'පහ වසර ශිෂ්‍යත්ව විභාගය' වාසනාවක්ද අවාසනාවක්ද?
2017 වර්ෂයේ ශිෂ්‍යත්ව විභාගයෙන් නව පාසලකට ඇතුළුවීම සඳහා කඩඉම් ලකුණු පසුගියදා ප්‍රකාශයට පත්කර තිබුණි. විභාගය සඳහා අපේක්ෂක අපේක්ෂිකාවෝ 356,728 දෙනෙක් විභාග මධ්‍යස්ථාන 3014කදී විභාගයට වාඩි වූහ. ශ්‍රී ලංකාවේ දරුවෙකු විභාග දෙපාර්තමේන්තුව පවත්වන ප්‍රථම විභාගයට මුහුණදෙන්නේ මේ අවස්ථාවේය. මේ රටේ වැඩිම පිරිසක් දැඩි අවධානය දක්වන විභාගයක් ලෙසද ප්රකටය. මේ රටේ වැඩිම මවුවරුන් පිරිසක් දැඩි උද්යෝගයක් දක්වන විභාගයක් නිසාම පහ වසර ශිෂ්‍යත්ව විභාගයට මවුවරුන්ගේ විභාගය ලෙස හැඳින්වීමට සමහරු පෙළඹී සිටිති. මන්ද? දරුවන්ට වඩා ලොකු ඕනෑකමක් මව්වරුන්ට ඇති නිසාය.
පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව තිස් දහසකට ආසන්න සංඛ්‍යාවකට මුදල් ආධාර මෙන්ම ලංකාවේ ජාතික පාසල් ඇතුළු සුපිරි යැයි කියනු ලබන පාසල්වලට ඇතුළු වීමේ අවස්ථාව හිමි වේ. රාජකීය, ආනන්ද, නාලන්ද, තර්ස්ටන්, ඩී.එස්. සේනානායක, විශාඛා ආදී උසස් යැයි සම්මත පාසලකට ඇතුළු වීමට ඉහළම ලකුණු ලබාගන්නා ගම්බද ළමයෙකුට වුවද අවස්ථාව හිමිවීම වැදගත්ය. මවුවරුන්ට අවශ්‍ය වන්නේද මේ ටිකමය. මන්ද ඒ ඔස්සේ අනාගතයේදී තමාගේ දරුවා වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක්, ගණකාධිකාරීවරයෙක්, නීතිවේදියෙක් වැනි උසස් තනතුරකට යාමට මෙය අඩිතාලමක් වේ යැයි සිතන නිසාය.
ශිෂ්‍යත්ව විභාගයට තම දරුවා ළඟාවන වර්ෂයේ දරුවන්ගේ මවුවරුන්ගේ දැඩි පීඩන වෙහෙසකාරී තත්ත්වය උදා වෙයි. පහ වසරට එළැඹි වසරේ මුල සිටම මවුවරු දරුවා සමත් කරගැනීමේ දැවැන්ත සටනකට අවතීර්ණ වෙති. මවට ශිෂ්‍යත්වය හැර වෙන සිහියක් කල්පනාවක් නැත. ඇතැම් පියවරුන්ටද මේ ශිෂ්‍යත්ව උණ වැලඳෙයි. දරුවාගේ ළමා කාලය (විශේෂයෙන් එම වසර) මුළුමනින්ම දැඩි පීඩනයට ලක්කරයි. උපකාරක ශිෂ්‍යත්ව පන්ති එකකට නොව හය හතකට ඇදගෙන යයි. දරුවාට හරියට කන්න බොන්න නැත. පාසල අවසන් වූ වහාම මවුවරු විවිධ ශිෂ්‍යත්ව උපකාර පන්තිවලට දරුවන් ඇදගෙන යෑමේ ධාවන තරගය අරඹති. පාසලේ පන්තිය එච්චර අල්ලන්නේ නැත. පාසලේ ශිෂ්‍යත්ව බාහිර පන්තියට යවන්නේ නම් ඒ විදුහල්පති හා පන්තිය භාර ගුරුතුමියට ඇති බිය නිසාය. ගෙදරදොරේ, සැමියාගේ, අනෙක් දරුවන්ගේ ඕනෑ එපාකම් සොයා බැලීමට මවුවරුන්ට කාලයක් නොමැත. සැමියාගේ මාසික වේතනයෙන් විශාල මුදලක් උපකාරක පන්ති පවත්වන අධ්‍යාපන සිල්ලර කඩහිමි මුදලාලිලා හිමි කර ගනිති. රටපුරා ශිෂ්‍යත්ව පන්ති පිළිබඳ පෝස්ටර් වපුරති. පාසල්වලට ඇතුළු වන ස්ථාන ආසන්නයේ බහුලව දක්නට ලැබේ.
අසරණ දරුවාට ක්‍රීඩා තහනම්ය. රූපවාහිනී කාටූන් තහනම්ය. මුද්‍රණය වන සෑම ශිෂ්‍යත්ව පත්‍රයක්ම සතිපතා ලබාදෙයි. අල්ලපු ගෙදරට යාම තහනම්ය. ඇස්වහ ගනීද? කොඩිවින කරයිද? කියා බියය. රුපියල් දහස් ගණන් වටිනා ශිෂ්‍යත්ව පොත් ගෙනැවිත් දරුවාගේ මේසය පුරවයි. හොඳයි කියා විශ්වාස කරන ගුරු භවතුන් නිවසට ගෙන්වා දරුවාට උගන්වයි. නිතරම දරුවාගේ පොත් පරීක්ෂා කරයි. ලකුණු සොයා බලයි. අඩු නම් ටොකු අනින අම්මලාද නැතුවා නොවේ. 5 වසර අගෝස්තු දක්වා ගෙවන කාලය දරුවාගේ ජීවිතයේ අධිපීඩනකාරී වසර යැයි කීවොත් නිවැරදිය. මවුවරුන් දෙතුන් දෙනෙක් එකතු වුණොත් කතාබහට ලක්වන්නේ ශිෂ්‍යත්වය ගැනමය. මවුවරුන්ට ශිෂ්‍යත්වය ඒ තරමටම ජීර්ණ වී ඇත. ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වුවහොත් බයිසිකල්, පරිගණක ආදී වටිනා දේ ලබාදීමට කල්තියාම පොරොන්දු වෙති. එම පොරොන්දු කඩකරන අවස්ථාද නැතුවා නොවේ. ශිෂ්‍යත්වය කිට්ටු වනවිට බෝධිපූජා කෙළවරක් නැත.
බාරහාර අපමණය. අත්පුරා පිරිත් නූල්ය. ගමේ පන්සල, බෝධිය, දේවාලය, කෝවිල අසල පූජා වට්ටි, පුදපූජා අතින් ගෙන ළමයා විභාගයෙන් පාස් කරදෙන මෙන් කරන ආශිර්වාද අනන්තය. අම්මලාට ශිෂ්‍යත්ව විභාගය ගැන මෙතරම් රුදාවක් අල්ලන්නේ ඇයිද? යන්න පැනයකි.
ශිෂ්‍යත්වය ලක්ෂ 3 ½ටම සමත්විය හැකිද? ඉදිරි දිවිය සරු කරගැනීමට ශිෂ්‍යත්වය සමත් විය යුතුමද? මේ රටේ ලක්ෂ 14කට ආසන්න විවිධ රාජකාරි කරන රාජ්‍ය සේවකයන් සියලු දෙනාම ශිෂ්‍යත්ව සමත් අයද?
අඩු වශයෙන් ඔබ රජයේ සේවකයෙකු හෝ උපාධිධාරියෙකු වූයේ ශිෂ්‍යත්වය සමත් වෙමින්ද? එසේ නම් ඔබ ඔබේ දරුවාට මෙතරම් පෙළඹවීම් කරන්නේ ඇයි? පහ වසර ශිෂ්‍යත්වය අවසන් වීමෙන් පසු පෙර සේ දරුවාගේ අධ්‍යාපනය ගැන නොසොයන්නේ ඇයි? ප්‍රශ්න ගණනාවකි.
