නියඟයට පෙර සූදානම
මේ 20 වැනිදායින් පසු දිවයිනට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වයේ වෙනසක් ඇති විය හැකි බවත්, දින කීපයක් වැසි බලාපොරොත්තු වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එමෙන්ම මෙතෙක් පැවැති දැඩි ශීත කාලගුණයේ අඩුවීමක් අපේක්ෂා කෙරෙන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එසේ වුවද ශ්‍රී ලංකාව මේ දිනවල මුහුණදෙන නියඟය මාර්තු මාසය තෙක් වර්ධනය වීමට ඉඩ ඇති බැවින්, ජලය සහ විදුලි බලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසද රජය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මේ වනවිට වියළි කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 09 ක පමණ ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති. නියඟය තරමක් දුරට පහව ගියද, මෙම තත්ත්වයෙන් තරමක හෝ සහනයක් ලබාගැනීමට ජල සංරක්ෂණයට මෙන්ම ආහාර සංරක්ෂණයටද යොමුවිය යුතුය. මේ ඒ වෙනුවෙන් තැබෙන සටහනකි.
වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට දිස්ත්‍රික්ක 09 ක නියං තත්ත්වයක් ඇති වෙමින් පවතින අතර, ඒ අනුව මන්නාරම, යාපනය, අනුරාධපුර, ත්‍රිකුණාමලය, නුවර, ගම්පහ, හම්බන්තොට, මොනරාගල, බදුල්ල දිස්ත්‍රික්කවල විශේෂ සහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටද රජය තීරණය කර තිබේ.
පවතින වියළි කාලගුණ තත්ත්වය නිසා මන්නාරම, යාපනය, අනුරාධපුර, ත්‍රිකුණාමලය, නුවර, ගම්පහ, හම්බන්තොට, මොනරාගල, බදුල්ල දිස්ත්‍රික්කවල පවුල් 45,440කට අයත් පුද්ගලයන් 14,9688 ක් මේ වනවිට පීඩාවට පත්ව සිටින බවද වාර්තා වේ.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාරි මාර්ගවල ජල ධාරිතාව 27%ක් දක්වා පහත වැටී ඇති අතර, මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 220 ක ජල ධාරිතාව 30%ක් ලෙසද වාර්තා වී ඇත.
එමෙන්ම මෙම කන්නයේ වගා කර ඇත්තේද කෘෂිකාර්මික භූමියෙන් තුනෙක් එකක පමණ ප්රමාණයකි. 2016 වසරේ නිසි ලෙස වර්ෂාව නොලැබීම මේ තත්ත්වයට හේතු වී ඇති අතර, එබැවින් ජලය සහ විදුලි බලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ආපදා කළමනාකරන මධ්‍යස්ථානය වරින් වර ජනතාවගෙන් ඉල්ලා සිටියි.
නියඟය කෙමෙන් කෙමෙන් තීව්ර වෙමින් පවතින අතර, ඒ සමගම ජල පරිභෝජනයද ඉහළ ගොස් ඇත. ජල පරිභෝජනය සමගම ජලය අපතේ යැවීමේද කිසිදු අඩුවක් සිදු වී නොමැත. මෙරට බොහෝ දෙනා ජල පරිභෝජනයේදී අවශ්‍ය ප්‍රමාණයට වඩා ජලය භාවිත කරන අතර, ජලය අපතේ හරින ප්‍රමාණයද වැඩි වී ඇත.
පානීය ජලය ප්‍රමාණවත් වන්නේ ඉදිරි මාස තුනකට පමණ කාලයක් සඳහා පමණක් බව ජල සම්පාදන මණ්ඩලය පසුගියදා නිවේදනය කළේය. මේ හේතුවෙන් නළ ජලය භාවිත කරන පුද්ගලයන් මෙන්ම ළිං ජලය භාවිත කරන පිරිස්ද ජලය අරපිරිමැස්මෙන් භාවිත කිරීමට සිතා මතාම හුරුවිය යුතුය.
ගෘහ පරිහරණයේ සිට සියලු කටයුතුවලදී ජල අවශ්‍යතා අරපිරිමැස්මෙන් යුතුව භාවිත කරන්නේ නම් ජලය සංරක්ෂණය කරගැනීම එතරම් අපහසු කටයුත්තක් නොවනු ඇත. කෙසේ වුවද දිගින් දිගටම අපරීක්ෂාකාරීව ජලය පරිහරණය කළහොත් ජලය නොමැතිව ඉදිරි කාලය ගත කිරීමට සිදුවනු ඇත.
