Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
පළාත් පාලන මැතිවරණය නිමා වූ 10 වැනිදායින් පසු ගෙවුණු දින කිහිපය තුළ ආණ්ඩුවේ අමාත්‍යවරු දැඩි ලෙස කාර්යබහුල වූහ.
ඊට හේතු වූයේ මැතිවරණ ප්‍රතිඵලයත් සමග රට තුළ මතු වූ දේශපාලනික ගැටලුවය. ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමග අවස්ථා කිහිපයකදී පෞද්ගලික සාකච්ඡා මෙන්ම කණ්ඩායම් සාකච්ඡා සඳහාද එ.ජා.ප.යේ මෙන්ම ශ්‍රී.ල.නි.ප.යේ ජ්යෙෂ්ඨයෝට සිදු වූහ.
මෙම ගැටලුව නිරාකරණය කිරීම සඳහා නියෝජිත ධුරය හෙබවූයේ ඇමති රාජිතය. පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන් රැසකගේ ඉල්ලීම මත රාජිතද එම කාර්යය සිදු කළේය. ඒ අනුව අවස්ථා 04කදී පමණ ජනාධිපතිවරයා සමග සාකච්ඡා පැවැත්වූ රාජිත රජය ඉදිරියට ගෙන යෑම පිළිබඳ අවධානය යොමු කළේය. එක් අවස්ථාවකදී ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමග පැවැති සාකච්ඡාවක මැතිවරණ සමයේදී එකිනෙකා විවේචනය කිරීම දැඩි ලෙස හෙළා දකිමින් රාජිත අදහස් පළ කළේය. එහිදී ඔහු සඳහන් කළේ, “මම ආණ්ඩු රැසක හිටියා. මෙවැනි ආණ්ඩුවක සිටියේ ප්‍රථම වරටයි. එකම ආණ්ඩුවක සිටිමින් විවේචනය කිරීම දැක්කෙත් ප්‍රථම වරටයි” යනුවෙනි. කෙසේ හෝ අවසානයේ ගැටලුව විසඳුණේ යහපාලන ආණ්ඩුව ඉදිරියට ගෙන යෑමට තීරණය වීමත් සමගය.
පසුගිය දිනවල පැවැති සාකච්ඡාවලදී අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කිරීම පිළිබඳ අවධානය යොමුවිය. එහිදී නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරය හෙබවූ සාගල රත්නායක ඉන් ඉවත් විය. ඉන් පසු නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරය වසරක කාලයක් සඳහා බාරගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂ සභාපති අමාත්‍ය මලික් සමරවික්‍රම රාජිතට යෝජනා කළේය. එම යෝජනාව ප්‍රතික්ෂේප කරමින් රාජිත පැවසුවේ “මට එම අමාත්‍ය ධුරය අවශ්‍ය නැහැ. මම දොස්තරලා සමග වැඩ කරන්නම්” යනුවෙනි. ඉන් පසු එම අමාත්‍ය ධුරයට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පත්කිරීමට අවධානය යොමුවිය.
පළාත් පාලන මැතිවරණයෙන් පසුව පැවැති පළමු පාර්ලිමේන්තු සභා වාරය උණුසුම් වූයේ මැතිවරණයෙන් පසු ඇතිවූ දේශපාලන ව්‍යාකූලත්වය පිළිබඳ විවාදය හේතුවෙනි.
රටේ ඇතිව තිබූ තත්ත්වය පිළිබඳ පක්ෂ, විපක්ෂ මන්ත්‍රීවරුන් තම තමන්ගේ දේශපාලන දෘෂ්ටිකෝණවලින් අදහස් ඉදිරිපත් කරන ආකාරය දක්නට ලැබිණි. එකිනෙකාට මඩ ගසමින්, පෞද්ගලික කරුණු මතු කරමින් පැවැති මෙම විවාදයේ විමල් වීරවංශ අදහස් දක්වා අවසන් වන අවස්ථවේදී රාජිත සේනාරත්න සභාවට පැමිණියේය. සෙමින් ඇවිත් රාජිත සිය අසුණේ වාඩි වන විට සියලු දෙනාම ඔහු දෙස බලා සිටි අතර, විපක්ෂය දෙසින් යම් යම් ප්‍රකාශ ඇසිණි. විමල්ගේ කතාවෙන් පසුව මූලාසනය විසින් රාජිතට අදහස් දැක්වීමට අවස්ථාව ලබා දුන්නේය. එහෙත් රාජිත සිටියේ විපක්ෂයෙන් එල්ල වූ විරෝධය ගැන අවධානය යොමුකරමිනි. රාජිත සිය කතාව අතරතුර ජංගම දුරකථනය ගෙන මහින්ද අමරවීර සිදු කළ ප්‍රකාශයක් ගැන කීවේය. එය සභාගත කරන බවද පැවසීය. එවිට නැගී සිටි විමල් කීවේ එය ලිඛිතව සභාගත කරන ලෙසයි.