ශිෂ්‍යත්වය විකුණා බඩකට සරු කර ගන්නා පුද්ගලයන් මේ රටේ නැද්ද? අධ්‍යාපන සිල්ලර කඩ මුදලාලිලා කොටසකි. ඇතැම් 05
ශ්‍රේණි භාර පාසල් ගුරුවර ගුරුවරියන් මුදල් අය කර නිවසේ පන්ති පවත්වන බව රහසක් නොවේ. නිවසේ උපකාරක පන්තියට නාවොත් පාසලේ පන්ති කාමරයේදී කුඩම්මාගේ සැලකිලිය. කිසිම මුදලක් අය නොකර පහ වසර ශිෂ්‍යත්ව පන්තිවලට උගන්වන ගුරු දෙවිවරුන් සිටින බවද සටහන් කරන්නේ සතුටිනි. විෂය නිර්දේශයට අනුවත්, එසේ නැතිවත් මුද්‍රණය කර විකුණා ලාභ ලබන මුද්‍රණකරුවෝ කොපමණ සිටිත්ද? ඇත්තෙන්ම ඔවුන් මේවා කරන්නේ සද්භාවයෙන්මද? ආදර්ශ ප්‍රශ්නෝත්තර පොත් හා ප්‍රශ්න පත්‍ර ටොන් ගණනින් එළිදකී. නගරෙත් ගමෙත් ගෙවලත් උපකාරක පන්ති අනන්තය. ප්‍රශ්නෝත්තර පන්තිද එහෙමයි.
මේ රටේ ප්‍රධාන පෙළේ බැංකු ඇතුළු මූල්‍ය ආයතනද ශිෂ්‍යත්ව අපේක්ෂක දරු දැරියන්ට දක්වන ආදරය අති විශාලය. විභාගය ඉහළින් සමත් වන අයට විශාල ත්‍යාග ලබාදෙන බවට ප්‍රචාරය කරති. ස්වකීය වියදමින් රටපුරා සම්මන්ත්රණ දේශන පවත්වති. එහෙත් ඒ සඳහා ස්වකීය මූල්‍ය ආයතනවල දිගුකාලීන ගිණුම් (ළමා ගිණුම්) ඇරඹීම කළ යුතුය. මෙහි යටි යම් අදහසක් තිබේද යන්න සිතීම ඔබට බාරය. මේ රටේ ජාතික පුවත්පත්, රූපවාහිනී සේවා, ගුවන්විදුලි සේවා ශිෂ්‍යත්ව විභාග අපේක්ෂකයන් වෙනුවෙන් ප්‍රශංසනීය සේවයක් කළේය. ඒ මානව හිතවාදී අදහසිනි. කවර හෝ ආයතනයක් හෝ පුද්ගලයෙකු දරුවන් වෙළෙඳ භාණ්ඩ ලෙස තබාගෙන ස්වකීය මඩිය තර කර ගැනීමට කටයුතු කළා නම් එය මහා පාපකර්මයකි.
ශිෂ්‍යත්ව ප්‍රතිඵල පැමිණීමෙන් පසු සමත් වුවත් නැතත් දරුවන් ආදරයෙන් පිළිගත යුතුය. විභාගය අසමත් දරුවෙකු පිළිස්සූ පියෙකු ගැන පෙර වාර්තා විය. එසේම ප්‍රතිඵල පැමිණීමෙන් පසු දරුවාගේ අසමත් වීම මත අම්මලා මානසික වෛද්‍යවරුන් වෙත ගිය අවස්ථා ගැනද සමහරු කියති. කෙසේ වුවද දැන් ශිෂ්‍යත්වය අවසන්ය. ඊළඟට දැනට හතර ශ්‍රේණියේ සිටින දරුවන්ගේ මවුවරු පෙර සිටම ශිෂ්‍යත්ව හරඹය ආරම්භ කර ඇති. මේ රටේ ජනතාව මෙම විභාගයට දැඩි ආදරයක් දක්වති. මවුවරුනි! ශිෂ්‍යත්ව විභාගයෙන් පසු දරුවාගේ අධ්‍යාපනය හමාර බව නොසිතන්න. සමත් වුවත්, නැතත් ඔබේ උද්යෝගය කිසිසේත් හමාර නොකරන්න. දරුවා උගත් දේ දරුවා ළඟය. පහ වසර ශිෂ්‍යත්ව සමත් වීම හෝ අසමත් වීම ජීවිතය ජය ගැනීමක් හෝ පරාජය වීමක් හෝ නොවේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


