දැදුරු ඔය විනාශ මුඛයේ - බලධරයෙනි දැස් හැරබලනු
ජලය ජීවයේ උල්පත බවත්, සියල්ල ජලය සමග බැඳී පවතින බවත් සියල්ලෝ පිළිගනිති. එහෙත්ජීවය බිහිකිරීමට සමත් ජලයම දිනක ජීවය විනාශ කිරීමේ අවස්ථාවටද පත්වනවානම් එය කනගාටුවට කරුණකි. අතිතයේ සිට වයඹ ජනයාගේ සියලු අවශ්‍යතාවලට අසල්වැසියා වූ වයඹ හදවත ලෙස හැඳින්වෙන දැදුරු ඔයේ පහළ කොටසට අද අත්ව ඇත්තේද එවැනි ඉරණමකි.
එදා පැහැදිලිව පිරිසුදුව ගලා දැදුරු ඔය වෙනුවට අද ඇත්තේ මලානික වූ දැදුරු ඔයකි. මෙයට හේතුව කුමක්දැයි කරුණු පැහැදිලිව දැනගනු වස් අප දැදුරු ඔය පහළ කොටසේ සංචාරය කළ අතර, මේ ගැන දැදුරු ඔය අවට ගම්වාසීන්ගෙන් විමසා සිටියෙමු.
දැදුරු ඔය සමග තම ජීවිතය ඇරඹූ ඔවුන්ට එය නැවතත් සජීවීව ලබාදීම අපගේ අරමුණයි. ඒ වෙනුවෙන් මේ ලිපිය සැකසේ. විශේෂයෙන් දැදුරු ඔය තුළ විශාල වශයෙන් සිදුකරන ලද වැලි ගොඩදැමීම් හේතුවෙන් දැදුරු ඔයේ මෙන්ම ඒ අසල ගම්වාසීන්ගේ ළිං ජලයද කිවුල් බවට පත්වතිබේ. දැදුරු ඔයේ ඉවුරු පුළුල්වීහෑරී තිබේ. පතල් හා භූවිද්‍යා කාර්යාංශය මගින් නිකුත් කරන ලද තහනම් නියෝගයක් පැවතුණද තවදුරටත් දැදුරු ඔයේ වැලි ගොඩදැමීම සිදුවේ. මීට වසර තුන හතරක කාලයක සිට දැදුරු ඔය ආශ්රිත ප්‍ර‘දේශවල මිනිසුන්ට මෙතෙක් කල් වාර්තා නොවූ ලෙඩ රෝග වාර්තා වීම සහ දැදුරු ඔයේ ජලය අපවිත්‍ර වීම අනිකුත් කාරණයයි.
විශේෂයෙන්ම ගම්වාසීන් මේ පිළිබඳව පවසන්නේ මෙයට හේතුව නිකවැරටිය ප්‍ර‘දේශයේ පවත්වාගෙන යනු ලබන කොහුබත් ආශ්රිත නිෂ්පාදන සිදුකිරීමේ කර්මාන්ත ශාලාවක අපද්‍රව්‍ය බැහැර කිරීම නිසා බවය.එම ආයතන භාවිත කරන නයිට්රේට් නමැති රසායනික හේතුවෙන් දැඩි ලෙස පරිසරය හානි වී ඇති බවට ඔවුහු චෝදනා කරති. අදාළ ආයතන මේ සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය 2013 වර්ෂයේ සිදුකළ නිරීක්ෂණ චාරිකාවක වාර්තා එළිදැක්වීමක් සිදුකර තිබේ.දැදුරු ඔයෙහි ජලය දූෂණය වී ඇති බවත්, ජලයේ ඔක්සිජන් ප්‍රතිශතය පහළ ගොස් ඇති බවත්, මේ හේතුවෙන් ජලජ ජීවින් විනාශ වීමේ අවදානමක් මතුව ඇති බවත් එහි සඳහන්ය.
දැදුරු ඔයේ පහළට ගමන් කරනවිට අපට හමුවූ ඇසිලි පතිරණ මාතාව තමන් මුහුණපා ඇති ඛේදවාචකය පිළිබඳව අප සමග පැවසුවේ මෙසේය.
