේ ජාතික අර්බුදකාරී හා ගැටලු තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රකාශ ගණනාවක් රාජ්‍ය විරෝධීන් විසින් වරින්වර විවිධාකාරයෙන් නිකුත් කළා.
තවදුරටත් භික්ෂූන් වහන්සේලා ඉලක්ක කර බෞද්ධාගමට සහ භික්ෂූන් වහන්සේලාගේ ගරුත්වයට සිදුකරන හානිය වෙනුවෙන් අපේ නිකායේ වගකීමක් හැටියට අපේ මහා කාරක සංඝ සභාවේ හාමුදුරුවරු වහන්සේලා විසිනමකගේ අත්සනින් ගරු අස්ගිරි මහා නායක හිමිගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවේදී ගත් තීරණ තීන්දු ප්‍රකාශයක් හැටියට ජාතිය ඉදිරියේ ලිඛිත සංදේශයක් ලෙස සමාජ සම්මත කළා. ඒක පක්ෂ දේශපාලකයන් හෝ ආණ්ඩුවට පක්ෂ හෝ විපක්ෂ මතයක් තුළ නොවී අපේ වගකීම හැටියට ගත් තීරණයක්.
Q මේ ප්‍රකාශයේ කරුණු සම්බන්ධයෙන් මල්වතු මහා විහාරයත් තම එකඟතාවය පළ කළා. මෙවැනි අවශ්‍යතාවක් වෙනුවෙන් රාමඤ්ඤ නිකායත් ගතවූ සතියේ ප්‍රකාශයක් නිකුත් කළා?
මෙහෙමයි. අපි අපේ නිකායේ අපේ සංඝ සභාවේ සාම්ප්‍රදායික ප්‍රතිපත්ති අනුව කටයුතු කරලා තියෙනවා. මේක මේ ආණ්ඩු කරවන දේශපාලකයන්ට අවශ්‍ය විදිහට හදපු ලියවිල්ලක් නෙවෙයි. මේක රටේ හෙට දවස වෙනුවෙන් ගත්ත සාමූහික එකඟතාවයක්.
එතන මහ නායක හාමුදුරුවොත් ඉන්නවා. මේක කැබිනට් ප්‍රකාශයක් නෙවෙයි.එහෙම නම් කැබිනට් ප්‍රකාශ නිකුත් කරන අවස්ථාවේ එතැන ජනාධිපතිගේ අත්සන තියෙනවාද? ඔය කියන හැමදේම කැබිනට් එකේ කතා කරපු දේද කියන ප්රශ්නය මතුවෙන තැනට අවශ්‍ය දේයි නැතිදේයි මගේ පෞද්ගලික මත යැයි කියලා රාජිත ඇමතිතුමා කියනවා අපිට ඇහෙනවා.
මතකනේ සරත් ෆොන්සේකා මහත්තයට මොකක්දෝ තනතුරක් දෙන බවට ජනාධිපතිතුමා කිව්වා කියලා ආණ්ඩුව ඇතුළෙම ඇතිවුණු හබය.
Q මේ ප්‍රකාශයෙන් පසු සෙසු පාර්ශ්වයන්ගේ දායකත්වය පැහැදිලි කළොත්?
අපි කියන දේ කරනවා. කරන දේ කියනවා. ඉතින් දැන් අපි විතරක් නෙවෙයි. සියලුම නිකායන්හී මහා සංඝ සභාවන්හී භික්ෂූන් වහන්සේලා එකඟත්වයෙන් මේ කටයුතු දැන් තව ඉදිරියටත් ගෙන යනවා.
එතෙනදි අපි ඉදිරියේ මේ හැම පාර්ශ්වයකම අදහස්, යෝජනා ජනාධිපතිතුමාට ඉදිරිපත් කිරීමට දැන් කටයුතු කරගෙන යනවා. එතැන පක්ෂ දේශපාලනයක් හෝ ආණ්ඩු පෙරළීමක් නැහැ. පක්ෂ දේශපාලකයන්ට වගේ අපිට පෞද්ගලික න්යායපත්ර නැහැ. අපට තියෙන්නේ පොදු එකඟතාවයන් කියන එක පෙන්වා දිය යුතුයි.
Q ඔබවහන්සේලා ඇතැම් දේශපාලකයන් නම් කළා නේද?
අපි නම් වශයෙන් යම් අය සඳහන් කළේ අපේ විවෘතභාවය නිසයි. මේ වන විට එස්.බී දිසානායක ඇමතිවරයා සමාව ඉල්ලා සිටියා. ශාසනික සම්ප්රදාය සහ සිරිත් විරිත් අනුව අප ඔහුට සමාව දුන් බව නිවේදනය කළා. වරදක් පෙන්වූ පසු නිවැරදි කර ගැනීමේ මහත්මා ලක්ෂණය අපි අගය කරනවා. අනෙක් අය එහෙම කළ බවක් තවම ඇසුවේ නැහැ.
හැබැයි ඔය කවුරුත් තමන්ට අවශ්‍ය වෙලාවට මේ පැත්තට ඇවිත් තමන්ට අවශ්‍ය දේ අපි ලවා කියවාගන්න උත්සාහ ගන්නවා. අපි අනවශ්‍ය දේ වෙනුවෙන් මොනයම් හෝ දේශපාලකයෙකුට නැමෙන්නේ නැහැ.
Q ඔබවහන්සේලා ඥානසාර හිමියන් නියෝජනය කළා යැයි තවත් චෝදනාවක් තියෙනවා?
ඥානසාර කියන භික්ෂූන් වහන්සේ වරදක් කර තිබේ නම් ඒ වරදින් බේරාගන්න අපට අවශ්‍යතාවක් නැහැ. ඒක නීතිමය කරුණක් නම්, නීතිය කාටත් සමාන නම් නීතිය ඒවා බලා ගනියි.
නමුත් ඒ වරද නිසා සමස්ත භික්ෂු පරපුරත්, සිංහල ජාතියත් අවමානයට පත්කරන තැනට බටහිර ජනමාධ්‍ය සහ ඊනියා දේශපාලකයන් සහ අවස්ථාවාදී සාම කාක්කන් උත්සාහ කරනවා නම් එතෙනදි මේ රටේ භික්ෂුන් ලෙස පැරණිම උභය මහා විහාරයන්ට ඇති අයිතිය ඔය කාටවත් වළක්වන්ට බෑ.
භික්ෂුව මුල් කරගෙන සමාජ විරෝධයක් ගොඩනැංවීමේ ජාත්‍යන්තර යටිසූත්තර කුමන්ත්‍රණයක් මේ ඇත්තන් විසින් ඉදිරිපත් කරන බව පැහැදිලියි. මේ රටේ සියලුම භික්ෂූන් වහන්සේලාට ඇති සිවිල් බලය අතීතයේ සිට පැවැත එන දෙයක්. එය අවතක්සේරුවට ලක්කරන තැනට කටයුතු යෙදෙන විට රාජ්‍ය පාලකයන්ගේ ඇස් ඇරවීම අපේ වගකීමක්. ඒක දේශපාලකයන්ටවත් බටහිර පැලැන්තියටවත් වළක්වන්න බැහැ.
හොඳම උදාහරණයක් කියන්නම්. ඥානසාර හිමියන් පහුගිය කාලයේ අස්ගිරි මල්වතු පාර්ශ්වයන්හී මහ නායක හාමුදුරුවරුන්ට කොයිතරම් නම් බැන්නද. අවලාද නැගුවද? ඒත් අන්තිමේට උන්වහන්සේට නීතියේ සාධාරණය ඉෂ්ට වෙන්නේ නැහැයි චෝදනා කරන තැනදී අපේ පාර්ශ්වයන් හඬක් නැඟුවා. ඒක උන්වහන්සේ චෝදනාවලින් නිදහස් කරන්නවත්, ආණ්ඩු පෙරළන්නවත්, විපක්ෂයට වාසි ගෙනත් දෙන්නවත් නෙවෙයි. අදාළ වගකිවයුත්තන්ගේ ඇස් ඇරවන්නයි.
Q ඒ වුණාට ඔබවහන්සේලා වැරදිකරුවන් වෙනුවෙන් පෙනී සිටිනවා යන මතය සුදුසු නැහැ නේද?
අද ඔය වෙනත් ආගම්වලින් ඇවිත් ජනතාවට හිංසා කරනකොට ඒ හිංසාකාරීන් වෙනුවෙන් පෙනී සිටීමට බටහිර එන්ජීඕ නඩත්තු නඩ ඉදිරිපත් වෙනවා. අයිතිවාසිකම් තියෙන්නේ බටහිර ඒ අයට විතරද? ඇයි ලංකාවේ දෙදහස් පන්සිය වසරක උරුමය තියෙන අපිට ඒවා අහිමිද?
සිවුරක් පෙරවාගත් අපේ කෙනකු වෙනුවෙන් පෙනී සිටීමේ වගකීම අපට තියෙනවා. අපේ රැහේ කෙනෙක් වෙනුවෙන් අපි පෙනී සිටින්නේ නැත්නම් කවුද පෙනී සිටින්නේ?
Q වරදක් කළා යැයි කියන රැහේ වුන් වෙනුවෙන් එසේ පෙනී සිටීම යුක්ති යුක්තද?