“මෙතුමා නව තාක්ෂණය දන්නෑ. පරණ කොළකෑලි විතරයි දන්නේ. මොකද මෙතුමා ඕ-ලෙවල් විභාගේ ෆේල්. පුළුවන් නම් සාමාන්‍ය පෙළ පාස්ද කියලා සහතිකය පෙන්වන්න. මෙයා තිස්ස මහා විද්‍යාලයට ගියාට විභාගේ පාස්වුණේ නැහැ” රාජිත එවිට පැවසීය.
එයට පිළිතුරු දුන් විමල්,
“ගරු කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මැතිසඳ කියනවා මම ඕලෙවල් ෆේල් කියලා. එතුමා ඒක ඔප්පු කරලා පෙන්නුවොත් හෙට මම මේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් අයින් වෙනවා. පුළුවන් නම් ඔප්පු කරන්න” යැයි කීවේය.
එවිට රාජිත “එහෙනම් ඒ-ලෙවල් නොකළේ මොකද? ඇයි ඒ-ලෙවල් කළේ නැත්තේ? වැඩ හයයි ඕ-ලෙවල්. අනුර කුමාර මහතා ඉගෙන ගන්න කොට උපාධිධාරීන් වෙනකොට මෙයා ඕ-ලෙවල්. නමුත් ඇයි ඒ-ලෙවල් කරන්න බැරිවුණේ? ලංකා ඉතිහාසයේ ඇමතිකෙනෙක් ඉන්නවද තමන්ගේ ආයතනයේ සල්ලි අරගෙන තමන්ගේ අක්කගේ දුවගේ මඟුල් කාපු. මේ වගේ හිඟන ඇමතිවරු ලංකා ඉතිහාසේ ඉඳලා තියෙනවාද? සජිත් ප්‍රේමදාස අභියෝග කළා. නමුත් කට ඇරියේ නැහැ. හැන්සාඩ් එකේ තියෙනවා” යැයි පැවසීය.
“මේ රාජිත ඇමතිවරයා කියන්නේ සම්පූර්ණ අසත්‍යක්. මම අභියෝග කරනවා හෙට පුළුවන් නම් ඔප්පු කරලා පෙන්වන්න මම මන්ත්‍රී ධුරයෙන් අයින් වෙනවා. තමුන්නාන්සේලා අවුරුදු තුනක් පච කෙළියා. පුළුවන් නම් හෙට ඔප්පු කරලා පෙන්වන්න” යැයි විමල් කීවේය.
“නිවාස අමාත්‍යාංශයේ වැය ශීර්ෂය වෙලාවේ නිවාස ඇමති සජිත් ප්‍රේමදාස මහතා ඒ පිළිබඳ සියලු ලේඛන සභාගත කළා” රාජිත පිළිතුරු දුන්නේය.
“මේවා ඉතාම අසත්‍ය චෝදනා. ඔය කියන ඥාතියෙකුගේ වෙඩින් එකකට සල්ලි වියදම් කළා කියලා හෙට ඔප්පු කරලා පෙන්වන්න. හැන්සාඩ් එකක් නැහැ” විමල් පවසා සිටියේය.
අඟහරුවාදා හවස ඇමති සජිත් සිය කාර්යමණ්ඩල ප්‍රධානීන්ට දැනුම් දුන්නේ බදාදා මාධ්‍ය හමුවක් පැවැත්වීමට ඇති බවය.
ඒ ශ්‍රී ලංකා කායවර්ධන ශූර ආසියාවේ කළු සිංහයා යන විරුදාවලි ලත් ලූෂන් ඇන්ටන් පුෂ්පරාජ් වෙත නිවසක් ප්රදානය කිරීමේ වැඩසටහන සඳහාය.
බදදා උදෑසනම එය සූදානම් කළයුතු බව සජිත් කාර්යමණ්ඩලයට දැනුම් දුන්නේය.
මොරටුව අගුලානේ සයුරුපුර සංකීර්ණයේ රුපියල් ලක්ෂ 42ක් වටිනා නව නිවසක් ලූෂන් වෙත භාරදීමට නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය ඒ වන විටත් කටයුතු සුදානම්කර තිබුණි.
