පක්ෂ මාරු මැද්දේ නාමයෝජනා බාරදීම අවසන් කරයි
සයිටම් වැහුවේ නැතිනම් අපට මෙතන ඉන්න විදිහක් නැහැ
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට පත් කළ කමිටුව සඳුදා අරලියගහ මන්දිරයේදී රැස්වූයේ ඒ වෙනුවෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීමටයි.
2018 ජනවාරි මස 15 වැනි වන විට මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ස්වාධීන ආයතනයකට පවරා දෙන්නැයි සයිටම් ගැටලුව විසඳීම සදහා පත්කළ කම්ටුව මෙහිදී යෝජනා කළේය. එම ක්‍රියාවලිය දෙසැම්බර් මස 31 දිනට පෙර සිදුකිරීමට මීට පෙර තීරණය කර තිබුණද විවිධ සාකච්ඡා දීර්ඝව ඇදී යාම හේතුවෙන් එය සිදුකළ නොහැකි විය. සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න හා ආර්ථික කටයුතු නියෝජ්‍ය ඇමති හර්ෂ ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් කමිටුව රැස්විය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරුන්, කොළඹ සහ කැලණිය විශ්වවිද්‍යාලවල වෛද්‍ය පිඨ පීඨාධිපතිවරුන්ද මේ සඳහා පැමිණ සිටියහ.
කමිටු රැස්වීම පැවැත්වෙන අවස්ථාවේ නිරීක්ෂකයන් ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ, වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ සංගමයේ මනෝජ් වීරසිංහ, වෛද්‍ය සුසිල් විජේසිංහ, වෛද්‍ය සුනිමල් ජයසිරි, වෛද්‍ය මොහොමඩ් හනීෆා, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කොල්වින් ගුණරත්න, මූල්‍ය උපදේශක නිරෝෂ් ද සිල්වා ද එක්ව සිටීම විශේෂත්වයක් විය.
කමිටු රැස්වීම ආරම්භයේදී පසුගිය කමිටු වාර්තාව ඉදිරිපත් කළ අතර, එහිදී වෛද්‍ය මනෝජි වීරසිංහ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ පීඨාධිපතිනී මහාචාර්ය නිලන්ති ද සිල්වා විසින් සංශෝධන දෙකක් ඉදිරිපත් කරන ලදී. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගත් තීන්දුවට පරිබාහිර තීන්දුවක් කැබිනට් මණ්ඩලය විසින් වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය පිළිබඳව ගෙන ඇති බව වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය මනෝජ් වීරසිංහ මෙහිදී ප්‍රකාශ කළේය. එවිට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න චෝදනාවක් එල්ල කළේය.
“වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය සඳහා වූ නිර්ණායක මම වෙනස් කළා කියලා චෝදනා කරනවා. විශ්වාසවන්ත කටයුතු මාර්ගයක් ඔස්සේ ලැබුණු තොරතුරු පැහැදිලි කරමින් පීඨාධිපතිවරුන් ලිපියක් ලියා තිබුණා. පීඨාධිපතිවරුන් පිළිගත නොහැකි තර්ක ඉදිරිපත් කරලා තිබුණා. මම කැබිනට් පත්‍රිකාවේ ඉදිරිපත් කළේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිර්දේශවලට එකඟ බවයි. විශ්වවිද්‍යාල සනාථන සභාවේ ප්‍රධාන කොටස්කරුවන් අවම සුදුසුකම් පිළිබඳව වෙනස් මතයක් ඉදිරිපත් කර තිබුණා. කැබිනට් මණ්ඩලය විශ්වවිද්‍යාල මගින් ගනු ලබන ප්‍රතිපත්තිවලට තීන්දුවක් ගත යුතු බවද එහි සඳහන් කර තිබුණා.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව නිර්දේශ කළ අවම සුදුසුකම් ගැසට් කිරීමට අවසර ලබාදෙන ලෙසද මම කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා සිටියා. මම මගේ ස්ථාවරත්වය ඒ විදිහටයි දැනුම් දුන්නේ. නමුත් විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ගයක් කියලා පීඨාධිපතිවරුන් යොමු කළ ලිපිය පිළිබඳව මට ප්‍රශ්නයක් තිබෙනවා. එම විශ්වාස කටයුතු ආරංචි මාර්ගය කවුද යන්න ප්‍රකාශ කරන්න. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විවිධ ප්‍රකාශ නිකුත් කරනවා. මම ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාවේ තීරණයට වෙනස් තීන්දුවක් ගත්තේ නැහැ. මම කවදාවත් බලපෑම් කළෙත් නැහැ”.
එවිට ඇමති හර්ෂ ද සිල්වා පැවසුවේ මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ස්ලිට් ආයතනයට පවරා දීම පිළිබඳ යෝජනාවක් පිළිබඳවයි.
කොතලාවල විශ්වවිද්‍යාලයට සයිටම් ළමයි බඳවාගන්න විරුද්ධ වුණා.
