දෙවැනි භාෂා හැකියාව ඇති පිරිස් රාජ්‍ය සේවයට බඳවාගන්නවා
රට තුළ සියලුම පුරවැසියන්ට ඔවුනොවුන්ගේ මව් භාෂාව සිංහල හෝ දමිළ භාෂාවලින් කටයුතු කිරීමේ හැකියාව මෙතෙක් පූර්ණ වී නොමැති අතර, එය චක්‍රලේඛ මගින් ඉටුකළ නොහැකි බවද ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි. එසේනම් මේ සම්බන්ධයෙන් වන විසඳුම් මොනවාද? ඒවා ක්‍රියාත්මක කරන්නේද යන්න සම්බන්ධයෙන් 'අද' මනෝ ගනේෂන් අමාත්‍යවරයා සමග සාකච්ඡා කළෙමු.
Q නව ව්‍යවස්ථාවක් සැකසීමේ කටයුතු කෙබඳුද?
ව්‍යවස්ථාව පිළිබඳ කටයුතු කරන්න පාර්ලිමේන්තුව ව්‍යවස්ථා මණ්ඩලය බවට පරිවර්තනය වී තිබෙනවා. ඒ මණ්ඩලය මගින් විසි එක් දෙනෙකුගෙන් යුතු මෙහෙයුම් කමිටුවක් පත්කර ගත්තා. ඒ කමිටුව හරහා අනුකමිටු හයක් පත් කළා. මහජන අදහස් විමසීමේ කමිටුවක් මගින් ව්‍යවස්ථාව පිළිබඳව මහජන අදහස් ලබාගත්තා. ඒ වාර්තාව මේ වන විට ලබාදී තිබෙනවා. අනු කමිටු හය මේ වන විට වාර්තා ලබා දී තිබෙනවා. ඉතිං ව්‍යවස්ථාව පිළිබඳ වැඩකටයුතු සිදුවෙනවා. මොකක්ද ප්රශ්නය.
Q නමුත් එතැනින් එහාට කිසිවක් සිදුවන්නේ නැහැනේ?
කිසිම කටයුත්තක් නැවතිලා නැහැ. ව්‍යවස්ථාව පිළිබඳ අද (24දා) යළි පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කරනවා.
Q නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා.
අලුත් ව්‍යවස්ථාවක් හදන්නේ නැහැ කියල එක පක්ෂයකට පමණක් තීරණය කරන්න බැහැ. සියලුම පක්ෂ එකතුවෙලා ව්‍යවස්ථාවක් හදනවා කියල තමයි අපි තීරණය කරගත්තේ. හිටපු ගමන් ඒක වෙනස් කරන්න නිදහස් පක්ෂයට බැහැ. කෙසේ වුණත් විවිධ මත තියෙන්නට පුළුවන්. නමුත් අවසන් තීන්දුව කිසිම කෙනෙක් අරගෙන නැහැ. මෙහෙයුම් කමිටුව තුළ මේ සම්බන්ධයෙන් අපි විවෘතව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. සාකච්ඡාවෙන් පසුව ස්ථිර තීරණය දැනුම් දෙන්නම්.
Q නව ව්‍යවස්ථාවක් සැකසීමට ජනාධිපතිට හෝ අගමැතිට බලයක් නොමැති බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසන්නේ?
මම ඒක පිළිගන්නේ නැහැ. ඒක විහිළුවක්. අපි ජනමතය ලබාගන්නකොට අපිත් එක්ක හිටියෙ නැති අය තමයි මේ ගැන කතා කරන්නේ. ජනමතය ලබාගන්නකොට මෛත්‍රීපාල සිරිසේන මහත්තයා සමග හිටියේ අපි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දුමින්ද දිසානායක මහත්තයා හිටියා. මේ සම්බන්ධව දැන් සද්ද දාලා කතා කරන අය කවුරුත් එදා අපිත් එක්ක හිටියෙ නැහැ. ඒ ඔක්කොම මහින්ද රාජපක්ෂ මහත්තයා සමගයි හිටියෙ. ඔවුන් අද වන විට මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එක්ව කැබිනට් මණ්ඩලයටත් ඇතුල් වෙලා තිබෙනවා. ඒ ගැන අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔවුන් ඇවිත් අපේ මාර්ගය වෙනස් කරන්න යාම වැරදියි. අපේ ජනමතය පිළිබඳව ඔවුන් ප්‍රශ්න කිරීමට යාම සම්පූර්ණයෙන්ම වැරදියි.
Q ආණ්ඩුවේ ස්ථාවරභාවය පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවද?
මේ ආණ්ඩුව ඉතාම ප්රජාතන්ත්රවාදී ආණ්ඩුවක්. මේ උදාවෙලා තිබෙන්නේ ප්රජාතන්ත්රවාදය. ඒ නිසා තමයි විවිධ මත ඇතිවෙනවා කියලා අපිට හිතෙන්නේ. කැබිනට් මණ්ඩලය තුළ, ආණ්ඩුව තුළ, පාර්ලිමේන්තුව තුළ විවිධ මත ඇතිවෙනවා. අපි සංවාද කරනවා. ඒ අනුව තීරණයකට එනවා. ආණ්ඩුව ස්ථාවරයි. ඕනෑම කෙනෙකුට ඕනෑම මතයක් ඉදිරිපත්කරන්න පුළුවන්.
එහෙම කියලා ආණ්ඩුව අස්ථාවර වෙලා නැහැ. පසුගිය පාලනය සමග සාපේක්ෂව බලන කල වත්මන් කැබිනට් මණ්ඩලය තුළ ප්රජාතන්ත්රවාදය උපරිමයෙන්ම තිබෙනවා. පසුගිය ආණ්ඩුවේ කිසිම හඬක් නොනැගුණ නිසා දැන් අපිට දොස් කියන්න එපා, අපේ ආණ්ඩුව අස්ථාවරයි කියලා ඒකාධිපති ආණ්ඩුවක් පවත්වාගෙන යන්න අපිටත් පුළුවන්. නමුත් අපි එහෙම කරන්නේ නැහැනේ.
Q රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර තිබෙන්නේ කෙසේද?
රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය තුළ සිංහල දමිල භාෂා රාජ්‍ය භාෂා වුණේ 1987. මේ වෙද්දි අවුරුදු 30ක් ගෙවී ගොස් තිබෙනවා. මට පෙර මේ අමාත්‍යාංශය භාරගත්තු පාලකයෝ හොඳින් අධ්‍යයනය කළේ නැහැ කියලා මම හිතනවා. අධ්‍යයනය කළා නම් ප්රශ්නය හොඳින් විසඳන්න තිබුණා. නමුත් එහෙම කරගෙන නැහැ. දැන් මම ප්රශ්නය හොඳින් හඳුනාගෙන තිබෙනවා. ලෙඩේ හොයාගත්තු නිසා ඒ ලෙඩේට බේතක් මම සූදානම් කරගෙන තිබෙනවා. ඒක මම ලබාගත්තු ජයග්‍රහණයක්. මේ අවුරුද්දේදී ඒ බේත ලබාදීමට අපි කටයුතු කරනවා. භාෂා ප්‍රතිපත්ති පිළිබඳව රටේ ලොකු ගැටලු නැහැ. ක්‍රියාත්මක කිරීමේදී තමයි ප්‍රශ්න තිබෙන්නේ. අපි ඒ ගැටලුවත් වෙනස් කරනවා.
අද වනවිට රජයේ නිලධාරීන් හෝ කවුරු හෝ හිතාමතාම දෙමළ භාෂාවට තිබෙන තැන අහිමි කරනවා හෝ, එයට නිසි තැන ලබාදෙන්නේ නැහැ කියලා මම කියන්නෙ නැහැ. ඒ වගේ ජාතිවාදී මතයෙන් සිංහල නිලධාරීන් කවුරුත් නැහැ. බැරිකමට නොහැකියාවට තමයි ඒ දේ සිදුවන්නේ. භාෂාව ක්‍රියාත්මක කරන්න මනස තිබුණත්, ඒ සම්බන්ධය හැකියාව නොමැතිකම ප්‍රශ්නයක් වෙලා.
ඇමතිවරයා හැටියට මම ඒක හොයාගත්තා.
රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනවා කියන්නේ මොකක්ද. එක දෙයක් තමයි රට වටේ තිබෙන නාම පුවරුවල භාෂා තුනම ප්‍රදර්ශනය කිරීම. ඒ වගේම ඒ තිබෙන වචන නිවැරදිව හරියාකාරව තිබෙන්න අවශ්‍යයයි. ඇතැම්විට දෙමළ භාෂාවෙන් ඇතැම් වැරදි වචන ලියා දෙනවා. ඒ සියලු දේවල් නිවැරදිව තිබෙන්නට අවශ්‍යයයි. ඒ වගේම රජයේ ආයතනවල ලේඛන භාෂා තුනෙන්ම තිබෙන්නට අවශ්‍යයයි. ඇතැම්විට සිංහල පමණයි. ඇතැම්විට ඉංග්‍රීසි පමණයි තිබෙන්නේ.
අඩුම තරමේ සිංහල පුද්ගලයන්ට තමන්ගේ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේදී සිංහලෙන් කියන්න බැහැ. මේකත් ප්‍රශ්නයක්. මේ රටේ පුරවැසියෙක් රටේ කොතැනක හෝ තිබෙන රාජ්‍ය කාර්යාලයකදී තමන්ගේ මව් භාෂාවෙන් ප්‍රතිචාර ලිඛිතව, වාචිකව ලබාගැනීමේ අයිතිය තිබෙනවා. සිංහල දෙමළ සියල්ලන්ටම ඒ අයිතිය තිබෙනවා. නමුත් එවැනි තත්ත්වයක් දැන් නැහැ. එය ඇති කිරීම තමයි මගේ ඉලක්කය.
Q එම ඉලක්කය ජයගැනීමට ඔබ සතු වැඩපිළිවෙළ කුමක්ද?
රාජ්‍ය නිලධාරීන්ට දෙවන බස ඉගෙන ගතයුතු බව සඳහන් කරමින් 2007දී චක්‍රලේඛයක් නිකුත් කළා. ඒ සඳහා වසර 05ක කාලයක් ලබාදුන්නත් එය මෙතෙක් ඉටුවෙලා නැහැ. මේ වන විට එය 2019 දක්වා කල් දමා තිබෙනවා. නමුත් බලාපොරොත්තුවක් විදිහට සිංහල නිලධාරීවරු දෙමළ ඉගෙන ගත්තෙත් නැහැ, දෙමළ නිලධාරීවරු සිංහල ඉගෙන ගත්තෙත් නැහැ.
නිලධාරීන් මොනවාහරි ප්‍රෝඪාවක් කරලා සහතිකයක් ලබාගෙන පෙන්නලා තමන්ගේ වැටුප් වැඩිකරගෙන ඉස්සරහට යනවා. මම බැලුවා ඇයි මෙහෙම වෙන්නේ කියලා. බලද්දී නිලධාරීන්ට ඒක වදයක් වෙලා. රාජ්‍ය නිලධාරීන්ට දෙවැනි බස ඉගෙන ගන්න එක වදයක් වෙලා. රජයේ සේවයට ආපුගමන් ඔවුන් පෞද්ගලික ජීවිතය ස්ථාවර කරගන්න හදනවා. මේ නිසා දෙවැනි බස ඉගෙන ගන්න වෙලාවක් නැහැ. ඒ නිසා චක්‍රලේඛ පදනම් කරගෙන රාජ්‍ය නිලධාරීන් ද්විභාෂා හැකියාව ඇතිකරගනියි කියලා සිහින දකින්න මට බැහැ. ඒක වෙන්නේ නැහැ.
ඇතැම් උනන්දු නිලධාරීන් ඉන්න බව මම දන්නවා. නමුත් ඒ පිරිස ඉතාම පොඩි පිරිසක්. විශාල පිරිසක් එහෙම කරන්නේ නැහැ. ඒ නිසාම වෘත්තීමය පරිවර්තකයන් අවශ්‍ය තරමින් පත්කිරීම තමයි මගේ බෙහෙත. දෙවන භාෂා හැකියාව තිබෙන පුද්ගලයෝ බඳවාගෙන ඔවුන්ව පුහුණුකර රජයේ සේවයට බඳවා ගැනීමත්, අවශ්‍යතාවය පරිදි ඔවුන්ව අදාළ ස්ථානවලට යොමුකිරීමත් සිදුකරනවා.
ඒ වගේම රජයේ සේවයට බඳවා ගනිද්දී ද්විභාෂා හැකියාව තිබෙන අයට ප්රමුඛත්වයක් ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය වහාම ලබාගන්නවා. ඒ වගේම දිවයින පුරා නාමපුවරු ත්‍රෛභාෂා ප්‍රතිපත්තියට අනුව නැවත සවිකරන්න අපි කටයුතු කරනවා. රටේ කොතැනක හෝ නාමපුවරුවක් නිවැරදිව නැතිනම් එය නිවැරදිව සවි කිරීමේ වගකීම අපේ අමාත්‍යාංශය භාරගන්නවා. ඒ අනුව ඉදිරියට කටයුතු කරනවා.
Q ද්වි භාෂා හැකියාව ඇති පරිවර්තකයන් කවදා වනවිට බඳවා ගැනීමට ඔබ අදහස් කරනවාද?
මේ වසර තුළ ඔවුන්ව බඳවා ගැනීමට අදහස් කරනවා. ආරම්භයේදී නිලධාරීන් 3000ක් බඳවා ගැනීම තමයි මගේ අරමුණ. ද්විභාෂා නිලධාරීන් ලෙස ඔවුන්ට තනතුරක් ලබාදෙනවා. ජනතාව දිනපතා සම්බන්ධ වන කාර්යාල සඳහා මෙහිදී මූලික අදියරේදී නිලධාරීන් පත්කරනවා. සිංහල අලුත් අවුරුද්දට හෝ එය ක්‍රියාත්මක කරනවා.
Q ඉදිරි පළාත් පාලන මැතිවරණයට මුහුණ දෙන්න බලාපොරොත්තු වන්නේ කෙසේද?
මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් තිබෙනවා. අපි සූදානමින් සිටින්නේ මැතිවරණය ප්‍රකාශයට පත් කළ පසුව අපේ ස්ථාවරය ප්‍රකාශ කරන්න. නමුත් පළාත් පාලන මැතිවරණය පවත්වන්නට පෙර පනතේ අඩුපාඩු හදාගත යුතුයි. මොකද හදිස්සි වුණා කියලා වැරදි ක්‍රමයට ඡන්දයට යන්න බෑ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