බදාදා මාධ්‍ය හමුවේදී ඇමති සජිත් කියා සිටියේ ලූෂන්ව තමන්ට හඳුන්වා දුන්නේ අන් කවරෙකු හෝ නොව මුදල් ඇමති මංගල සමරවීර බවයි. ඇෙමරිකාවේ ටෙක්සාසහි ශ්‍රී ලංකා කොන්සල්වරයා වන ප්‍රසන්න හලඔගෙන් මංගලට මේ පුද්ගලයා ගැන දැනගන්නට ලැබී තිබුණි. 2017 දෙසැම්බර් මාසයේදී ඇෙමරිකාවේ ටෙක්සාස්හි පැවත්වූ ප්‍රසිද්ධ කායශුර තරගාවලියක් සඳහාද ලූෂන් ඉදිරිපත් වූ අතර, එයට අනුග්‍රහය දක්වා තිබුණේද ප්‍රසන්න හලඹගේ සමාගමයි.
ලූෂන්ගේ පදක්කම් හා කුසලාන සජිත් බැලුවේ ඉතා උනන්දුවෙනි. මාධ්‍ය හමුව අවසනායේදී ලූෂන් මාධ්‍යවේදීන්ට පැවසුවේ,
“මං ජාත්‍යන්තර තරගවලට ඉදිරිපත් වුණේ පෞද්ගලික ලාභ අපේක්ෂාවෙන් නෙවෙයි, මම ජයග්‍රහණය කරලා ආපසු රටට එද්දි මල් මාලා දාලා පිංතූර ගත්තා පමණයි. මම ඉතාම අපහසුකම් මැද්දේ රටට හිමිකර දුන් කීර්තියට කෘතවේදීත්වය පළකරමින් සජිත් ඇමතිතුමා මට නිවසක් පරිත්‍යාග කිරීම මා මෙතෙක් ලැබූ ඉහළම ඇගයීම කියලයි මම හිතන්නේ” යනුවෙනි.
පළාත් පාලන මැතිවරණයෙන් පසු රටේ ඇති වූ දේශපාලන තත්ත්වය සමග විපක්ෂය, මාධ්‍ය මෙන්ම ආණ්ඩුවේම ඇතැම් පාර්ශ්වයන් අගමැති රනිල් වික්‍රමසිංහ එම ධුරයෙන් ඉවත් විය යුතු බවට දැඩි හඬක් නැගීය.
ඔවුන්ගේ එම හඬ යටපත් කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අගමැතිවරයා කාටවත් අවශ්‍ය පරිදි වෙනස් කළ නොහැකි බව ඇමති වජිර ස්ථාන කිහිපයකදීම පැවසීය.
මේ වසරේ ප්‍රථම දිසාපති සමුළුවේදීද වජිර ඒ ගැන දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය.
එහිදී ඇමති වජිර මෙසේ පැහැදිලි කළේය.
“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිවම දක්වා තිබෙනවා රජයක් පිහිටුවන ආකාරය. ඒක තනි පක්ෂයක ආණ්ඩුවක් නම් කොහොමද කරන්නේ, ජාතික ආණ්ඩුවක් නම් කොහොමද කරන්නේ කියලා හරියටම නීතියේ සඳහන් වෙනවා. එසේ තිබියදී ඇතැම් මාධ්‍ය රටේ අගමැතිවරයා වෙනස් කරන්න හදනවා. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව අගමැති පත්කිරීමට බලය ජනාධිපතිට තියෙනවා. ඉවත් කිරීමට බලයක් නැහැ. ජාතික ආණ්ඩුවක ස්ථාවර බව ඇති කිරීමට වසර හතරහමාරක් යනතුරු පාර්ලිමේන්තුව විසුරුවන්න හෝ අගමැතිවරයා ඉවත් කරන්න බැහැ. ඉන් පසු ප්‍රතිපාදන පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. රටේ ස්ථාවරභාවය පැහැදිලිව 19 වැනි සංශෝධනයෙන් සුරක්ෂිත කර තියෙනවා. අගමැති ඉවත් කරන්න, ආණ්ඩුව ඉවත් කරන්න කියල කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවා නැති අයයි.”
මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලටද පිළිතුරු දෙමින් ඇමතිවරයා පැවසුවේ, “මේ වන විට සමාජයේ මතයක් ගොඩනගන්න උත්සාහ කරනවා මාධ්‍යයෙන්. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධයි. ඒ අනුව විවිධ අදහස්, මත පළවෙනවා. සමහරු කල්පනා කරනවා අග්‍රාමාත්‍යවරයා වෙනත් වරමක් හරහා මාරු කරන්න පුළුවන්ද කියලා. එවැනි අවස්ථාවක් සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන නැහැ. 78 ව්‍යවස්ථාවෙන් නම් විධායක ජනාධිපතිවරයාට ලිපියක් යවා අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමට බලය තිබුණා. නමුත් 19 වැනි සංශෝධනයෙන් එම බලය හිමිවෙන්නේ නැහැ. ඒ බලය තිබෙන්නේ අග්‍රාමාත්‍යවරයා සතුවයි. ඔහු ලිපියක් ලියා අස්විය යුතුයි. 19 වැනි සංශෝධනය මගින් අග්‍රාමාත්‍යවරයා මාරු කිරීම සඳහා තිබෙන ක්‍රමවේදය එයයි” යනුවෙනි.
පසුගිය සතිය පුරාම ඇමති වජිර හමුවීමට පැමිණි හිතවතුන්ටද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන මෙය පැහැදිලි කරමින් පැවසුවේද, ව්‍යවස්ථාව කියවා තේරුම් ගැනීමට නොහැකි පිරිසක් අගමැතිවරයා ඉවත් කළ හැකි බව පවසමින් කෑගසන බවයි. ඔවුන් පිළිබඳ දුක්වීම හැර වෙන කරන්නට දෙයක් නොමැති බවද ඇමතිවරයා ඔවුන්ට පැවසීය.
සඳුදා පෙරවරුවේ ජවිපෙ දේශපාලන මණ්ඩලය පැලවත්ත ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී රැස්විය. මෙහිදී රටේ නව වාතාවරණය පිළිබඳව සාකච්ඡාවේදී ජවිපෙ නායක අනුර දිසානායක පෙන්වා දුන්නේ ජාතික ආණ්ඩුවේ වලංගුභාවය ප්‍රශ්න කළ යුතු බවය. “ජාතික ආණ්ඩුවේ නිල කාලය අවසන්. ඒ නිසා තවත් ඇමතිකම් වැඩි කරගෙන ඉන්න බැහැ. වහාම අඩු කරන්න ඕනෑ. ජනතාව මත පටවපු බර ඉවත් කරන්න ඕනෑ. මේ පිළිබඳව අපි පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කළ යුතුයි” ඔහු වැඩිදුරටත් කීය.
ජවිපෙ ප්රචාරක ලේකම් විජිත හේරත් අදහස් දක්වමින් කියා සිටියේ, කරුණු නොදන්නා ඇතැමුන් ප්‍රාදේශීය සභාවල මන්ත්රීකම් වැඩි වීම පිළිබඳව ජවිපෙට චෝදනා නගන බවය. “පළාත් පාලන ආයතනවල මන්ත්රීකම් වැඩි වීමට සම්පූර්ණයෙන් වගකියන්න ඕනෑ බැසිල්. එයාලා තමයි කලින් හාරදහස් තුන්සිය ගණනක් විතර තිබුණු මන්ත්‍රී ධුර ගණන 5092ක් වන විදිහට කොට්ඨාසවලට කැඩුවෙ. ඒකට සමානුපාතික කොටසයි, කාන්තා නියෝජනයයි එකතු වුණාම තමයි මේ දෙගුණ වෙලා තියෙන්නේ. එදා කොට්ඨාස අඩු කරන්න ගියානම් තවත් අවුරුදු දෙකක් විතර ඡන්දය කල්දාන්න වෙනවා. ඒ නිසා තමයි අද ඔය කෑ ගහන අය එදා ඒක එපා කිව්වෙ” විජිත හේරත් කරුණු දැක්වීය.
“ඔය ගැටලුව විසඳ ගන්නකම් පරණ ක්‍රමයට හරි ඡන්දෙ තියමු කියලා අපි යෝජනා කළෙත් ඒ නිසා තමයි. දැන් එයාලට මේවා අමතකයි” ලාල්කාන්ත පැවසීය.
මාධ්‍ය ඔස්සේ ජවිපෙට එරෙහිව නැගෙමින් ඇති මඩ අවලාද පිළිබඳව ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අවධානය යොමු කළේය.
“පරණ හොරුන්ටයි, අලුත් හොරුන්ටයි ප්‍රධාන බාධකය ජවිපෙ අපි. ඒ නිසාම දෙගොල්ලම එකතුවෙලා අපිට විරුද්ධව මඩ මාධ්‍ය මෙහෙයුමක් පටන් අරන්” ඔහු කීය.