“මම මේ ගමේ පදිංචියට ආවේ 1957. එදා ඉඳන් අපි වතුර බීවේ, නෑවේ දැදුරු ඔයෙන්. 1963 අපේ වත්තේ ළිඳ හැදුවා. ඒත් වැලි ගොඩදාන්න පටන්ගත්තු නිසා අපේ ළිඳේ වතුර දැන් කිවුලයි, බොන්න බැහැ.දැන් අවුරුදු තුනක විතර කාලෙක ඉඳන් දැදුරු ඔයෙන් නාන්න බැහැ. වතුර ගඳයි, දියසෙවල බැඳිලා. ඔය ළඟ තියෙන කර්මාන්තශාලා නිසා එහෙම වෙලා තියෙනවා කියන එක තමයි බොහෝදෙනා කියන්නේ.මොනවා වුණත් දැන් අපට වතුර බොන්න කිලෝමීටර් ගාණක් ඈතට ගිහින් තමයි වතුර ගෙන්න සිදුවෙලා තියෙන්නේ. අපේ මේ ගැටලුවට ඉක්මන් විසඳුමක් ලබාදෙන්න කියලයි අපි ඉල්ලන්නේ.
මොළඑළිය ගම්මානයේ පදිංචි එස්.එම්.ඒ.පී.මංචනායක මහතා මේ සම්බන්ධයෙන් කියා සිටියේ,
“දැදුරු ඔයේ විශාල වැල්ලක් තිබෙනවා. එයට විශාල ජල ගබඩාවක් තිබුණා. අපි දැදුරු ඔය හඳුන්වන්නේ වයඹ හදවත කියලා. ඉස්සර මේ ඔයට අලි ඇත්තු, වනසත්තු ඕන තරම් බැහැලා නානවා.නමුත් ඒ කවදාවත් දැදුරු ඔය බොර ඕනේ නැහැ, මේ වගේ අවපැහැ වුණේ නැහැ. පාසි බැඳිලා නැහැ. නමුත් අද වනවිට දැදුරු ඔය සෙමින් මිය ඇදෙමින් පවතින තත්ත්වයකට පත්වෙලා තිබෙනවා.අද දැදුරු ඔයේට බහින්න බැරි තත්ත්වයකට පත්වෙලා. ඔයේ නෑවම ඇඟ කසනවා.ඉස්සර අපි බොන්න වතුර ගත්තෙ දැදුරු ඔයෙන්. ඒත් දැන් හැතැප්ම ගණනක් ඈත වතුර හොයාගෙන යන්න වෙලා.
සමහර වෙලාවට මේකෙ වතුර මළකඩ රහයි. ඒ වගේම විශාල වශයෙන් දියසෙවෙල බැඳිලා තියෙනවා. ලොකු ප්‍ර‘දේශවල කළු පාටට කුණු එකතුවෙලා තියෙනවා. ඒවා මොනවද කියලා කියන්න අපි දන්නෙ නැහැ.
දැදුරු ඔයේ නිකවැරටිය පැත්තට වෙන්න කොහුබත් කර්මාන්තශාලාවක් තිබෙනවා. අපට ආරංචි හැටියට ඒකට වතුර ලීටර් ලක්ෂ අටක් විතර ගන්නවා. ඒ වතුරෙන් කොහුබත් හෝදලා, රසායනික වර්ග එකතු කරලා, ඒ එන අපජලය ඔවුන් මුදාහරින්නෙ දැදුරු ඔයට.
තව ටික කාලයක් යනකොට දැදුරු ඔයේ වතුර කොහොමත්ම පාවිච්චියට ගන්නට බැරි තත්ත්වයකට පත්වෙයි කියලා තමයි මට හිතෙන්නෙ.අතීතයේ තිබුණු සුන්දර දැදුරු ඔය අද අපට කසළ ගොඩක් බවට පත් කරලා.*
තිසෝගම පදිංචි චමින්දලාල් මහතා පැවසුවේ මෙවන් අදහසකි.