එමෙන්ම ජලය අඩු වීමත් සමගම ජල මූලාශ්‍ර දැඩි ලෙස අපවිත්‍ර වී ඇති බව දක්නට ලැබෙන දර්ශනයකි. බොහෝ පුද්ගලයන් සිතා මතාම ජල මූලාශ්‍ර අපිරිසුදු කිරීමට පෙළඹී ඇති අතර, ජල මූලාශ්‍ර විනාශ කිරීමටද පෙළඹී සිටිති. මේ වනවිට දිස්ත්‍රික්ක රැසක පවුල් දහස් ගණනින් ජලය නොමැතිව අසරණ වී ඇති අතර, ජල බවුසර මගින් ජලය බෙදාහැරීමට රජය ක්‍රියාත්මක වී ඇත. එසේ වුවද එදිනෙදා පරිහරණයට ප්‍රමාණවත් ජලය නොලැබෙන බවට එම ප්‍රදේශවාසීහු චෝදනා කරති.
ජල මූලාශ්‍ර සිඳී යෑම හේතුවෙන් ඇතැම් ගොවිබිම් සම්පූර්ණයෙන්ම විනාශයට පත් වී ඇති අතර, ජල විදුලිය නිෂ්පාදනයද අවදානම් තත්ත්වයකට පත්ව ඇත. ජලය යනු මිනිසාගේ පරිභෝජනයට පමණක් නොව සියලුම සතුන්ගේ පරිභෝජනයට ඇති ද්‍රව්‍ය බව මිනිසුන් අමතක කර ඇති නිසාම ජල මූලාශ්‍ර විනාශ කිරීම දිගින් දිගටම සිදුවෙමින් පවතී. ඉදිරියේදී නියඟය සමගම ආහාර හිඟයක්ද ඇති විය හැකි බවට කාලගුණ හා කෘෂිකර්ම විද්‍යාඥයෝ අනතුරු අඟවති.
මේ ස්වාභාවික විපතට මුහුණදීම පිණිස අපේ රටට සුදුසු ජල සංරක්ෂණය හා ජලය අඩු තත්ත්වවලදී වගා කිරීමේ ක්‍රම ඇතුළත් ජාතික ආපදා වැඩපිළිවෙළක් ඉක්මනින්ම සකසා ක්‍රියාවට නැංවීමට දැන් කාලය එළඹ ඇත. දැනටමත් දිස්ත්‍රික්ක 07 ක පමණ නියඟය බලපා ඇති බැවින්, මෙරට ආහාර නිෂ්පාදනයට ප්‍රබල අහිතකර බලපෑම් එල්ල වී ඇත.
ඒ අනුව අප කළ යුත්තේ මෙරට ජලය හා ආහාර සුරක්ෂිත කිරීමත්, ආහාර හා ජල සුරක්ෂණ ජාතික ප්‍රතිපත්තියක් රට පුරා ක්‍රියාවට නැංවීමත්ය. ඒ සඳහා රජයේ විවිධ අංශ ක්‍රියාත්මක වීමේ කාලය එළඹ තිබේ. මෙවර 2016 / 2017 මහ අස්වැන්නද 40% ක් පමණ අඩු වනු ඇතැයි කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් ආචාර්ය රොහාන් විජේකෝන් මහතාද පෙන්වා දී තිබේ. මහ කන්නයේ වෙනදාට හෙක්ටයාර් 850,000 ක් වගා කළද මෙවර ජල හිඟය නිසා වගා කළ හැකි වන්නේ හෙක්ටයාර ලක්ෂ 03 ක් පමණක් බවද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පෙන්වා දෙති.