“ෆේස්බුක්වල ඉඳලා සමහර ප්‍රධාන ජනමාධ්‍ය කියාගන්න ඒවා දක්වා මේ වැඩේ යනවා. පක්ෂෙටත්, පෞද්ගලිකව අපටත් විවිධ මඩ අලුත් කරකර යවනවා. ඔය මොනවා කළත් මේ රටේ ජනතාව ජවිපෙ වටා එකතු වෙන එක නතර කරන්න කාටවත් බැහැ” අනුර දිසානායක පැවසීය.
අනතුරුව අවධානය යොමු වූයේ පළාත් පාලන මැතිවරණයේ මහජන නියෝජිතයන් ලෙස පත්වූ අපේක්ෂක අපේක්ෂිකාවන් පිළිබඳවය.
“පක්ෂයේ කමිටු සහ සංවිධානවලින් කරපු යෝජනා අනුව හොඳම නියෝජිත පිරිසක් තෝරාගෙන තිබෙනවා. මන්ත්‍රීවරු ලංකාව පුරා 434 දෙනෙක් ඉන්නවා කියන්නෙ විශාල හයියක්” ටිල්වින් සිල්වා පැවසීය.
“අපි මේ අය කොළඹට කැඳවලා දැනුවත් කිරීමක් කරමු” අනුර දිසානායක යෝජනා කළේය.
“ඔව් ඒක හොඳ අදහසක්. මේ පිරිසට ලොකු අභියෝගයක් තියෙනවා. මහජනතාවත් එක්ක දේශපාලන සංවාදයක් ආරම්භ කරගෙන රටේ දේශපාලනයේ ලොකු භූමිකාවක් කරන්න එයාලට පුළුවන්” ලාල්කාන්ත පෙන්වා දුන්නේය.
“මේ නියෝජිතයෝ ජනතාවට උපරිම සේවාවක් කරනකොට සමහරු දිනුවයි කියපු %පොල් ලෙලි නිකම්ම කුණු බක්කිවලට යාවි” විජිත හේරත් කීවේ සියලු දෙනාගේ සිනා හඬ මධ්‍යයේය.
පළාත් පාලන මැතිවරණයෙන් පසු රට තුළ හටගත් අර්බුදකාරී වාතාවරණය තුළ පසුගිය සඳුදා පැවැති පාර්ලිමේන්තු රැස්වීම තීර්ණාත්මක විය. ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම එක්සත් ජාතික පක්ෂයද පාර්ලිමේන්තුව තුළ බහුතර බලය පෙන්වීම සඳහා තියුණු තරගයක නියැළෙමින් සිටියේය.
තීරණාත්මක සඳුදා මහින්දද පාර්ලිමේන්තුවට ආවේය. එදින මහින්දට පාර්ලිමේන්තු සේවක සේවිකාවන්ගෙන් මෙන්ම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්, ඇමතිවරුන්ගෙන්ද ගැලවීමක් නොතිබුණේ මැතිවරණයෙන් ලැබූ ජයග්‍රහණයට සුබපතන්නට සියලු දෙනාම පොරකන්නට වූ බැවිනි.
සියලු දෙනාගේම සුබපැතුම් පිළිගත් මහින්දට නිරීක්ෂණය වූ එක කරුණක් වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් සියලු දෙනාම සභාවට නොගොස් පාර්ලිමේන්තු ලොබිය වැනි තැන්වල රැඳී සිටීමය. එය දුටු මහින්ද නිදහස් පක්ෂයේ ප්රබලයෙකුගෙන් ඒ බව ඇසුවේය.
“මොකද කට්ටිය චේම්බර් එකට නොගිහින් මග තැන් තැන්වල ඉන්නේ?”
“රෙද්දක් ඇඳගෙන කොහොමද සර් චේම්බර් එකට යන්නේ? මේ අය හදන්නේ අපිව ආයෙමත් එක්සත් ජාතික පක්ෂය එක්ක ගැටගහලා ජාතික ආණ්ඩුවකට පටලවා ගන්නනේ. එහෙම ලැජ්ජා විඳිනවාට වඩා එළියේ ඉන්න එක සැපයි” එම ප්‍රබලයා මහින්දට පැවසීය.
පියල්ට සඳුදා දහවල් මහින්ද මුණගැසුණේය. ඒ වන විට කොන්දේ අමාරුවකින් පෙළෙමින් සිටි පියල් දුටු මහින්ද ඇසුවේ “මොකෝ පියල් අමාරුවෙන් වගේ” කියාය.