“අපි උපන්දා පටන්ම හිටියෙ මේ ඔයත් එක්ක. හැමදේටම ඔයේ වතුර පාවිච්චි කළත් කිසිම ගැටලුවක් වුණේ නැහැ. නමුත් දැන් ඒ කිසිදෙයකට වතුර ගන්න බැරිවෙලා තියෙනවා.දියසෙවල තට්ටුවක් බැඳිලා තියෙනවා. ඉස්සර එහෙම දෙයක් තිබුණේ නැහැ.*
අප සමග කතාවට එක්වූ එන්.ඒ.ජයවීර මහතා අප වෙත මෙසේ සිය අදහස් පැවසීය.
“දැදුරු ඔයේ වතුර පල් ගඳයි. ඉස්සර මේ වගේ අපිරිසුදු වෙන්නෙ නැහැ. නමුත් මේ ඔය ආශ්‍රිතව කොහුමෝල් වගේ ලොකු කොම්පැනි දාලා තියෙන නිසා මේ ඔයේ වතුර අඩුවෙද්දි පල්ගඳ එනවා.පොල්ලෙලි පල් කරලා වගේ ගඳ එනවා. අපි වතුර ගන්නෙ ඔයේ වළවල් හාරලා. මේ අවුරුදු තුනක හතරක ඉඳන් තමයි මේ ප්‍රශ්නෙ ඇතිවෙලා තියෙන්නේ.ඔය අතළඟ තියාගෙන වතුර ගන්න අපට දහදුක් විඳින්න වෙලා. මේ ප්‍රශ්නයට විසඳුමක් දෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ.*
බංගදෙණිය ගම්මානයේ පදිංචි එම්.ජේ.ඩයස් මහතා අප වෙත මෙසේ අදහස් පැවසීය.
“වැලිගොඩ දැමීම නිසා කාලයක් දැදුරු ඔයට හානි සිදුවුණා. ඒ නිසා දැදුරු ඔයෙන් වැලිගොඩ දැමීමට අදාළ සියලුම කටයුතු නීතිවිරෝධී ලෙස නම්කළා. ඒ කටයුතු තහනම් කළා. ඒ තහනම මේ වනතුරු ක්‍රියාත්මකයි.මේ සම්බන්ධයෙන් පූර්ණ වගකීම තිබෙන්නේ වයඹ පළාත් පරිසර අධිකාරියේ අධ්යක්ෂවරයාට. නමුත් ඔහු ඔහුගේ වගකීම ඉටු කළේ නැහැ.*
හමුදා සෙබළෙකු වූ සිසිර කුමාර මහතා දැදුරු ඔයේ බේදවාචකය දකින්නේ මෙසේය.
“මීට අවුරුදු ගණනාවකට කලින් දැදුරු ඔය හරිම ලස්සනට තිබුණා.දැදුරු ඔයේ වැල්ල හාරලා අපි වතුර බොන්න ගත්තා. නමුත් දැන් ඔයේ වතුර බොන්න බැහැ. වතුර කළුපාටයි. ඒ වගේම වැලි ජාවාරම නිසා දැදුරු ඔය පළල්වෙලා තියෙනවා. ඒ වගේම නිකවැරටිය පැත්තේ කොහුබත් කර්මාන්ත ශාලාවක් ක්‍රියාත්මක වෙනවා. එහි අපවිත්‍ර ජලය දැදුරු ඔයට මුදාහරින බව අපට දැනගන්නට ලැබුණා.මේ පිළිබඳව වයඹ පරිසර අධිකාරිය ක්‍රියාත්මක වෙන්නෙ නැතුවදෝ කියලා හිතනවා. මොකද ඒය අය මේකට කිසිම පියවරක් ගන්නෙ නැහැ.මේ නිසා මිනිස්සු ලෙඩ වෙනවා. ඇඟ කසනවා, මාළු මැරෙනවා. මේ සම්බන්ධව අදාළ නිලධාරීන් ඇස්හැර බලන්න කියලයි මම ඉල්ලා සිටින්නේ.*
උද්ගතව තිබෙන තත්ත්වය පිළිබඳව පරිසර සංරක්ෂණ භාරයේ අධ්යක්ෂ පරිසරවේදී සජීව චාමිකර මහතාගෙන්ද අප විමසා සිටියෙමු.
“දැදුරු ඔයට දූෂිත ජලය පිරිපහදුවකින් තොරව මුදාහරින සමාගමක් විදියට තමයි මේ සමාගම හඳුන්වන්න තිබෙන්නේ. මේක කොහුබත් ආශ්රිත නිෂ්පාදන සිදුකරන සමාගමක්. මේ සමාගම කොහුබත්වල තිබෙන සෝඩියම් සහ පොටෑසියම් කියන අයන ලංකාව තුළදීම ඉවත් කරල තමයි අපයනය කරන්නේ.ඒවා ප්‍රධාන වශයෙන් අපනයනය කරන්නේ නොර්වේ රටට. සෝඩියම් සහ පොටෑසියම් අයන ඉවත් කිරීම සඳහා ප්‍රධාන වශයෙන් භාවිත කරන්නේ කැල්සියම් නයිට්රේට් කියන රසායනිකය. මෙම කැල්සියම් නයිට්රේට් භාවිත කිරීමෙන් පසු ඉතිරි වන අපවිත්‍ර ජලය සමාගම විසින් සෘජුවම මුදාහරින්නේ ස්වාභාවික පරිසරයට. මේ සඳහා ඔවුන් ක්‍රම තුනක් අනුගමනය කරනවා. එකක් තමයි රාත්‍රි කාලයේදී හොර රහසේ සෘජුවම දැදුරු ඔය මුදාහැරීම. ඊට අමතරව වැසිකාලවලදී වැසි ජලයට මුදාහැරීම සිදුකරනවා. ඒ වගේම කම්හල ආශ්‍රිතව ඇති මාර්ග පද්ධතියේ දුවිල්ල අවම කිරීමට මාර්ගවලට මේ අපවිත්‍ර ජලය මුදාහරිනවා. කුමන ක්‍රමයට මේ ජලය මුදාහැරියත් ඔවුන් සිදුකරන්නේ පරිසරය හා ජලය දූෂණය කිරීම. ඒ දූෂිත ජලය තමයි ඒ අවට ඉන්න ජනතාව ඔවුන්ගේ දෛනික කටයුතුවලට භාවිත කරන්නෙ. මේක ලොකු ගැටලුවක් බවට පත්වෙලා තිබෙනවා. එක පැත්තකින් පානීය ජලය දූෂණය වෙලා තිබෙනවා. තවත් රතුපස්වලක් බවට මෙම ප්‍ර‘‘දේශය පත්වෙමින් තිබෙනවා. මීට අමතරව කොහුබත්වල ක්ෂුද්‍ර අංශු වාතයට මුසුවෙලා තිබෙනවා. මේ නිසා ජනතාව අතර ශ්වසන ආබාධ පැතිරෙමින් තිබෙනවා.
මේ කර්මාන්ත ශාලාව ආයෝජන මණ්ඩලයේ අනුමත කර්මාන්ත ශාලාවක්. මේක ආරම්භ කරන්නේ 2008 වසරේදී.ඒ පරිසර ආරක්ෂණ බලපත්‍රය සහිතවයි. නමුත් තිබෙන ප්‍රධාන ගැටලුව තමයි මෙවැනි පරිසර දූෂණ සිදුකරන සමාගමකට කොහොමද පරිසර ආරක්ෂණ පත්‍රයක් ලබාදෙන්නේ කියන එක. මේ සියලු කටයුතු සිදුකරන්නේ වයඹ පළාත් පරිසර අධිකාරිය කියන ආයතනය මගින්.මේ ආයතනය ලංකාවේ තියෙන අති දූෂිත ආයතනයක්. වයඹ පළාත් පරිසර අධිකාරියට නීත්‍යනුකූල අයිතියක් නැහැ මෙවැනි පරිසර ආරක්ෂණ බලපත්‍ර නිකුත් කරන්න. මෙම බලපත්‍ර නිකුත් කරන්නේ මධ්‍යම පරිසර අධිකාරියේ නිර්දේශය මත.
මෙම සමාගම සිදුකරන පරිසර දූෂණ ක්‍රියාකාරකම් හින්දා මධ්‍යම පරිසර අධිකාරියේ නිර්දේශ ලබාගන්න බැරි නිසා තමයි දූෂිත වයඹ පළාත් පරිසර අධිකාරිය හරහා මෙම කටයුතු සිදුකරන්නේ. අපරාධ නඩු විධිවිධාන සංග්‍රහ‘යේ 98 වැනි වගන්තිය උල්ලංඝනය කරමින් තමයි මේ කම්හල පවත්වාගෙන යන්නේ. ඒ වගේම දණ්ඩ නීති සංග්‍ර‘හයේ 261 සහ 270 කියන වගන්ති අනුව කිසිදු ආයතනයකට බැහැ ඔවුන්ගේ අපද්‍රව්‍ය පොදු දියපහරකට මුදාහරින්න. ඒ වගේම ජාතික පරිසර පනත, ආයෝජන මණ්ඩල පනත ආදී පනත් කිහිපයක් උල්ලංඝනය කරමින් තමයි මේ කර්මාන්ත ශාලාවේ කටයුතු සිදුකරන්නේ. නමුත් වයඹ පළාත් පරිසර අධිකාරිය ව්‍යාජ හා නීත්‍යනුකූල නොවන ලෙස මෙම ආයතනවලට නීත්‍යනුකූලභාවයක් ලබාදීලා තිබෙනවා* යනුවෙන් ඔහු මේ තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීමක් කළේය.
දැදුරු ඔය අවට ගම්වාසීන්ගේ ප්‍රබල චෝදනාවට ලක්වන අදාළ කොහුබත් ආශ්රිත කර්මාන්තශාලාවේ අධ්යක්ෂ සන්දීප්ත ගම්ලත් මහතාගෙන්ද අපි මේ පිළිබඳව තරමක දීර්ඝ විමසීමක් කළෙමු.චෝදනා ප්‍රතික්ෂේප කරමින් ඔහු කියා සිටියේ මෙවැන්නකි.
චෝදනා කරන්නෙ ගමේ අය නෙවෙයි
දැදුරු ඔය සම්බන්ධව ගමෙන් මිනිස්සු කතා කරනවා කිව්වට ගමේ මිනිස්සු නෙවෙයි කතා කරන්නේ. අපට විරුද්ධ අය තමයි මේ දේවල් කරන්නෙ. මේ පැත්තෙ තිබෙන විශාලතම කර්මාන්ත ශාලාව අපේ කර්මාන්තශාලාව. පරිසරය දූෂණය කරමින් ඒ දේවල් කරන්නට බැහැ. ඔවුන් කියන පරිසර වාර්තාව කුමක්ද කියලා පැහැදිලි වෙන්නෙ නැහැ. අපි පරිසර ආරක්ෂණ බලපත්‍රය ලබාගෙන තිබෙනවා.
දිනකට ගන්න වතුර ප්‍රමාණය
දිනකට ලබාගන්නා ප්‍රමාණයක් අපට කියන්න බැයැ. අපේ පරිමාව අනුව දිනකට කියුබික් මීටර් 8000 ක් වෙනතුරු ජලය ගන්නට අවසර ලබාදීලා තිබෙනවා. ගලායන ජලයයි අපි ගත්තෙ. නමුත් ඒ ප්‍රමාණයම ගැනෙන්නෙ නැහැ. ඊට වඩා අඩු වෙන දවස් තිබෙනවා. කියුබික් මීටර් 3000, 4000 ක් ගන්න අවස්ථාත් තිබෙනවා.
ජලය බැහැර කරන ක්‍රමය
අපේ අක්කර 50 ක පමණ වගා භූමියක් තිබෙනවා. ඒ තුළ විශේෂ වගා සහ සාමාන්‍ය වගාවන් දාලා ඒ වගාවන්වලට අපගේ අපජලය යොදනවා. පොල් ගහේ තිබෙන සංඝටක තමයි ඒ ජලයේ තිබෙන්නේ. ඇතැම් වෙලාවට මේ ජලය වගාවන්ට ප්‍රමාණවත් වෙන්නෙ නැති අවස්ථාත් තිබෙනවා.
පාරට වතුර දාන්නේ මේ නිසයි
අපේ කර්මාන්තශාලාවේ වාහන නිතර යන එන නිසා අසල මාර්ගය දූවිලි ඇවිස්සෙන නිසා අපි ඒ පාරට වතුර දානවා. නමුත් ඒ පාරට අපි දාන්නෙ අපගේ අපජලය නොවෙයි. ඒවාට දාන්නෙ දැදුරු ඔයෙන් හෝ අපේ ළිංවලින් ලබාගත්තු ජලය. පාර තෙත් කරන්නයි අපි එලෙස ජලය දාන්නේ.
මේ කතා බොරු ඇවිත් බලන්න
අපේ කර්මාන්තශාලා පහළ දැදුරු ඔයේ ජලය අවපැහැගැන්විලාද කියලා ඇවිත් බලන්න. එහෙම කිසිම දෙයක් සිදුවෙලා නැහැ. ඒක සම්පූර්ණ බොරුවක්. ඒ සියල්ල අපි ප්‍රතික්ෂේප කරනවා.
කෙසේවෙතත් කවුරුන් කුමක් කීවද ගැටලුවක් තිබේ. තවදුරටත් දැදුරු ඔය ආශ්‍රිතව සිදුවන පරිසර දූෂණය සම්බන්ධයෙන් සහ ඒ පිළිබඳව ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලිය යුතුය. ඒ නිසා අපි වයඹ පළාත් පරිසර අධිකාරියේ අධ්යක්ෂ සමන් සේනානායක මහතාගෙන් ඒ පිළිබඳව විමසුවෙමු. මේ ඔහුගේ පිළිතුරයි.
“වයඹ පළාත් පරිසර අධිකාරිය මගින් අදාළ කර්මාන්ත ශාලාවට බලපත්‍ර ලබාදී තිබෙනවා මේ කර්මාන්තය පවත්වාගෙන යාමට. මේ අතරතුර යම් පිරිසක් විසින් මේ කර්මාන්තය පරිසරය දූෂණය කරනවා කියලා අධිකරණයට ගොස් තිබෙනවා. මේ නඩුව අධිකරණයේ දැනටමත් විභාග වෙනවා. අපි නිරන්තරයෙන් සොයා බලනවා. දැදුරු ඔයට මෙම ආයතනය මගින් විෂ සහිත දෑ මුදාහරින්නෙ නැහැ කියා තමයි අපි පවසන්නෙ. එහෙම විෂ දේවල් මුදාහරිනවානම් අපි බලපත්‍ර ලබාදෙන්නේ නැහැ.
අදාළ කර්මාන්ත ශාලාවෙන් පහළ දැදුරු ඔයේ ජලය අවපැහැ ගැන්වීම, ජලයේ දුඟඳ සහ දියසෙවල බැඳීම් තිබෙනවා යැයි පවසන කරුණ මම ප්‍රතික්ෂේප කරනවා. නොයෙකුත් කර්මාන්තවලට නොයෙකුත් පුද්ගලයන් චෝදනා කරන එක වළක්වන්න බැහැ. නමුත් මේ ප්‍ර‘දේශයට ඇවිත් බැලුවොත් මේ දෙය හොඳින්ම වැටහේවි. අපට නිරීක්ෂණය වෙලා නැහැ මෙහෙම දෙයක් සිදුවෙනවා කියලා. දැදුරු ඔයේ වතුර මඩ පාටයි. ඒක නවත්වන්න බැහැ. දැදුරු ඔයේ වතුර නිල් කැටේට යන්නෙ නැහැ. ඒ වගේම මේ ආයතනයෙන් දැදුරු ඔයට යම් අපද්‍රව්‍ය මුක්ත කරනවා නම් තමයි ඔය අපවිත්‍ර වෙන්නෙ. එහෙම මුක්ත කිරීමක් නැහැ. දැදුරු ඔය සීමාවේ කර්මාන්ත ශාලාවෙන් අපද්‍රව්‍ය මුක්ත වෙනවාද කියා සෙවීමට ලයිසි මීටර් සවිකර තිබෙනවා. නමුත් ඒවාට එලෙස කාරණයක් හසුවී නැහැ.
දැදුරු ඔයේ වැලිගොඩදැමීම නිසා හානිවෙලා තියෙනවා කියන කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත. මේ පිළිබඳව සොයාබැලිය යුත්තේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයයි.
දැදුරු ඔයේ වැලිගොඩ දැමීම සම්පූර්ණයෙන් නවත්වන්න අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් ගත්තා. ඒ තීන්දුව දැන් ක්‍රියාමත්මක වෙනවා. අපි හැමවිටම මේ පිළිබඳව අවධානයෙන් සිටිනවා. කිසිම විටක වැලිගොඩ දැමීමට බලපත්‍ර දෙන්නෙ නැහැ. *
ලෝකයේ රටවල් අතර, ශ්‍රී ලංකාව ජෛව විවිධත්වය අතින් ඉහළම ස්ථානයක් ගන්නා රටකි. එමෙන්ම ජෛව විවිධත්ව උණුසුම් කලාපයක් ලෙසද ශ්‍රී ලංකාව නම් කර තිබේ.එනම් ඉතා ඉහළ ජෛව විවිධත්වයක් තිබුණද එම පරිසරයට සිදුවන හානිද ඉතා ඉහළ බවය.
මිනිසාගේ පැවැත්ම රඳා පවතින්නේ සොබාදහමේ පැවැත්ම මතය. සොබාදහම විනාශ කරමින් මිනිසුන් දියුණු වීමට උත්සාහ කළද එය යහපත් ක්‍රියාමාර්ගයක් නොවනු ඇත. රට සංවර්ධනය කිරීම සඳහා මෙරටට විදේශ විනිමය ලබාගැනීමේ අරමුණින් බහුජාතික සමාගම් මෙරට ස්ථාපිත කරනවා නම් ඊට ප්‍රථම එම සමාගම්වල ක්‍රියාකාරීත්වය පිළිබඳව විමසා බැලිය යුතුය.
එමෙන්ම උපතේ සිට විපත දක්වා තමා සමග සිටින පරිසරය විනාශ කරන පුද්ගලයන් පිළිබඳවද දැඩි පියවර ගත යුතුමය.
දැදුරු ඔය දූෂණය වීම හේතුවෙන් අද ගම්මාන රැසක ජනතාව අසරණ වි සිටිති. මෙලෙස ඔවුන් අසරණ කර යමෙකු ලාභයක් ලබනවා නම් එය සැබෑ ලාභයක් වන්නේද කියා නැවත නැවත සිතා බැලිය යුතුය.
එමෙන්ම රාජ්‍ය නිලධාරීන් මහජන මුදලින් සිය වැටුප් ලබාගන්නේ මහජනතාව වෙනුවෙන් පෙනී සිටීමට මිස වෙනත් පාර්ශ්වවල සුබසිද්ධිය උදෙසා නොවන බවද දැනගත යුතුය. කිසියම් රාජ්‍ය නිලධාරියෙකු මුදලට, අල්ලසට තිබෙන කෑදකරම හේතුවෙන් සත්‍ය සඟවා අසත්‍ය රජ කරවා, අහිංසක ජනතාව පෙළීමට උත්සාහ කරනවා නම් ඔහුට කිසිදිනක සමාවක් නොමැත.
මෙරට වත්මන් පරිසර ඇමතිවරයා ජනාධිපතිවරයාය. තමා පරිසර අමාත්‍යාංශය ලබාගත්තේ විවිධ පුද්ලයන්ගෙන් පරිසරයට සිදුවන හානිය වැළැක්වීමට බව පසුගියදා ඔහු පැවසීය. එසේ නම් ඒ පිළිබඳව සොයා බලා වරදකරුවන්ට දඬුවම් පැනවීමට මේ හොඳම කාලයයි. කෙසේ වෙතත් දැදුරු ඔය ආශ්‍රිතව ජනතාව බලාපොරොත්තු වන්නේ අතීතයේ තිබුණාක් මෙන් සුන්දර දැදුරු ඔයකි. අනාගතයට සුන්දර දැදුරු ඔය යළිත් හිමිකර දීමට අදාළ බලධාරීන් නිලධාරීන් සිය වගකීම නිසිලෙස ඉටුකරන්නේදැයි අපි බලා සිටිමු.
සටහන/ඡායාරූප - චාමර සම්පත්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