මට මතකයි වරක් රාවය පුවත්පතේ ලිපියක තිබුණා එක්නැලිගොඩ කියන ජනමාධ්‍යවේදියා නොව ශ්‍රී ලංකා පුරවැසියාගේ අයිතිවාසිකම් තහවුරු කරන්න කියලා. තවත් අවස්ථාවක මම දැක්කා විකල්ප පුවත්පතක ජනමාධ්‍යවේදියෙකු සම්බන්ධයෙන්ම එම පුවත්පතේ ලිපියක තිබුණා ඔහුගේ මාධ්‍ය හැසිරවීම අපි අනුමත නොකළත් ජනමාධ්‍යවේදියෙකු හැටියටත්, පුරවැසියෙකු හැටියටත් ඔහුට නීතිය ඉදිරියේ සාධාරණය ඉටුවිය යුතුයි කියලා. ඒ තමයි න්‍යාය.
ඒ වගේ තමයි අපි ඥානසාර හාමුදුරුවන් ගැන කියන්නෙත්. ඔහු කළ කී දේ පිළිබඳ අපටත් ප්‍රශ්න තිබුණු තැන් මම කලින් ප්‍රකාශ කළානේ. නමුත් රැහේ එකෙක් වෙනුවෙන් වගේම රටේ පුරවැසියෙකු වෙනුවෙන් නීතිය සාධාරණය ඉටු විය යුතු යැයි කියන තැන අපි ඉන්නවා.
ජනාධිපතිතුමාත් ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන් හමුවේ වරක් පැවසුවේ රැහේවුන් වෙනුවෙන් තමාද මාධ්‍යකරුවෙකු ලෙස පෙනී සිටින බවට කතාවක්.
Q හාමුදුරුවරු අන්‍යාගමික ස්ථාන 166ට ප්‍රහාර එල්ල කළා කියලා නීතිඥ ලක්ෂාන් ඩයස්ගෙන් බරපතළ චෝදනාවක් තියෙනවා. එහෙම නම් ආගමික සංහිඳියාවට මොකද වෙන්නේ. තවම ඔහු එය නිවැරදි නොකිරීමෙන් තම ස්ථාවරය නිවැරදි බව අඟවනවා?
මේ පුද්ගලයා කියනවා හාමුදුරුවරු පල්ලි 166ට ප්‍රහාර එල්ල කළා කියලා. එහෙමනම් ඒ අය පෙනී සිටින්නේ කා වෙනුවෙන්ද ? මම ඔය කියන වෙබ්සයිට් එකේ බැලුවා. ඒකෙ තියෙන්නේ මේක කැම්පේන් එකක් විදිහටයි.
සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව වෙසෙන ගම්මාන අතරට රිංගලා ජනතාවගේ අකමැත්තෙන් දේව මෙහෙයන් නමින් මධ්‍යස්ථාන හදාගෙන සිදුකරන කරදරය, හිංසනය නිසා ඒ තැන්වලට ඇවිත් ප්‍රශ්න හදාගත්තෙ ඒ අයමයි. අනික මඩකලපුවේ හින්දු කෝවිලක් ළඟත්, තවත් තැන්වලත්, මුස්ලිම් ගම්මානවලත්, සාම්ප්‍රදායික කතෝලික ජනතාව අතරත්, සිංහල බෞද්ධ ගම්මානවලත් මෙහෙම බලහත්කාරකම් කරන්න ගිහින් මේ අය ප්‍රශ්න හදලා තියෙනවා.
මේවා සිංහල බෞද්ධ භික්ෂුන් කළා කියලා චෝදනා කරන්නේ කොහොමද? අනික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන ව්‍යවස්ථාව අනුව යමෙකු අධිකරණයක විධිමත් නඩු විභාගයකින් වැරදිකරු වනතුරු ඔහු නිවැරදි දැයි කියන එක අයිතියක් හැටියට තහවුරු කර තියෙනවා. ඒක නීතියේ දක්වන්නේ නිර්දෝෂිභාවයේ පූර්ව නිගමනය කියලයි.
එහෙම නම් ඩයස්ලා කියන්නේ කොහොමද හාමුදුරුවරු ආගමික ස්ථාන 166ට පහර දුන්නා කියලා. ඔප්පු කරන්න තවම නඩු අහලා තීන්දු ලැබිලත් නැහැ. එතකොට අපේ හාමුදුරුවරුන්ට ඔය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික නීතිය මානව හිමිකම් නැද්ද කියලා ඔය චෝදනා හදන නීතිඥ මහත්වරුන් තීරණය කළ යුතුයි. මෙවැනි ප්‍රකාශයන් තමයි ආගමික සංහිඳියාවට අද තියෙන බරපතළ හානිය කියන එක අපි ඉදිරියේදීත් පාලකයන්ට පෙන්වලා දෙන්නේ.
Q ඒ කිව්වෙ?
මැල්කම් රංජිත් කොළඹ අගරදගුරු තුමා තමන් එවැනි දෙයක් නොදන්නා බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා. ඒ පණිවුඩය රට ඇතුළත අය දැනගත්තට ජාත්‍යන්තරය දක්වා ගෙන යාමට අද දක්වාම ආණ්ඩුව පියවර ගත්තේ නැහැ. රජයේ සන්නිවේදන ක්‍රම මගින් ජිනීවා මානව හිමිකම් කොමිසම දක්වා මෙවැනි අභූත චෝදනා දැනුවත් කළ යුතුයි.
මුජිබර් රහමන් මන්ත්‍රීවරයාගේ මාධ්‍ය සාකච්ඡාව අපි පිලිකුළෙන් හෙළා දකිනවා. ඔහු විමල් වීරවංශ සුද්දෝදනගෙ පුතා වගේ යැයි ප්‍රකාශ කළා. ඔහු මේ කියන්නේ අපේ ආගමික නායක බුදුරජාණන්වහන්සේ ගැනයි.
යම් බෞද්ධයෙක් වෙනත් ආගමික නායකයෙකු ගැන මෙහෙම යමක් පැවසුවා නම් කෙබඳු තර්ජන ඇතිවිය හැකිදැයි සිතා බලන්න. කොයිතරම් නුසුදුසු කතාවක්ද? සිංහලයා ආගම්වාදීන් නම් මේවට ඇවිස්සෙනවා නේද. ආගමික නායකයන්ට අවලාද නඟන්න එපා අපහාස කරන්න එපා කියන අයගේ ස්ථාවරය මොකක්ද?
අපි මේ ආණ්ඩු පෙරළීමක් නෙවෙයි කරන්නේ. අපේ ආගමට සිදුවන අන්‍යාගමික බලපෑම් පෙන්වා දීමක් කරන්නේ. ඇයි නාවලපිටියේ තේ කම්හල ගිනි තිබ්බේ. අන්තවාදීන් යැයි එහිදී අදහස් කළේ සිංහලයන් බවට රවුෆ් හකීම් ඇමතිවරයා නොකියා කීවා. ඔය කියන ඇත්තන්ගේ අවශ්‍යතාව තිබුණට සිංහල බෞද්ධ ජනතාව අන්තවාදී නැහැ.ඔවුන් ආගම්වාදීනුත් නෙවෙයි.
අද වනතුරු කවුරුවත් වරද නිවැරදි කළාද? නැහැ. සමාව ගත්තද? නැහැ. කවුද ජාතිවාදය, ආගම්වාදය අවුස්සන්නේ කියන දේ පාලකයන් සිහිබුද්ධියන් විමසිය යුතුයි.
Q ඔබවහන්සේලාගේ කටයුතුවලට එරෙහිව මේ වන විට ඇතැම් භික්ෂූන් වහන්සේලා අතරින්ම දැඩි චෝදනා එල්ල වෙමින් තිබෙනවා. ඇයි මේ වෙනසක්?
එදා ඉඳලම ඔය එල්ටීටී කොටි ත්රස්වාදීන්ගේ දන් වළඳන භික්ෂූන් පිරිසක් රට තුළ ඉන්නවා. සාමයට මුවා වී බටහිර වරදාන වරප්‍රසාද මත යැපෙන භික්ෂූන් අතළොස්සකුත් ඉන්නවා. ඒකත් ඒ අයගේ අයිතිය කියමුකෝ.
Q නමුත් නායකයන්ට පාලකයන්ට ඔවුන් වටිනවා?
අපි ඇත්ත කියනකොට කවදත් පාලකයන්ට රිදුණා. එතෙනදි තමන්ගේ වාසියට අර මම කියපු ජාතියේ භික්ෂූන් වහන්සේලා යොදා ගත්තා. එතෙනදි මේ රටේ නායකයෝ ප්රශ්නය දේශපාලනීකරණය කළා. එහෙම කරලා ඒ ප්රශ්නය වෙනුවෙන් ආණ්ඩුවේ මත ප්‍රකාශ කරවාගන්න වරදාන වරප්‍රසාද තුටු පඬුරු ගෙවමින් තනතුරු බෙදා දෙමින් වෙනම භික්ෂු නඩයක් නඩත්තු කළා. එහෙම තැනක අපට විරුද්ධ ප්‍රකාශයන් ඇහෙනවා ඇති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