“නෑ සර් මේ කොන්දේ කැක්කුමක්. කොච්චර බෙහෙත් කළත් හරිගියේ නැහැනේ” පියල් කීවේය.
“මං ගාව හොඳ බෙහෙතක් තියෙනවා. හෙට දහයහමාරට විතර එන්නකෝ අපේ ගෙවල් පැත්තට” මහින්ද පැවසීය.
ඒ අනුව පියල් නිශාන්ත අඟහරුවාදා උදෑසන මහින්දගේ නිල නිවස වෙත ගියේය. ඒ වන විට එහි පැමිණ සිටි ගෝඨාභයත්, පියලුත් කැඳවා ගත් මහින්ද ගියේ නුගේගොඩටය. ඒ මහින්දගේ යෝගා ගුරුවරයා වන නන්ද සිරිවර්ධනගේ හමුවීමටය. අනෙක් අයට යෝගා කරවන අතරතුර නන්ද පියල්ටද යෝගා අභ්‍යාස කිහිපයක් කියා දුන්නේය.
“දැන් කොහොමද පියල්” මහින්ද ඇසුවේ යෝග අභ්‍යාස නිමවා එන අතරතුරය.
“හොඳටම හොඳයි සර්. කොන්දේ කැක්කුම කොහෙන් ගියාද නැහැ” පියල් උත්තර දුන්නේය.
සඳුදා පාර්ලිමේන්තුවේදී ඒකාබද්ධ විපක්ෂයේ දිනේෂ්ලා කථානායකගෙන් විමසා සිටියේ, ජාතික ආණ්ඩුව තවදුරටත් ක්‍රියාත්මක වන බව පාර්ලිමේන්තුවට දැනුම්දී ඇතිද යන්නය. එසේ දැනුම් දී නොමැති බව පැවසූ කථානායකවරයා මන්ත්‍රීවරුන්ට වැඩිදුර කතා කරන්නට ඉඩ දුන්නේ නැත.
ඒ බව දුටු සනත් නිශාන්ත කීවේ “මේක හරියට හිට්ලර්ගේ පාර්ලිමේන්තුව වගේනේ. මෙයාගෙන් දෙයක් අහන්නම බැහැනේ” කියාය. සනත් යාන්තමට පැවසූ දෙය කථානායකට ඇසුණේය. “මොකක්ද මන්ත්‍රීතුමා කිව්වේ” කථානායකවරයා ඇසුවේ එය තහවුරු කර ගැනීමටය.
“නෑ මං කිව්වේ ඔබතුමා අගමැති වෙන්න යනවා නේද කියලයි” සනත් ඇඟටපතට නොදැනී පිළිතුරු දුන්නේය. “නෑ නෑ එහෙම දෙයක් නැහැ. ඔය වගේ කතා කියලා මාව අමාරුවේ දාන්න හදන්න එපා” යැයි පැවසූ කථානායක කතාව වෙනතකට යොමු කළේය. පාර්ලිමේන්තුව නිමා වී එළියට එන අතරතුර ප්‍රසන්න සනත් අසලට ආවේය.
“උඔ කොහොම හරි කථානායකවත් ඇන්දුවා නේද?” ප්‍රසන්න ඇසුවේය.
“නෑ ඉතින් මං අමුතුවෙන් අන්දන්න දෙයක් නැහැ. එතුමා කෙහොමත් ඇඳගෙන ඉන්නෙ” සනත් පැවසීය.
ජාතික ආණ්ඩුව තවදුරටත් පවතින බව අගමැතිවරයා සහ සන්ධානයේ මහලේකම්වරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කිරීමෙන් පසුව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු කණ්ඩායමක් මහින්දගේ නිල නිවසේ සාකච්ඡාවක නියැළෙමින් සිටියහ. කෙහෙළිය, ප්‍රසන්න, සනත්, පවිත්‍රා ඇතුළු පිරිසක් එහි වූහ.
“මම නම් දැනගෙන හිටියා ඔය ආණ්ඩු කතා හරියන්නේ නැහැ කියලා. ඒකයි මම හැම රැස්වීමකදීම කිව්වේ ඡන්දෙ වෙලාවට බොරුවට තරහා පෙන්නුවත් මෛත්‍රී-රනිල් හවුල් ආණ්ඩුව ඡන්දෙන් පස්සෙත් දිගටම යනවා කියලා. මම නම් මුල ඉඳලම හිටියේ එයාලට ආණ්ඩු හදන්න අපි උදවු කරන්න ඕන නැහැ කියන මතයේ” ප්‍රසන්න පැවසීය.