මේ අනුව රටේ තිබෙන වී තොග ඉතා සුරක්ෂිතව මනා කළමනාකාරීත්වයකින් පවත්වාගෙන යා යුතුය. ඊට අමතරව වීවලට අමතරව මෙරට වැවිය හැකි අල, බතල, කොස්, දෙල් වැඩිපුර ප්‍රයෝජනයට ගැනීමටද මේ වකවානුවේ කටයුතු කළ යුතුය. මාස තුනෙන් අල බහින මඤ්ඤොක්කා, ගොයම් වැවීමට අපහසු ජලය අඩු කුඹුරුවල වැවීමට හැකියාව ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
ඊට අමතරව මාස තුනෙන් අල බසින කිරි අල හා බතල ද මෙවැනි අවස්ථාවකදී ප්රයෝජනවත්ය. බතල මෙන්ම රනිල කුලයේ බෝංචි හා සෝයා වගාවලටද උක් වගාවටද මෙකල ඒ පුරන් වන කුඹුරු යොදා ගත හැකි අතර, ජලය හිඟ බැවින් බඩඉරිඟුද කුඹුරුවල වැවීමට හැකියාව ඇතැයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. කෙසේ වුවද අවශ්‍ය වන්නේ මෙම සියල්ල ජනගත කිරීමයි.
ඒ සමගම රටේ ආහාර හා ජල සංරක්ෂණයක් ඇති කළ යුතු බවත්, ජලය හා ආහාර හිඟ වන කාලයක් ඉදිරියට ඇතිවන බවට ජනතාව දැනුම්වත් කොට අවබෝධයක් ලබාදීමත් කළ යුතුය. අපේ රටේ අතීතයේ තිබූ කැකුළමට වී වැපිරීම වැනි ක්‍රම උපයෝගි කරගනිමින් ජලය අඩුවෙන් අවශ්‍ය වී ප්‍රභේද හා අලුත් බෝග පිළිබඳ ගොවි ජනතාවට අවබෝධයක් ලබා දිය යුතුය.
මේ වනවිට ජල විදුලිය නිෂ්පාදනය 12% - 15% දක්වා පහළ වැටී ඇති අතර, විදුලිය සම්බන්ධයෙන් රටට අපහසු කාල පරිච්ඡේදයක් පැමිණ ඇති බවද විදුලිබල මණ්ඩලය දන්වයි. ජල විදුලි නිෂ්පාදනය සීමාවීම හේතුවෙන් පැය 24 පුරාම අඛණ්ඩව විදුලිය ලබාදීමට ගල්අඟුරු බලාගාර හා ඩීසල් විදුලි බලාගාර ක්‍රියාත්මක කරවීමට සිදු වී ඇති අතර, මෙම තත්ත්වය තවදුරටත් පැවතියහොත් පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමට සිදුවන බවද මණ්ඩලය පැවසීය.
එබැවින් විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසත්, විදුලිය පෞද්ගලික අංශයෙන් මිලදී ගැනීමේදී ඇතැම් විට විදුලි බිල වැඩි කිරීමට සිදුවනු ඇති බවටත් ලංකා විදුලිබල මණ්ඩලය සැක පහළ කරයි. දෛනිකව ගිගාවොට් පැය 37 - 40 අතර විදුලි ප්‍රමාණයක් මේ වනවිට අවශ්‍ය වී ඇති බැවින් මහා පරිමාණ කර්මාන්ත ශාලා හෝටල් සතුව තිබෙන විදුලි ජනක යන්ත්‍ර ක්‍රියාත්මක කර ඔවුන්ට අවශ්‍ය විදුලිය නිෂ්පාදනය කරන ලෙසට උපදෙස් ලබා දී ඇත.
එමෙන්ම අනවශ්‍ය පරිදි විදුලි පංකා, වායු සමීකරණ යන්ත්‍ර, ශීතකරණ ආදිය ක්‍රියාත්මක නොකරන ලෙසත්, විදුලිය හැකි උපරිම ආකාරයෙන් අරපිරිමැස්මෙන් භාවිත කිරීමටත් අප සැම යොමුවිය යුතුය. එමෙන්ම නියං සමය තුළ ජල සංරක්ෂණ ක්‍රම වැඩිදියුණු කරගනිමින් ආහාර සංරක්ෂණයටද ක්‍රියා කරමින් සාර්ථක වැඩපිළිවෙළක් අනුගමනය කළහොත් වැසි කාලය තෙක් මුහුණදීමට හැකියාව ලැබෙනු ඇත. එමෙන්ම එය රජයකට තනිව කළ නොහැකි කටයුත්තක් බැවින් ජනතාවගේ සහයෝගයද ඒ සඳහා නොමඳව ලැබිය යුතුය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.