නමුත් කමිටු රැස්වීමට පැමිණ සිටි දෙමාපිය සංගමයේ නියෝජිතයන් කියා සිටියේ එම වෛද්‍ය සිසුන් රජයේ විශ්වවිද්‍යාලයකට ඇතුළත් විය යුතු බවයි.
එවිට ඇමති රාජිත මෙසේ පැවසීය.
“ඔබලාගේ ප්‍රතිපත්තිය මොකක්ද, 80 දශකයේ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට අපි විරුද්ධ වුණේ කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිය ලබාදීම පිළිබඳවයි. අතීතයට යන්න එපා. ප්‍රතිපත්ති වෙනස් කරන්නත් එපා. මම ප්‍රතිපත්ති වෙනස් කරමින් දේශපාලනය කරන්නේ නැහැ. මම වෘත්තිකයෙක්. විද්වත් වෘත්තිකයන්ගේ සංගමය වසර 8ක කාලයක් නිලතල හෙඹවූවා. වෘත්තීයවේදීන් ගැන මම දන්නවා” යැයි කියා සිටියේය.
එවිට කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ පීඨාධිපතිනී මහාචාර්ය නිලන්ති ද සිල්වා හිස වනමින් කියා සිටියේ දෙමාපිය සංගමයේ ඉල්ලීමට එකඟ නොවිය යුතු බවයි.
“ජනාධිපතිවරයා කරුණු පැහැදිලි කරලා තිබෙනවා. මටත් දුරකථන ඇමැතුමකුත් ලබාදෙමින් කරුණු පැහැදිලි කළා. වෛද්‍ය පීඨ පීඨාධිපතිවරුන් අවම සුදුසුකම් පිළිබඳව කරුණු අමාත්‍ය හර්ෂ ද සිල්වා ඉදිරියේ ප්‍රකාශ කර තිබෙනවා. ඔවුන් ප්‍රකාශ කළේ සී 2යි එස් 01කට එකඟයි කියලා. එය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතාට දැනුම් දුන්නේ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය විසින්. දැන් එකඟ වෙන්න එපා කියලා කියනවා’ යැයි එහිදී රාජිත කීවේය.
“ලෝකයේ අනෙක් රටවල විභාග මත නොවෙයි දරුවන්ගේ සුදුසුකම් පරීක්ෂා කරන්නේ. බුද්ධිය මතයි. දැනුම් පරීක්ෂාව මතයි. මා සමග සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට අසමත් වූ සිසුවෙක් පසුව පුරාවිද්‍යා මහාචාර්යවරයෙක් බවට පත් වුණා. විභාගයකින් තීරණය කරන්න බැහැ. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට දරුවන් බඳවාගන්නා හැටි බලන්න” යැයි රාජිත දිගින් දිගටම කරුණු කියා සිටියේය. කෙසේවෙතත් අවසානයේ ඉදිරිපත් වූ කරුණුවලට අනුව තීන්දු තීරණ ගත් අතර, එහිදී මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වෙනත් ස්වාධීන ආයතනයකට පවරා දීම ජනවාරි මස 15 වන විට සිදුකරන බව අමාත්‍ය හර්ෂ ද සිල්වා මෙහිදී පැවසීය.
මෙහිදී අදහස් දැක් වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ පැවසුවේ “අපට අවශ්‍ය වූයේ මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වසා දැමීම පමණයි. නැතිනම් අපට මෙතන ඉන්න විදිහක් නැහැ” යැයි කියා සිටියේය. එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා විදේශීය රටවල පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ක්‍රියාත්මකවන ආකාරය පිළිබඳව කරුණු පැහැදිලි කරන ලදී. තවද “නෙවිල් ප්‍රනාන්දු රෝහල පවරා ගැනීම සිදුකෙරුණේ රජයේ තක්සේරුවක් මතයි. එහි තක්සේරු වටිනාකම රුපියල් බිලියන 3 ½ කි. මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය පත් කළ අධ්යක්ෂ මණ්ඩලයක් විසින් එය පාලනය කරනවා. සියලු වියදම් ලබාදෙන්නේ අමාත්‍යාංශය විසින්. මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරීම නිසා නෙවිල් ප්‍රනාන්දු රෝහල පිළිබඳ ගිවිසුම පිළිබඳව වැරදි පණිවුඩයක් ජනතාව තුළට ගොස් තිබෙනවා. මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පවරා දෙන නව ආයතනය සමග කොන්දේසි ප්‍රකාරව නව ගිවිසුමකට එළඹෙන බව” ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
හොඳම උපන්දින තෑග්ග
ඇමති මනෝ ගනේෂන්ගේ උපන් දිනය යෙදී තිබුණේ සඳුදාටයි. මුලින්ම උපන් දිනයට සුබ පැතීමට දුරකථන ඇමතුමක් ගෙන තිබුණේ අගමැති රනිල් වික්රමසිංහයි.