“මමත් දැනගෙන හිටියා ඕක වෙනවා කියලා. ඒ වුණත් මෛත්‍රී වේදිකාවේදී ප්‍රසිද්ධියේ කිව්වානේ නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු එනවා නම්, ආණ්ඩුවක් හදනවා කියලා. ඒ නිසා අපට අකැමැත්තෙන් හරි ආණ්ඩුවක් හදන්න නිදහස් පක්ෂයට සහයෝගය දෙන්න සිදු වුණා” මහින්ද පැහැදිලි කළේය.
“මේකෙන් වුණේ පක්ෂයේ ඉතුරු වෙලා හිටපු පාක්ෂිකයෝ ටිකත් ආපහු පාරක් රැවටිච්ච එක විතරයි. නිදහස් පක්ෂයට ඡන්දය දීපු ලක්ෂ 13ක් මෛත්‍රී ජනාධිපතිවරයා ආයෙත් වතාවක් රැවට්ටුවා” ප්‍රසන්න පැවසීය.
“මේ ආණ්ඩුව අවුරුදු තුනක් තිස්සේ ජනතාව වෙනුවෙන් කරපු කිසිම දෙයක් නැහැ. නිදහස් පක්ෂයයි එක්සත් ජාතික පක්ෂයයි එකතු වෙලා රට විනාශ කරලා දැම්මා. ආර්ථිකයත් විනාශයි. රටත් විනාශයි” පවිත්‍රා කීවාය.
“ඡන්දෙ ප්‍රතිඵල එන්නත් ඉස්සර මට මෛත්‍රී ළඟ ඉන්න ප්‍රබලයෙක් කතා කරලා සුබපැතුවා. එයා පසුවදා මෛත්‍රී හම්බ වෙන්න ගිහින් මට කෝල් එකක් ගත්තා. අරගෙන කිව්වා %සර් ජනාධිපතිතුමා කතා කරනවා^ කියලා. එහෙම කියලා එයා ෆෝන් එක මෛත්‍රීට දුන්නා. මට දැන් අහෙනවා මෛත්‍රී කියනවා %එපා එපා මං පස්සේ කතා කරන්නම්^ කියලා. ඒ පාර ඒ කෝල් එක ගත්ත කෙනා මට කිව්වා %සර් පස්සේ කතා කරන්නම්^ කියලා. මාත් ෆෝන් එක තිබ්බා.
පස්සේ මිනිහා මට හම්බ වුණා පාර්ලිමේන්තුවේදී. මම ඇහුවා මොකද වුණේ කියලා. මිනිහා මට කියනවා මට ජනාධිපතිතුමා අම්බානෙක බැන්න නේ සර් කියලා. මං මොකුත් කියන්න ගියේ නැහැ. මිනිහත් තේරුම් ගන්න එපැයි මෛත්‍රී ඒ වෙනකොට හිටියේ පරාජය අදහා ගන්න බැරුව කියන එක” මහින්ද මන්ත්‍රීවරුන්ට රහසක් හෙළි කළේය.
ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමක් පසුගිය අඟහරුවාදා මහින්දගේ ප්‍රධානත්වයෙන් විජේරාම පෙදෙසේ පිහිටි නිල නිවසේදී පැවැත්විණි. එහිදී තීරණය කෙරුණේ මහ මැතිවරණයක් ඉල්ලා පාරට බැසීමටය. ඒ අනුව මහ මැතිවරණයක් ඉල්ලන ජනරැලි මාලාවක් රට පුරා පැවැත්වීමට තීන්දු කෙරිණි.
එහි ප්‍රථම රැලිය මහින්දගේ ප්‍රධානත්වයෙන් මාර්තු මස 06 වැනිදා නුගේගොඩදී පැවැත්වීමට නියමිතය. ඒ හැර උද්ඝෝෂණ, පෙළපාළි තුළින් බලපෑම් කරවා ආණ්ඩුව මහ මැතිවරණයකට පොළඹවා ගැනීමටද සාකච්ඡා කෙරිණි. එම කටයුතු සංවිධානය සඳහා දිනේෂ්, ඩලස්, බැසිල්, රෝහිත, මහින්දානන්ද, විමල්, ප්‍රසන්න, උදය ඇතුළු පිරිසගෙන් සමන්විත කමිටුවක්ද පත්කර ගැනිණි.
පසුගිය සතියේ දිනක මෛත්‍රීපාල ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. එහිදී මෛත්‍රී හමුව ආරම්භ කරමින් ඇමතිවරුන්ටම අදහස් දැක්වීමට ආරාධනා කළේය.
“අපි මේ ඡන්දය පරාදයි. දැන් අපට තවදුරටත් මේ ආණ්ඩුවේ ඉන්න පුළුවන්කමක් නැහැ. අපි පත්වෙලා තියෙන තත්ත්වය නිසා ගම්වලට යන්නත් බැහැ. ඒ හින්දා ජනාධිපතිතුමා මට විපක්ෂයේ අසුන් ගන්න ඉඩදෙන්න” සුසන්ත පුංචිනිළමේ ඉල්ලා සිටියේය.
“බණ්ඩාරනායක මහත්තයා මේ පක්ෂය ආරම්භ කළාට පස්සේ කිසිම සභාපති කෙනෙක් යටතේ පක්ෂය මේ තරම් දරුණු පරාජයක් ලබලා නැහැ. අපි ඒක පිළිගන්න ඕන. ඒ නිසා අපට මෙහෙම ඉදිරියට යන්න බැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් අපෙන් බලාපොරොත්තු වෙන්නේ ඒක නෙමෙයි” සුසිල් කීවේය.
“තරහා වෙන්න එපා ජනාධිපතිතුමා. අපේ පාක්ෂිකයන්ට දැන් පක්ෂ නායකත්වය ගැන විශ්වාසයක් නැහැ. මේ හැමදේටම මුල වෙලා තියෙන්නේ ඒකයි” මුතුහෙට්ටිගම පැවසීය. ඊට සහාය පළකළ අනුර යාපා, තිලංග සුමතිපාලද අදහස් දැක්වූයේ ජාතික ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බව පවසමිනි.
“මම නම් මේ වගේ ජනාධිපති කෙනෙක් දැකලම නැහැ. එතුමා තමයි මේ රටේ බිහිවුණු අවංකම ජනාධිපතිවරයා. එතුමා මං ඉස්සරහමයි අගමැතිට ඉල්ලා අස්වෙන්න කියලා කිව්වේ. කවුරු මොනවා කිව්වත් මම නම් කියන්නේ ජනාධිපතිතුමා සමග මේ ගමන ඉදිරියටම යන්න ඕන කියලයි” මහින්ද සමරසිංහ පැවසීය.
“ඔබතුමා කෑගහන්නේ නැතුව වාඩිවෙන්න. තවදුරටත් බොරු කියලා ජනාධිපතිතුමා මුරුංගා අත්තේ නග්ගන්න හදන්න එපා. අපි මේක විසඳ ගන්න ඕන ඇත්ත කතා කරලා මිසක් ඔය වගේ චාටු කතාවලින් නෙමේ” පුංචිනිළමේ පැවසීය.
“එහෙම කතා කරන්න එපා. මේ ප්‍රතිඵල හරියට විශ්ලේෂණය කළොත් පේනවා අපි පැරදිලා නැහැ කියලා” දුමින්ද කීවේය.
“දුමින්ද ඇමතිතුමත් මේ පරාජයට වගකිව යුතුයි. අපිත් දැන් දීර්ඝ කාලයක් තිස්සේ පක්ෂ දේශපාලනයේ නිරත වෙනවා. ඒ හින්දා මේ පරාජය ගැන බොරු විශ්ලේෂණ කරන්න එපා” තිලංග පැවසීය.
“මම නීතිපතිවරයාගෙන් ඇහුවා අගමැතිවරයා වෙනස් කිරීම සම්බන්ධයෙන්. අපට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මේ ගැන විමසන්න වෙනවා. ඒකට මාස දෙකක් විතර යයි. මම ඉදිරියේදී ආණ්ඩුවේ ලොකු වෙනසක් කරනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව එනකම් අපට කාලය දෙන්න” මෛත්‍රී ඉල්ලා සිටි අතර, නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු ඊට එකඟ වූහ.
එම සාකච්ඡාවෙන් පසු නිදහස් පක්ෂයේ ඇමතිවරු කිහිපදෙනෙක් තවත් වැඩකට අතගැසූහ. එය නම් දුමින්ද දිසානායක නිදහස් පක්ෂයේ ලේකම් තනතුරෙන් ඉවත් කිරීමය. නිදහස් පක්ෂය ලැබූ පරාජයට මූලිකවම වගකිවයුත්තෙකු ලෙස දුමින්ද නම් කළ ඔවුන් සැරසෙන්නේ දුමින්ද ලේකම් තනතුරෙන් ඉවත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමටය. මේ සම්බන්ධ සාකච්ඡා කිහිපයක් පසුගිය සතියේ කොළඹදී පැවැති බව වාර්තා විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd