Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා
2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා
බලහත්කාරයෙන් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීමේ පනතේ සඳහන් කර තිබෙන සෑම වරදක්ම ලංකාවේ තිබෙන දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් වරදවල් වෙනවා. මේ පනත ගෙන ඒමේ අවකාශය මතුවුණේ ශ්‍රී ලංකාව 2015 දෙසැම්බර් 05 වැනිදා මේ ජාත්‍යන්තර සම්මුතියට අත්සන් කරලා 2016 දී නැවත අනුමැතියක් ලබාදීමෙන්. ඒ අනුව අපි වගකීමක් දරනවා මේකට අවශ්‍ය දේශීය නීති රටාවක් පාර්ලිමේන්තුවට ගෙනැවිත් සම්මත කර ගන්න. ජාත්‍යන්තර අවශ්‍යතාවට අනුව තමයි අපි පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ. අපි අත්සන් කළ සම්මුතිය අනුව අපට එකඟ වෙන්න වෙනවා.
එම ජාත්‍යන්තර සම්මුතිය නෙවෙයි ලංකාවේ නීතිය හැටියට සලකන්නේ. ලංකාවේ නීතිය අනුව සලකන්නේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන කෙටුම්පත පමණයි. මෙම කෙටුම්පතේ තෙවැනි වගන්තියෙන් රජයට සම්බන්ධ නිලධාරියෙකු යම් අයෙකු අත්අඩංගුවට හෝ සඟවා ගැනීමක් කර එය පිළිනොගෙන සිටියොත්, ඒ කරුණ සඟවාගෙන සිටියොත්, තොරතුරු නොදී සිටියොත් පනත ප්‍රකාරව රජයේ නිලධාරියා වරදකට යටත් කර අවුරුදු 20කට සිර භාරයට ලක්කිරීමට හැකියාව ලැබෙනවා. ලක්ෂ 10ක දඩ මුදලකට ලක්වෙනවා. වන්දි වශයෙන් සිරකර ගෙන සිටි පුද්ගලයාට රුපියල් ලක්ෂ 05ක් ගෙවන්න වෙනවා.
තෙවැනි වගන්තියේ දෙවැනි උපවගන්තිය යටතේ රජයට සම්බන්ධ නැති පුද්ගලයෙකු නීතිවිරෝධීව යම් කෙනෙක් බලහත්කාරයෙන් පැහැර ගත්තොත් හෝ සඟවා ගෙන සිටියොත්, එවැනි පුද්ගලයෙකු සම්බන්ධව තොරතුරු නොදී සිටියොත් ඒ පුද්ගලයාටත් ඒ ආකාරයෙන්ම දඬුවම් කරනවා. උසස් නිලධාරියෙකු මේ පිළිබඳ දැනගෙන අනුබල දීමක් කළහොත් පනත ප්‍රකාරව දඬුවම් කිරීමට හැකියාව ලැබෙනවා.
මේ පනතේ කිසිම වගන්තියක් කලින් සිදු වූ ක්‍රියා, වරදවල් හැටියට ගෙන දඬුවම් කරන්නෙ නෑ. මේක සම්පූර්ණයෙන්ම ඉදිරියට බලපාන පනතක් පමණයි. ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික කාරක මේ පනත සභාවට ඉදිරිපත් වූ අවස්ථාවේදී මන්ත්‍රීවරු කිහිප දෙනෙක් කරුණු ඉදිරිපත් කර පනතේ 08 වැනි වගන්තිය පිළිබඳ යම් මතයක් ඉදිරිපත් කළා. 08 වැනි වගන්තියෙන් කියවෙන්නේ යම් අයෙකු වරදක් කළ විට, විදේශ රජයකින් ලංකාවෙන් තොරතුරු විමසූ විට අපේ රජය බැඳී සිටිනවා එම පුද්ගලයා සම්බන්ධව කුමන ක්‍රියාමාර්ගයක් ගන්නවාද කියලා දන්වන්න. අපි එයාව බාර දෙන්න ඕන කියලා එම වගන්තියෙන් සඳහන් වෙන්නෙ නැහැ.