‘සුබ උපන්දිනයක් මනෝ ඇමතිතුමා’
‘බොහොම ස්තූතියි සර්’
‘මනෝ ඡන්ද වැඩ කොහොමද?’
‘කරගෙන යනවා සර්’
‘මනෝ අපි හැමෝම එකතුවෙලා ඡන්දෙ ඉල්ලමු. ඒකට එකඟයි නේද? ඒක තමයි මනෝ අපිට දෙන හොඳම උපන්දින තෑග්ග’
එයට එකඟතාව පළකිරිමේ සිනහවක් පළ කළ මනෝ ‘හොඳමයි සර්’ යැයි කීවේය.
එම දුරකථන සංවාදය එසේ අවසන් වනවිට හිටපු ජනාධිපති
මහින්ද මනෝට කතා කළේද උපන්දිනයට සුබපැතීමටයි.
මැලේසියානු අගමැතිට මෛත්‍රී හඳුන්වාදුන් නායකයා
මැලේසියා අගමැති නජීබ් රසාක් මහතා ලංකාවට පැමිණියේ තෙදින නිල සංචාරයක් සඳහාය. ඔහුගේ මේ සංචාරයේදී මුතුරාජවෙල ඉදිකර අවසන් වූ ලිහිසි තෙල් කර්මාන්ත ශාලාවේ ඉදිරි කටයුතු සොයා බැලීමේ අරමුණක්ද විය.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ මැලේසියාවේ හයිරැක්ස් සමාගම අතර පසුගිය කාලයේදී ඇති වූ ගිවිසුමක් මත එම කර්මාන්ත ශාලාව ඉදි කෙරිණ. මෙතෙක් හයිරැක්ස් සමාගම සිදු කළේ ලිහිසි තෙල් ආනයනය කිරීමයි. එලෙස ආනයනය කරන ලිහිසි තෙල් මිලදී ගන්නා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් හයිරැක්ස් නාමය යටතේ මෙරට වෙළඳ පොළේ අලෙවි කරන ලදි. කෙසේ නමුත් මුතුරාජවෙලදී හයිරැක්ස් ලිහිසි තෙල් නිෂ්පාදනාගාරයේ වැඩ පටන් ගැනීමෙන් පසුව මෙරටදීම ලිහිසි තෙල් නිෂ්පාදනය කිරීමට මෙන්ම එම ලිහිසි තෙල් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හරහා රට තුළ විකිණීමටත් විදේශ රටවලට අපනයනය කිරීමේත් අවස්ථාව හයිරැක්ස් සමාගමට හිමි වෙයි. ඒ වසර විස්සක් සඳහාය. ඒ මත මෙරට ලිහිසි තෙල් කර්මාන්තය විදේශීය සමාගමක ආධිපත්‍යයට නතු වීමේ සහ ලිහිසි තෙල් වෙළඳාමේදී ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පාඩු විය හැකි බව බොහෝ දෙනා පෙන්වා දෙති. විශේෂයෙන්ම කර්මාන්ත ශාලාව සඳහා වැය වූ මුදල වසර හයක් වැනි කාලයකදී පියවා ගැනීමට හැකි වීමත්, වසර විස්සක කාලයක් තුළදී ලිහිසි තෙල් හයිරැක්ස් සමාගමෙන් පමණක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් මිලදී ගැනීමට සිදුවීමත් මත මෙම ගිවිසුමෙන් හයිරැක්ස් සමාගමට වැඩි වාසි පවතින බව පැවසේ. මේ තත්ත්වය මත ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ හයිරැක්ස් සමාගම අතර වූ ගිවිසුම නැවත සමාලෝචනය කළ යුතු බවට අමාත්‍ය අර්ජුන රණතුංග මීට පෙර පෙන්වා දුනි. ඔහු පවසා ඇත්තේ ආයෝජන රටට අවශ්‍ය වුවත්, එයින් ඒකාධිකාරීත්වයක් ගොඩනැගීමෙන් දේශීය කර්මාන්තයට හානියක් නොවන ලෙස එම ආයෝජන සැකසිය යුතු බවයි. මේ අනුව මෙම ගිවිසුම ඉදිරියට ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් තීරණාත්මක සාධයක් බවට විෂය භාර අමාත්‍යවරයා ලෙස අර්ජුන රණතුංග පත්ව තිබේ. එය වඩාත් පැහැදිලි වූයේ පසුගිය මැලේසියානු අගමැති වෙනුවෙන් පැවැති භෝජන රාත්‍රියේදීය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනත් මැලේසියානු අගමැතිත් අසුන් ගෙන සිටි මේසය අසලට අමාත්‍ය අර්ජුන රණතුංග කැඳවීමට ජනාධිපතිතුමා කටයුතු කළේය. මේ අපේ රටට ක්‍රිකට් ලෝක කුසලානය දිනා දුන් නායකයා යනුවෙන් මැලේසියානු අගමැතිට හඳුන්වා දුන් ජනාධිපතිතුමා වැදගත් කථාවකට මුලපිරීය. කෙසේ නමුත් තිදෙනා අතර වූ කතාබහ ගැන වැඩිදුර කිසිවක් මේසය අසල සිටි සෙසු අයට ඇසුණේ නැත.
ඇවිදින ගේට්ටු
තිස්සමහාරාම, දෙබරවැව පශ්චිමාරාම රාජමහා විහාරස්ථානයේ සංඝාවාස ගොඩනැගිල්ල සඳහා ‘සසුනට අරුණ’ යටතේ මූල්‍යාධාර පරිත්‍යාග කිරීම වෙනුවෙන් පැවැති විශේෂ උත්සවයකට පසුගියදා ඇමති සජිත් ප්‍රේමදාස සහභාගි විය.
කලක් මුළුල්ලේ ජරාවාස වෙමින් ජනතා අවධානයෙන් ගිලිහෙමින් පැවැති මෙම පුරාණ විහාරස්ථානය අලංකාර තත්ත්වයට වැඩිදියුණු කර සංවර්ධනය කරන ලද්දේ වත්මන් විහාරාධිපති මෙත්මුණිගම සිරිසුමන හිමියන් විසිනි.
සජිත් විහාරාධිපති හිමියන් සහ දායක සභාවේ සාමාජිකයන් සමග මහත් උනන්දුවෙන් සාකච්ඡා කළේ එහි වත්මන් දියුණුව සහ ඉදිරියේදී කළ යුතු කාර්යයන් ගැනය.
‘පසුගිය පාලන කාලයේදී තිස්සමහාරාම ප්‍ර‘දේශයේ මත්පැන් සහ මත්ද්‍රව්‍ය උවදුර බරපතළ විදියට පැතිරිලා තියෙනවා. දෙබරවැව ජාතික පාසලට ඉතාම කිට්ටු තැනක මත්පැන් අලෙවි සැලක් තිබෙනවා. පාසලක පිවිසුම් දොරටුවේ ඉඳලා නිර්ණය කළ නිශ්චිත දුරක් ඇතුළත ‘වයින් ස්ටෝර්ස්’ එක දාන්න බාධාවක් නොවෙන විදියට දුර ප්‍රමාණය සකස් කර දීලා තිබෙනවා. එහෙමයි ඒ කාලේ මතට තිත තිබ්බේ’ සජිත් කීවේය.
“අපේ හාමුදුරුවනේ, තිස්සමහාරාමය කියන්නෙ ඓතිහාසික පුදබිමක්, තිස්සමහාරාමය පූජා නගරයක් කළේ මගේ තාත්තා. ඒ පුදබිම අවට මත්පැන් හල්, තැබෑරුම්, දුසිරිත් පවත්වාගෙන යෑම සදාචාරාත්මක නැහැ නේද?’ යැයි සජිත් පවසද්දී, “හරියටම හරි මහත්තයෝ. ඒවායෙන් මුදවා ගන්න වැඩපිළිවෙළකට ඔබතුමාට අපේ ආශීර්වාදය හිමිවෙනවා’ යැයි විහාරාධිපති හිමියෝ පිළිතුරු දුන්හ.
ලංකාවෙන් රුසියාවට අපනයනය කරන තේ සඳහා තහනමක් පනවා ඇතැයි නවීන් දිසානායක ඇමතිවරයාට තොරතුරු ලැබුණේ පසුගිය සිකුරාදා උදෑසනය. ඒ ගැන ආරංචිය ලැබුණු වහාම ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත් දුරකථනයෙන් දැනුම්දීමට නවීන් කටයුතු කළේය.
“සර්. අපි මේක ප්‍රවේසමෙන් හැසිරවිය යුතු ප්‍රශ්නයක්’ නවීන් කීවේය.
කුරුමිණියෙක් නෙමෙයි ඒ කීටයෙක්
සෙනසුරාදාත්, ඉරිදාත් රුසියාවේ කාර්යාල කටයුතු සිදුනොවන බැවින් නැවත සඳුදා උදෑසනම නවීන් තේ තහනම ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු ආරම්භ කළේය. රුසියාවේ සිටින
ශ්‍රී ලංකා තානාපති සමන් වීරසිංහ සමග සාකච්ඡා කරමින් තේ තහනම පිළිබඳ රුසියාවෙන් එවා තිබූ ලිපියට ප්‍රතිචාර දැක්වීය.
“කුරුමිණියෙක් සිටියා කියලා කිව්වට කීටයෙක් තමයි ඉන්නේ. තේ ඇසුරුමක එම කීටයා සිටියදී තමයි හොයාගෙන තිබෙන්නෙ’ සමන් වීරසිංහ තත්ත්වය පැහැදිලි කළේය.
“මෙම කීටයා කන්ටේනරය ඇතුළේ හිටියා වෙන්න පුළුවන්. රුසියාවේ ධාන්‍ය ක්ෂේත්රයට මේ කුරුමිණියා ඇතුළු වුණා නම්, ප්‍රශ්නෙ වෙනවා. මේ වගේ ප්‍රශ්නයකදී අදාළ කන්ටේනරය තහනම් කරන්න තිබුණා. නැතිනම් දඬුවමක් ලබාදෙන්න තිබුණා. එසේ නොමැතිව රටක කෘෂි නිෂ්පාදන සම්පූර්ණයෙන්ම නැවැත්විය යුතු නැති බව රුසියාවට දැනුම් දෙමු’ නවීන් උපදෙස් දුන්නේය.
ඒ අනුව සඳුදා දිනයේම පූටින් ජනාධිපතිවරයාට ලංකාවේ ජනාධිපතිවරයාගෙන් යවන ලිපිය ලබාදීමට කටයුතු කළේය. අඟහරුවාදා කැබිනට් මණ්ඩලයටද නවීන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළේ මෙවැනි ගැටලු යළිත් ඇති නොවීමට අවශ්‍ය පියවර ගැනීමටය. ඒ අනුව රුසියාවට යවන කන්ටේනර් සියල්ල දුම් දමා පිරිසුදු කිරීමට නියමිත අතර, එයට රුසියානු රජයද කැමැත්ත පළකර තිබේ.
රුසියානු කාර්යාලය නත්තල් නිවාඩුව සඳහා ලබන 24 වැනිදා වසා දමන අතර, යළිත් එහි කටයුතු සක්‍රීය වන්නේ ජනවාරි මස මුල් සතියේදීය. ඒ අනුව ජනවාරි 15-20 වනවිට පවතින ගැටලු විසඳා ගැනීමට හැකිවෙතැයි ඇමති නවීන්ගේ විශ්වාසයයි.
“රුසියාව හා ලංකාව අතර හොඳ මිත්‍රත්වයක් තිබෙනවා. අපිත් රුසියාවට යවන තේවල ගුණාත්මකභාවය ඉහළ දැමීමට පියවර ගෙන තිබෙනවා. ඒ වගේම රුසියානු තේ වෙළෙඳ පොළේ තේ මිල ඉහළ යෑමේ අවදානමක්ද තිබෙනවා. කෙසේ හෝ කඩිනමින් මෙම ප්රශ්නය විසඳීමට අපි කටයුතු කරනවා’ යැයි නවීන් තේ ප්රශ්නය ගැන අසන හිතවතුන්ට පැවසුවේය.
ජානිපෙ අපේක්ෂකයන් දිනවීමට වෙහෙසෙන විමල්
ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ඒකාබද්ධ පොදුජන පෙරමුණ යටතේ ජාතික නිදහස් පෙරමුණේ අපේක්ෂකයන් 223 දෙනෙකුට කොට්ඨාස 141ක් සඳහා ඉදිරිපත් වීමට අවස්ථාව ලැබී තිබේ. ඒ අනුව තම අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය උදෙසා ජානිපෙ මන්ත්‍රීවරු වගකීම් බෙදාගනිමින් මේ දිනවල මැතිවරණ ව්‍යාපාරයේ යෙදෙති. කොළඹ දිස්ත්‍රික්කයේ අපේක්ෂකයන් ජයග්‍රහණය කරවීමේ වගකීම පක්ෂය විසින් බාර දී ඇත්තේ නායක විමල් විරවංශටය. ඉකුත් සතිය පුරා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සාකච්ඡා පවත්වමින් තමන්ගේ අපේක්ෂකයන් නාමයෝජනා ලැයිස්තුවලට ඇතුළත් කර ගැනීමට විමල් දැඩි උත්සාහයක් ගනු ලැබීය. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පොහොට්ටුවේ ලැයිස්තුවට අපේක්ෂකයන් 20ක් පමණ ඇතුළත්ව සිටිති. ඊට අමතරව කළුතර දිස්ත්‍රික්කය බාර දී තිබුණේ ජයන්ත සමරවීරටය. එම දිස්ත්‍රික්කයේ අපේක්ෂක ලැයිස්තුව සඳහා අපේක්ෂකයන් 16ක් පමණ ඇතුළත් කර ගැනීමට ජයන්තට හැකි විය. ඒ ආකාරයට පද්ම උදය ශාන්ත මොනරාගලින්ද, නිරෝෂන් ප්‍රේමරත්න මාතරින්ද, ලලන්ත ගුණසේකර ගම්පහ දිස්ත්‍රික්කයෙන්, නිමල් පියතිස්ස නුවරඑළියෙන්ද, නිමල් ප්‍රේමවංශ මහනුවරින්ද අපේක්ෂකයන් දිනවීමේ කාර්යයට සම්බන්ධ වී සිටිති. වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක හා ප්‍රියන්ජිත් විතාරණ පක්ෂයෙන් ඉවත් වුවද එම අඩුව නොදැනෙන ආකාරයෙන් අපේක්ෂකයන් දිරිමත් කිරීම සඳහා විමල් ඇතුළු නායකයන් පසුගිය සතිය පුරා කටයුතු කරන ආකාරයක් දැකිය හැකි විය.
“පක්ෂය තුළ අසමගිය ගොඩනගන්න ඇතැම් බලවේගවලට වුවමනා වෙලා තිබුණා. නමුත් ඔවුන්ගේ උත්සාහයන් පරාජය කරමින් අපට සැලකිය යුතු අපේක්ෂක පිරිසක් නාමයෝජනා ලැයිස්තුවලට ඇතුළත් කරගැනීමට හැකි වී තිබෙනවා. වරදාන වරප්‍රසාදවලට ගිජු වූ අය අපට ඇඟිල්ල දිගු කරනවා. එම සතුරු බලවේගවලට අප බිය නොවිය යුතුයි’ ජානිපෙ නායකයන් හමු වූ අවස්ථාවකදී විමල් කීවේය. මේ අතර පසුගිය සතිය තුළ විමල් වීරවංශ හා එස්.බී. දිසානායක අතර පැවැති සංවාදය කෙරෙහිද අවධානයක් යොමුව තිබුණි. විමල් කලකිරීමෙන් සිටින බවත්, ඔහු ළඟදීම ආණ්ඩුවට එක්වනු ඇති බවත් එස්.බී. කියා තිබිණි. මෙම ප්‍රකාශය රූපවාහිනී මාධ්‍ය ඔස්සේ පළවීමෙන් පසුව විමල්ට දුරකථන ඇමතුම් ලැබෙන්නට විය. “ඇත්තද ඔබතුමා ආණ්ඩුවට යනවා කියන්නේ. එස්. බී. කියන කතාව මොකද්ද?’ එම ඇමතුම්වලින් ප්‍රශ්න කෙරිණි. එම සෑම ඇමතුමකටම විමල් දුන් උත්තරය වූයේ අපි බඩගිනි වුණාට අසූචි කන්නේ නැති බවය. පසුව
එස්.බී. දිසානායක කීවේ විමල් වැනි අයෙකු ආණ්ඩුවට නොගන්නා බවයි. මෙම සංවාදය තවමත් අවසන් වී නැත. දෙපාර්ශ්වයම වරින් වර මෙවැනි ප්‍රකාශ කරන ආකාරයක් දැකිය හැකිය.
ඇමතිකමින් අස්වුණාම සුබපැතුම් වැඩිවෙලා
ස්වදේශ කටයුතු නියෝජ්‍ය ඇමති ධුරයේ කටයුතු කළ නිමල් ලංසා ගත වූ සතියේ සිය ධුරයෙන් ඉල්ලා අස්විය. මෙම ඉල්ලා අස්වීම සම්බන්ධව විවිධ කතා පැතිර යද්දී ලංසාට වටින පිටින් දුරකථන ඇමතුම් ලැබෙන්නට විය. ‘නියෝජ්‍ය ඇමති ධුරයට පත් වූ අවස්ථාවේ සුබපතලා කෝල් 53ක් ආවා. ඒත් ඇමතිකමින් ඉල්ලා අස්වුණාට පස්සේ සුබපතලා කෝල් දාහකට වඩා ආවා’ සිය හිතවතුන් පිරිසක් හමු වූ අවස්ථාවේදි ලංසා කීවේය. මීගමුව නගර සභාව සඳහා පොදුජන පෙරමුණ සකස් කළ නාමයෝජනා ලැයිත්තුවේ ඔහුගේ සහෝදරයෙක් ද සිටියි. එම ලැයිස්තුව සකස් කිරීමේදී ලංසාගේ මැදිහත්වීමක් ඇතැයි පෙනී යන බැවින් බොහෝ දෙනා ඔහුගෙන් ඇසුවේ ඒකාබද්ධ විපක්ෂයට යන්නේ කවදා ද කියාය. “නත්තලින් පසුව බලමුකෝ මොකද වෙන්නේ කියලා ‘ ඔහුගේ පිළිතුර විය. පසුගිය කාලය පුරා ඒකාබද්ධ විපක්ෂය සමග සුහදව කටයුතු කළ ලංසා පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතදීත් ආණ්ඩුවට විරුද්ධ ප්රතිපත්තියක සිටියේය. ආණ්ඩුවේ සිටියද ඒකාබද්ධ විපක්ෂ දරන අදහස ඔහුගේ මුවින් බොහෝ අවස්ථාවලදී පිට විය. මේ අතර දෙසැම්බර් 25 වැනිදායින් පසුව මාධ්‍ය හමුවක් පවත්වා තමාගේ ස්ථාවරය පැහැදිලි කිරීමට සැලසුම් කර තිබෙන බව වාර්තා වෙයි. එසේම නිමල් ලංසා ඇතුළු ආණ්ඩුවේ කිහිප දෙනෙකු ඉදිරි සතිය ඇතුළතදී ඒකාබද්ධ විපක්ෂය සමග එක්වීමට නියමිත බව ඒකාබද්ධ විපක්ෂය පාර්ශ්වයෙන් වාර්තා වෙයි. ඉකුත් දිනකදී ජෝන් සෙනෙවිරත්න ඇමතිවරයා හමුවීමට ගොස් සිටි රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රේමලාල් විජේසේකර ද මේ අතර සිටිති.
ශ්‍රියානි ආණ්ඩුවට ගියේ මුදල් අරගෙන නෙමෙයි
මහජන එක්සත් පෙරමුණේ සාමාජිකාවක සිටි ශ්‍රියානි විජේවික්‍රම පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය ඇමති ධුරයේ වැඩ භාරගනු ලැබූයේ පසුගිය සතියේය. ඇය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබාගත් පසු මහජන එක්සත් පෙරමුණේ මධ්‍යම කාරක සභාව රැස්විය. එම අවස්ථාවට දිනේෂ් ගුණවර්ධන, සිසිර ජයකොඩි, ලලිත් රෝහණ ඇතුළු මධ්‍යම කාරක සභිකයෝ එක්ව සිටියහ. පළාත් පාලන මැතිවරණයේදී ඒකාබද්ධ පොදුජන පෙරමුණෙන් අපේක්ෂක ධුර ලබාගැනීම ඇතුළු කාරණා කිහිපයක් එහිදී සාකච්ඡාවට ලක් විය. ශ්‍රියානි විජේවික්‍රම විසින් මෙතෙක් කලක් දරමින් සිටි මහජන එක්සත් පෙරමුණේ මධ්‍යම කාරක සාමාජිකත්වය හා පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට එහිදි තීරණය විය.
‘ඇත්තටම ශ්‍රියානි ගියේ විමලවීර දිසානායක එක්ක තිබුණු ප්‍රශ්නයක් නිසා. වෙන කිසිම ප්‍රශ්නයක් ඇයට තිබුණේ නැහැ. එක එක්කෙනා කියන විදියට සල්ලි අරන්වත්, කලින් තිබුණු ඩීල් එකක්වත් නෙමෙයි. මේ නාමයෝජනා ප්රශ්නය නිසා තවත් අයට කලකිරීම් තිබුණා.
නමුත් ආණ්ඩුවට එකතුවෙන නෙමෙයි උත්තරය වෙන්නේ. එතන ඉඳගෙන සටන් කරන එකයි. හැබැයි ඇය ආණ්ඩුවට ගිය එක ගැන මධ්‍යම කාරක සභාවට අනුමත කරන්න බැහැ. මේ වනවිට ඇය එක්සත් ජාතික පක්ෂයේ දූෂිත ආණ්ඩුව සමග සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු වෙලා තියෙනවා. ඒ නිසා පක්ෂය හැටියට ඇයට විරුද්ධව විනය පරීක්ෂණයක් ආරම්භ කරන්න ඕන.’ යනුවෙන් දිනේෂ් සිය ස්ථාවරය පැහැදිලි කළේය.
අනෙකුත් සාමාජිකයන් මෙම කරුණ අනුමත කළ අතර විනය පරීක්ෂණය කඩිනමින් ආරම්භ කිරීමට තීරණය කෙරුණි.
ඒ වැරැද්ද ආපහු නම් වෙන්න ඉඩ තියන්න එපා
මහින්ද රාපක්ෂ පසුගිය සතියේ කාර්යබහුල වූයේ ‘ඒකාබද්ධ පොදුජන පෙරමුණේ’ නාමයෝජනා ලැයිස්තු සකස් කිරීමේ කටයුතුවලට සහභාගි වීම නිසාය. මුල් අදියරේදී නාමයෝජනා ලැයිස්තු 06ක් ප්‍රතික්ෂේප වීම නිසා වැඩි බරක් තබමින් දිස්ත්‍රික් නායකයන් උනන්දු කරවීමට මහින්දට සිදුවිය. බදාදා සවස විජේරාම නිල නිවසට පැමිණි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සමග අවසන් නාම යෝජනා සම්බන්ධව සාකච්ඡාවක් පැවැත්විණි. ලැයිස්තුවලට ඇතුළත් කර සිටින අපේක්ෂකයන්ගේ නිවැරදිභාවය සොයා බලන ලෙසත්, අඩුපාඩු නොවන අයුරින් භාරදීමට කටයුතු කරන ලෙසත් එහිදී මහින්ද දැඩිව කියා සිටියේය.“මෙදා පාර අපි ඉන්නේ දිනන මැතිවරණයක. ඒ හින්දා පොඩි පොඩි අඩුපාඩු හදාගන්න බලන්න. පසුගිය වාරයේ නාමයෝජනා භාර දෙද්දී හයක් ප්‍රතික්ෂේප වුණු එක ලොකු අඩුවක්. අපිට දින්නන තියෙන තැන් මේවා. ඔය ගොල්ලෝ මීට වැඩිය හොයලා බලන්න . ඒ වැරැද්ද ආපහු නම් වෙන්න ඉඩ තියන්න එපා’ යැයි මහින්ද දැඩිව කීවේය. “ලංකාව පුරාම අපිට හොඳ වාතාවරණයක් තියෙන්නේ. මම සියලුම පළාත් පාලන කොට්ඨාසවල ලැයිස්තු අරන් බැලුවා. පාක්ෂිකයන්ගේ වාර්තා අරන් බැලුවා. අපේ ජයග්‍රහණය පහසුවෙන් සිදුවෙන බව පැහැදිලියි. බහුතර පළාත් පාලන ආයතනවල බලය අපිට හිමිවෙනවා. ඒ නිසා ඉස්සරහට සැලැස්මක් අනුව අපිට වැඩ කරන්න සිද්ධ වේවි’ යැයි පවසමින් ජී.එල්. වර්තමාන තත්තවය පැහැදිලි කළේය.
නාමයෝජනා බාරදීමට තිබුණු ඊයේ උදෑසන සිට දිස්ත්‍රික් නායකයින්ට දුරකථන ඇමතුම් දෙමින් ඔවුන්ව දිරිගැන්වීමට මහින්දගත් උත්සාහය හේතුවෙන් ඒකාබද්ධයේ නායකයන්ට ජවයක් එක්වී තිබුණි. නාමයෝජනා බාර දීමෙන් පසුව බොහෝ පිරිස් මහින්දගේ ගෙදරට පැමිණෙන්නට වූහ. අනතුරුව සියලුදෙනා එකතුකරමින් සාකච්ඡාවක් ආරම්භ කළ මහින්ද පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කරවීම සඳහා උපදෙස් දුන්නේය. අද දිනයේදී ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ට තමන්ගේ නිවසට පැමිණෙන ලෙසද මහින්ද පණිවිඩයක් යැවීමට පියවර ගත්තේය.
විමලවීර අම්පාරේ තනිවෙලා
ඒකාබද්ධ විපක්ෂයේ අම්පාර දිස්ත්‍රික් නායකයා වශයෙන් කටයුතු කරන විමලවීර දිසානායක කොළඹ සමග පවතින සියලු සබඳතා නවත්වා පළාත් පාලන මැතිවරණයේදී පොහොට්ටුවේ ජය වෙනුවෙන් කටයුතු කරමින් සිටියි. පසුගිය සතිය පුරාම ඒකාබද්ධ විපක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකුගෙන් ඔහුට දුරකථන ඇමතුමක් නොලැබුණි. ශ්‍රියානි විජේවික්‍රම ආණ්ඩුවට එකතුවීමෙන් පසුව ඔහුට තනිවම මැතිවරණ ව්‍යාපාරයේ යෙදීමට සිදුව තිබේ. මේ අතර මහින්දගෙන් ඔහුට ඇමතුමක් ලැබුණි.“ඔයාට දෙන්න පුළුවන් ගාණ ඔයා දීලා තියෙනවා.වෙන කරන්න දෙයක් නැති විත්තිය මටත් තේරෙනවා.’මහින්ද කීවේය.“ හිටපු මන්ත්‍රීවරු ගමෙන් ඉල්ලන්න ලැබුණේ නැති නිසා ස්වාධීන කණ්ඩායම්වලට ගිහින් තියෙනවා. සමහරුන්ට අපෙන් නාමයෝජනා ලැබුණේ නැති වුණාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගියා. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. හැබැයි පිටින් එන අයට මෙහෙන් ඉඩක් නැහැ.’ විමලවීරගේ පිළිතුර විය. ශ්‍රියානිගේ සිද්ධියෙන් පසුව විමලවීර තනිවම දේශපාලන කටයුතු කරන බව අම්පාරේ ජනතාවට වැටහී තිබුණි. දිස්ත්‍රික්කය පුරා පැවැත්වෙන ජනහමුවලට සහභාගි වූ අවස්ථාවකදී දිස්ත්‍රික්කයේ හිතවතුන් විමලවීරගෙන් ඒ ගැන විමසා සිටියේය.
“අම්පාරට පොහොට්ටුවෙන් ඉදිරිපත් කරපු කිසිම නාමයෝජනා ලැයිස්තුවක් ප්‍රතික්ෂේප වුණේ නැහැ.මේ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙකක්, දෙමළ සන්ධානයේ එකක්, අතාවුල්ලාගේ එකක්, තව ලැයිස්තුවක් ප්‍රතික්ෂේප වෙද්දි අපිට නිවැරදිව ලැයිස්තු හදාගන්න පුළුවන් වුණා. ඒත් මේ දවස්වල කවුරුවත් කතා කරන්නේ නැහැ.
ඕක තමයි තත්ත්වේ. දේශපාලනයේ හැටි ඔහොම තමයි. ගම් පළාතේ කවුරුවත් කතා කළොත් මිසක් කොළඹින් කවුරුවත් කතා කරන්නේ නැහැ. හොයලා බලන ගතියක් දේශපාලනයේ නැහැ.’ විමලවීරගේ පිළිතුර විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