මේ වගේ පනත්වලින් අපි මුළු ලෝකයටම පෙන්වනවා අපි ශිෂ්ට සම්පන්න රටක් කියන එක. අපි නීතියේ ආධිපත්‍යය පිළිගෙන වැරදිවලට තදින් විරුද්ධ වෙනවා කියන පණිවුඩය ලබාදීම අවශ්‍ය වෙන්නේ.
මේ වගේ නීති පාර්ලිමේන්තුවට සම්මත කරන්න වෙලා තියෙන්නෙ අහම්බෙන් වුණු සිද්ධි නිසා නෙමෙයි. අපි නිදහසින් පසුව සෑහෙන කාලයක් දරුණු ගණයේ සිවිල් යුද්ධවලට මුහුණ දුන්නා උතුරෙත් දකුණෙත්. අපි ඒවාට කැරැල්ල කිව්වත්, නැගිටීම කිව්වත්, බෙදුම්වාදය කිව්වත් ඒවා පොදුවේ හඳුන්වන්න පුළුවන් සිවිල් යුද්ධ ලෙස. සිවිල් යුද්ධයක ස්වභාවය සමස්ත සාමාන්‍ය සපරාධීකරණයකට ලක්වීම. ඒක රජය වෙන්න පුළුවන්, ආරක්ෂක අංශ වෙන්න පුළුවන්, සටන් වදින්නන් වෙන්න පුළුවන්, අරගල කරන්නන් වෙන්න පුළුවන්, ජනමාධ්‍ය වෙන්න පුළුවන්, රාජ්‍ය සේවය වෙන්න පුළුවන්, පොදු ජන සමාජය වෙන්න පුළුවන්.
අපි ඒවා ශිෂ්ට සම්පන්න සමාජයක් ලෙස විසඳන්න කල්ගන්න බව පෙන්වා තිබෙනවා. ඒවා අමතක කරලා අසමත් වෙනවා කියන එක අපි පෙන්වලා තිබෙනවා. ඒ නිසා තමයි අපේ රටේ ප්‍රශ්න ජාත්‍යන්තරීකරණයට ලක්වුණේ. ඒවා අපි කැමැති දේවල් නෙමෙයි. එම යථාර්ථයට අපට මුහුණ දෙන්න වෙලා. ඒ නිසා තමයි මේ ප්‍රශ්න විසඳීමේදී ජාත්‍යන්තර ලෝකය එක්ක අපට වැඩ කරන්න වෙලා තියෙන්නෙ.
ජාත්‍යන්තර සම්මුතියක් තිබුණත් නැතත්, ජාත්‍යන්තර ලෝකය අපෙන් ඉල්ලුවත් නැතත් අපේ සමාජයට මේ වගේ යාන්ත්‍රණයක් අද ඉතා අත්‍යවශ්‍ය වෙලා තිබෙනවා. අනාගතයේ සිවිල් යුද්ධයක බීජ දකින්න පුළුවන් අවස්ථාවක අපි මේ කතා කරන්නේ. ඒ නිසා පාර්ලිමේන්තුව මේ දිහා වගකීමකින් බැලිය යුතුයි.
මේ පනතට එකඟ වී තිබෙන්නේ රටවල් 58ක් පමණයි. තම රටේ ස්වාධීනත්වයට, ස්වෛරීත්වයට මේ පනත හානි කර බව ප්‍රකාශ කරමින් ලොව සාතිශය බහුතරයක් රටවල් මේ පනත ප්‍රතික්ෂේප කර තිබෙනවා.යුද අපරාධ චෝදනා ගැන නඩු අහන්න පිටරටට උදවු කිරීමත් තමයි මේ පනතින් සිදු වෙන්නෙ. අපේ රණවිරුවන් පිටරටට බාර දීමට අදාළ වගන්ති මේ පනතේ තිබෙනවා.
අතුරුදන් වූවන්ගේ කාර්යාලයෙන් තොරතුරු එකතු කරලා පිටරටට ඒ තොරතුරු ලබාදෙන එක තමයි අද මේ කරන්න හදන්නෙ.මහනුවර සිද්ධියේදී පොලීසිය පක්ෂග්රාහි වීම නිසා ගැටුම් ඇතිවුණා. යාපනය පුස්තකාලයට ගිනි තැබුවා. 83 කළු ජූලිය ඇති වුණේ එ.ජා.ප. පාලන සමයන්වලදී බව අමතක කරන්න එපා.
අපි මේ යෝජනාව පිළිගන්නවා. බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් අපේ රටට බලපාලා තිබුණා. ඒ අනිත් රටවලට බලපාන මට්ටමට වැඩි වුණා මේවාගෙන් පීඩාවට පත්වූ රටවල් තිබෙනවා. ශ්‍රී ලංකාවට මේ ආකාරයේ දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වල බරපතළකම කෙනෙකුට තේරුම් ගන්න අපහසුයි. ඒක කෙනෙක් මරා දැමීමට වඩා බිහිසුණු අපරාධයක්. යම් මිනීමැරුමක් සිදු කිරීමේදී එයට මොකක්ද වුණේ කියලා අනිත් අය දැන ගන්නවා. නමුත් අතුරුදන් කිරීම්වලට හැමෝම බලාපොරොත්තුවක් සහිතව ඉන්නවා මේ පුද්ගලයා කොහෝ හරි ජීවත් වෙනවා ඇති කියලා. යම් දවසක යළි පැමිණේවි කියලා. ශ්‍රී ලංකාව තුළ අතුරුදන් කිරීම්වලට ලක්වූ පුද්ගලයන් සංඛ්‍යාව ඉතා විශාලයි. 1988 - 89 කාලයේ ජ.වි.පෙ. ගැටලුවලදී 60,000ක් අතුරුදන් වෙලා තිබෙනවා. 30,000ක් ගැන පැහැදිලිව සඳහන් වෙනවා.
මිනිස්සු ඉබේ අතුරුදන් වෙන්නෙ නෑ. ඒකට යම් සිද්ධියක් මුල් වෙන්න ඕන. රටේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල දසදහස් ගණනක් ජනතාව සොයා ගන්න බැරි වුණා. ආණ්ඩුව ඒ අය සොයාගන්න කොමිෂන් පත්කළා. පරණගම කොමිසම වාර්තා ඉදිරිපත් කළා එම අතුරුදන්වීම් 20,000කට වැඩියි කියලා. ඔවුන් ආරක්ෂක අංශවලට බාර වුණාට පස්සේ අතුරුදන් වුණා කියලා සොයාගෙන තිබුණා. තවත් අය අතුරුදන් වී තිබෙන බවත් සොයාගෙන තිබෙනවා.
අපි හොඳ ශිෂ්ට සම්පන්න රටක් නම් මිනිස්සු අතුරුදන් වෙන්න බෑ. ඒ වගේ අතුරුදන් කිරීම්වලට වගකිවයුතු පුද්ගලයන්ට දඬුවම් දෙන රටක් තමයි මෙවැනි නීතිවලින් බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැතිව ආණ්ඩුව විසින් ජාත්‍යන්තර පිළිගැනීම සඳහා මෙවැනි නීති ගෙන ඒමෙන් පලක් නැහැ. මේ වගේ අතුරුදන් කිරීම්වලට වගකිව යුතු අයට දඬුවම් කරන්න ගත්තා නම් වැඩක් නැහැ.
මේ පනත ගෙනැවිත් තිබෙන්නේ වැරදිකරුවන් ගැන සිතා බලා. ඒ අය නීතියට හසුකර නොගත යුතුයි කියන මානසිකත්වයෙන් ඉඳන් පනත ගෙනැවිත් තිබෙන්නේ. ශ්‍රී ලංකාවේදී නොවෙයි වෙන රටකදී නීති කඩකලා කියලා තමයි නීති ගේන්න යන්නේ. ඒ මේ නීති ගෙනැවිත් තිබෙන්නේ චූදිතයන් ගලවා ගැනීමට කියලයි මම හිතන්නෙ. ඒ නිසා ආණ්ඩුවේ යුතුකම විය යුත්තේ සෑම වැරදිකරුවන්ට දඬුවම් ලබාදීමයි. ආණ්ඩුව කටයුතු කරන්නේ පුද්ගලයන්ගේ හොඳහිත දිනා ගන්න. ජාත්‍යන්තර සම්මුතිවලට ගරු කරනවා කියලා පෙන්වන්න පමණයි. ආණ්ඩුවට දේශපාලන චේතනාවක් නැත්නම්, අපරාධකරුවන්ට දඬුවම් කරන්න නොහැකි නම් නීති ගෙන ඒමෙන් පලක් නැහැ.
ඉන්දියන් සාගරයේ මුතු ඇටය බවට හැඳින්වුණු අපේ රට ඉන්දියන් සාගරයේ වධකාගාරය බවට පත්වූ කාලයක් තිබුණේ විශ්වවිද්‍යාල සිසුන්, මාධ්‍යවේදීන්, අහිංසක තරුණ තරුණියන් කීදෙනෙක් නම් එක් එක් යුගවලදී අතුරුදන් වුණාද?අතුරුදන් කිරීම්වලට සිංහල, දෙමළ, මුස්ලිම් භේදයක් තිබුණේ නැහැ. සුදුවෑන් සංස්කෘතියක් අපේ රටේ තිබුණු හෙට දිනය ගැන විශ්වාසයක් නොමැතිව ජීවත් වූ පිරිසක් එදා සිටියා. අතුරුදන් වූවන්ගේ කාර්යාලය කියන්නේ අධිකරණයක් නෙමෙයි. එය අතුරුදන් වූවන් පිළිබඳ තොරතුරු දැන ගැනීම සඳහා පිහිටුවන කාර්යාලයක් පමණයි. ඒකාබද්ධයේ කල්ලිය මේ පනතට විරුද්ධ වෙමින් කොරහේ කිඹුල්ලු දකිනවා.
දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීන් ව්‍යවස්ථා විරෝධී කතා බොහෝමයක් මේ සභාවේදී ප්‍රකාශ කළා. මෙම මාතෘභූමියට ඔවුන් බණිනවා. කොටි සංවිධානය කළ අපරාධ ගැන ඔවුන් කතා කරන්නේ නැහැ. මේවාට විරුද්ධව එකදු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙක්වත් කතා කළේ නැහැ.ජිනීවා යෝජනා ක්‍රියාත්මක වීමේ පළමු අදියර තමයි අතුරුදන් වූවන්ගේ කාර්යාලය. අහිංසක ළමයින් ගල්වල ගහලා මරපු කොටින්ට විරුද්ධව වචනයක්වත් කියන්න ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ කට ඇරුණේ නැහැ. ජනවර්ගයන් අතර ගැටුම් ඇති කරලා ආණ්ඩු විරෝධය නතර කරගන්න හදනවා.
මේ සම්මුතිය ලංකාවේ නීතියක් බවට ගෙන එනවා වෙනුවට අපි දැනටමත් බලහත්කාරයෙන් පුද්ගලයන් අතුරුදන් කිරීම, පුද්ගලයන්ගේ නිදහසට බාධා කිරීම ගැන අපේ රටේ දණ්ඩ නීති සංග්‍රහය අනුව තියෙන නීති, මේ නීති අණ පනත්වල කරුණු ඒකාබද්ධ විය යුතුයි. දණ්ඩ නීති සංග්‍රහයේ අදාළ වගන්තිවලට තවත් සංශෝධන එකතු වෙනවා නම් මේ අවශ්‍යතාව ඉටු වෙනවා. සම්මුතිය පනතක් බවට පත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බලකිරීමක් තියෙනවා නම්, ඒක වෙනම කරුණක්. එසේ නැත්නම් දැනට අපට තියෙන නීතිවලට මේක එකතු කළ යුතුයි.
ඉන්දියාව හෝ දකුණු ආසියානු රටවල් මේ සම්මුතියේ අත්සන් කර තිබෙනවාද කියා තොරතුරු ලබා ගැනීමට මම උත්සාහ කළත් එය අපහසු වුණා. මේ පනතේ පැහැදිලිව උදර්පණය පිළිබඳ ප්රශ්නය නිශ්චිත කර නැහැ. විදේශකයන් වරදක් කර මේ රටේ සැඟවී සිටිනවා නම් ඔවුන් සම්බන්ධ නීතියත් තිබෙනවා. එම නීතියට අතිරේකව මේ පනතේ සඳහන් වෙනවා උදර්පණය කිරීමට ඉල්ලීමක් ලැබුණු විට ඇමතිවරයාට සලකා බැලිය හැකි බව. මෙය ලංකාවේ පුරවැසියන්ට බල නොපාන බවට නොකියන තුරු විවාදයට තුඩුදිය හැකි විවෘත ප්‍රශ්නයක් හැටියට ඉතුරු වෙන්න පුළුවන්.
බලහත්කාරයෙන් රඳවා ගැනීම වරදක් ලෙස කවුරුත් පිළිගන්නවා. නමුත් සමහර අවස්ථාවලදී නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් බලහත්කාරයෙන් පුද්ගලයන් රඳවාගෙන ඉන්නවා. එසේ සිටිමින් රඳවාගෙන නැති බව ප්‍රකාශ කරනවා. ඒක ලොකු දීර්ඝ සිරදඬුවම් ලැබිය හැකි වරදක්. කවුරුහරි බලහත්කාරයෙන් රඳවාගෙන සිටියොත් එය පොලීසියට ගහන්න බැහැ කියනවා වගේ නීතියක්. පොලීසියට ගහන්න බලයක් නැති වුණාට පොලීසියට සාධාරණ බලයක් පාවිච්චි කරන්න පුළුවන් පාලනය කරන්න. එවැනි අවස්ථාවලදී තමයි නීතිය ක්‍රියාත්මක කිරීමට යොමුවෙන අය නීතියේ මුවාවෙන් සැඟවෙමින් නීතිවිරෝධී ක්‍රම යොදාගන්නේ. අසත්‍යයන්, සත්‍යතා වගේ වචනවලින් ඉදිරිපත් කිරීමට සමහරුන්ට තියෙන හැකියාව අපේ රටවල බරපතළ කරුණක් වෙලා.
කවුරුත් අතුරුදන් වෙන්න කැමැති නැහැ. අපි අතුරුදන් වූවන් ගැන පාර්ලිමේන්තුවේදී කතා කරද්දී බලහත්කාරයෙන් රටේ තැනින්තැන මිනීමරා ගන්නවා. රැය ගතකරන්නේ ජනතාව මර බියෙන්.
මේ ආණ්ඩුව අසමත් වෙලා තියෙනවා සාමකාමී ජීවන තත්ත්වය රකින්න. අද ආණ්ඩුව ගැන ජනතාවගේ විශ්වාසයක් නැහැ. සිංහල ජන සමාජය හිතනවා ආණ්ඩුව තමන් ආරක්ෂා කරන්නෙ නෑ කියලා. මුස්ලිම් ජන සමාජයටත් එම තීරණයට අද එන්න සිදුවෙලා තිබෙනවා. අද මේ රටේ ආණ්ඩුවක් නැති තත්ත්වයට පත් වෙලා තිබෙනවා. එහෙම තත්ත්වයක් යටතේ ජිනීවා සමුළුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදය සමග ආණ්ඩුව එකඟ වුණා ඇමෙරිකා එක්සත් ජනපදය ලංකාවට රැහැනිව ගෙනාපු යෝජනාවට සහාය දැක්වූ ලෝක ඉතිහාසයේ පළමු වැනි රට.
කිසියම් රටකට එරෙහිව ඇමෙරිකාව හෝ වෙනත් රටක් ගෙනාපු යෝජනාවකට සම අනුග්‍රාහකත්වයක් දරපු එකම රට මේක පමණයි. දැන් අබල දුබල වෙලා තියෙන පාලනයක් තියෙන තැනක ජාත්‍යන්තරව එකඟ වූ කොන්ත්‍රාත්තුව ඉටුකිරීම පමණයි අද මේ රටේ සිදු වෙන්නේ. මේ පනතත් ඒ කොන්ත්රාත්වලට අයත් පනතක්. අපි මේකේ සමස්ත සන්දර්භය තේරුම් ගන්න ඕන.
මේ කලබලකාරී තත්ත්වය තුළ සමාජයේ මේ පනත ගැන සාකච්ඡාවක් වුණේ නැහැ. මේ පනතේ තියෙන විසකුරුභාවය ගැන කතා වුණේ නැහැ. මේක ඕපපාතිකව එන පනතක් නෙමෙයි. හිටපු විදේශ ඇමති මංගල සමරවීර ඇමෙරිකානු යෝජනාවට එකඟ වුණා. ඒ යෝජනාවේ තියෙනවා කළ යුතු කාර්යභාරය මොනවද කියලා. අභූත චෝදවා එල්ල කරලා රණවිරුවන් දඩයම් කරන්නේ ඒ න්‍යාය පත්‍රයට අනුව. නාවික හමුදාවේ හිටපු ප්‍රධානියෙක් වන කොමදෝරු දසනායකට විරුද්ධව සාක්ෂි දීපූ කොටි සාමාජිකයා කිව්වා බලෙන් සාක්ෂි ගත්තා කියලා. ඇත්ත සිද්ධිය ඔහු කිව්වා. ඒ නිසා කොමදෝරුවරයාට ඇප ලැබුණා. අද සී.අයි.ඩී. එක රණවිරුවන්ට බොරු සාක්ෂි හදන එක කරන්නේ. ගෝඨාභය රාජපක්ෂ දඩයම් කරන්න බොරු සාක්ෂි හදන එක. මේ සන්දර්භය ඇතුළේ අපට මේ පනත ගැන කියවන්න වෙන්නේ. මේකේ තියෙන අකුරුවලින්, වාක්‍යවලින් විතරක් මේක අපට මනින්න බැහැ.
අතුරුදන් වූවන්ගේ තොරතුරු විමර්ශනය කිරීමට කාර්යාලයක් පිහිටුවනවා, ව්‍යවස්ථාදායක සභාවෙන් ජනාධිපතිට නිමල්කා ප්‍රනාන්දු ඇතුළු කුප්‍රකට කොටි හිතවාදී නඩයකගේ නම් ටික යවනවා, ජිනීවා මානව හිමිකම් සමුළුවට ගිහින් රණවිරුවන්ට අභූත චෝදනා නගන නිමල්කා ප්‍රනාන්දු ඇතුළු කොටි හිතවාදීන් නම් කරන ව්‍යවස්ථාදායක මණ්ඩලයේ සිංහල බෞද්ධ චම්පික රණවකත් සිටිනවා. බෙදුම්වාදයට එරෙහි ඔහු සිටින ව්‍යවස්ථාදායක සභාවෙන් නිමල්කා ප්‍රනාන්දුගේ නමත් සම්මත වෙලා යනවා. අරුම පුදුම කාලේ. හරිනම් අතුරුදන් වූවන්ගේ කාර්යාලයට පත්කරන්න ඕන මධ්‍යස්ථ පිරිසක්. සාධාරණව මෙහෙම දෙයක් වෙලාද නැද්ද කියලා හොයලා බලන පිරිසක්. නමුත් එහෙම පිරිසකට නෙවෙයි ඒක බාර වෙන්නේ. ඒ නම් ටික දෙන්නෙත් ඇමෙරිකන් තානාපති කාර්යාලයෙන්.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd