ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර හෙවත් දළදා පූජෝපහාර මංගල්‍යය පසුගියදා (08දා) සිට ආරම්භ විය. අවසන් දළදා පූජෝපහාර රන්දෝලි මහා පෙරහර අනිද්දා (17දා) නිකිණි පුර පසළොස්වක පෝදා වීදි සංචාරය කිරීමට නියමිත අතර, මේ සම්බන්ධයෙන් වන සූදානම සහ විශේෂිත දෑ සම්බන්ධයෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සමග සිදුකළ සාකච්ඡාවකි මේ.
Q මෙවර දළදා පෙරහර මංගල්‍යය වෙනුවෙන් පවතින සූදානම කෙබඳුද?
මෙවර 2016 දළදා පූජෝපාහාර පෙරහර මංගල්‍යය මේ වනවිට උදා වී තිබෙන්නේ. සිවු මහා දේවාල කේන්ද්‍ර කරගනිමින් කප් සිටුවීමේ මංගල්‍යය පසුගියදා (03දා) සිදු කළා. ඉන් අනතුරුව පුරා දින පහක් අභ්‍යන්තර පෙරහර දේවාල තුළ පවත්වනවා. ඒ වගේම පළමු කුඹල් පෙරහර දළදා මාලිගාවේ ප්‍රධාන වාහල්කඩින් පිටත්වීම සමග පෙරහර ගමන් කිරීම ආරම්භ වෙනවා. ඒ අනුව පෙරහර කරඬුව වඩමවා පළමු කුඹල් පෙරහර පසුගියදා (08දා) දින ආරම්භ වුණා. 12 දා දක්වා කුඹල් පෙරහර විදී සංචාරය කළා.
13 වැනිදා සිට 17 වැනිදා දක්වා පුරා දින පහක් රන්දෝලි පෙරහර විදී සංචාරය කිරීම සිදු වෙනවා. අවසන් මහා රන්දෝලි පෙරහර 17 වැනිදා විදී සංචාරය කරනවා. එදිනම රාත්‍රි‘යේදී පෙරහර කරඬුව දළදා මාලිගාවේ සිට නැවත අස්ගිරි ගෙඩිගේ විහාරය දක්වා වැඩමවීම සිදු වෙනවා. ඉන් අනතුරුව පසුදා එනම්, 18 වැනිදා සිවු මහා දේවාලයන්ගේ ප්‍රධානත්වයෙන් ගැටඹේ තොටේදී දිය කැපීම සිදු කරනවා. ඉන් අනතුරුව දිය කැපීමේ මංගල්‍ය හමාර කර සිවු මහා දේවාල එක්ව අස්ගිරි ගෙඩිගේ විහාරයට වැඩමවා තිබූ පෙරහර කරඬුව නැවතත් දළදා මාලිගාව වෙත ගෙවැදීම සිදු වෙනවා. ඒ ආකාරයට තමා පෙරහර මංගග්යය නිමා වෙන්නේ.
Q පෙරහර මංගල්‍යය ක්‍රියාත්මක වීමේදී මෙවර විශේෂ වෙනස්කම් සිදුකර තිබෙනවාද?
පෙරහර සඳහා සහභාගි වන නැටුම් කණ්ඩායම් සියල්ල මේ වනවිට විශේෂ පරීක්ෂණයට භාජනය කරලා කුසලතා පූර්ණ කලාකරුවන් සමග එය අධීක්ෂණය කර තෝරාගෙන තිබෙනවා. ඔවුන්ට අවශ්‍ය සියලුම උපකරණ සපයා දී තිබෙනවා. ඒ වගේම පෙරහරේ ගුණාත්මකතාව වැඩි කරගැනීමටත් අපි විශේෂ අවධානය යොමුකර තිබෙනවා. ඒ වගේම පෙරහරට අලි ඇතුන් සහභාගි කරවීමට අලි ඇතුන් හිමියන්ට ආරාධනා කර තිබෙනවා.
Q මෙවර පෙරහරට සහභාගි වන අලි අතුන් සංඛ්‍යාව කොපමණද?
මෙවර දළදා පෙරහර මංගල්‍යය වෙනුවෙන් අලි ඇතුන් 75 ක පමණ උපරිමයක් තමයි සහභාගි කරවාගැනීමට වෙන්නේ. අපට තිබෙන ලැයිස්තු සකස් කර බැලූ විට පෙනී ගියේ සහභාගි කරවාගත හැකි අලි සංඛ්‍යාව එපමණයි යන වග.
Q ඔබ පවසන ආකාරයට පසුගිය වසරට වඩා මෙවර අලි ඇතුන් සංඛ්‍යාවේ අඩුවීමක් දක්නට ලැබෙනවාද?
අනිවාර්යයෙන්ම, අලි ඇතුන් අඩු වීමක් තිබෙනවා. 2015 වසරේ අලි ඇතුන් 107 දෙනෙකු පෙරහරේ ගමන් කළා. පෙරහරේ අලංකාරය වැඩිවීමට අලි ඇතුන් 100 ක් පමණ අවම වශයෙන් සිටිය යුතුයි කියා මම විශ්වාස කරනවා. මෙවර අලි සතුන් 25 ක පමණ අඩුවක් තිබෙනවා.
Q අලි ඇතුන් මදිපාඩුව පියවාගැනීමට රජය සමග සාකච්ඡා කළේ නැද්ද?
අපි සාකච්ඡා කළා. ඒවාට විසඳුම් කෙටිකාලීන වශයෙන් ළඟා කරගන්න බැරි වුණා. ඒ මොකද කෙටිකාලීන විසඳුම් ලෙස පුරුදු පුහුණු වූ අලි අවශ්‍යයි. ඒ සඳහා පින්නවලින් හෝ මොනයම් ආකාරයකින් අලි ලබාදුන්නත් මෙවර පෙරහරට අලි ලබාගැනීමේ ගැටලුවක් තිබෙනවා. නමුත් දීර්ඝකාලීනව යම් වැඩපිළිවෙළකට යා යුතුව තිබෙනවා. ඒ අනුව එන වසරේදී මේ තත්ත්වය මඟ හරවාගන්නට හැකි වේවි යැයි අපි සිතනවා.
Q දළදා කරඩුව වැඩමවන ඇතුන්ගේ ප්‍රශ්නයක් තිබෙනවාද?
ලංකාවේ ඇතුන් 19 දෙනෙකු පමණයි සිටින්නේ. ඒ 19 න් වයසින් පරිපූර්ණ, පරිණත වයසේ කරඬුව වැඩම විය හැකි අලි ඇතුන් ඉන්නේ හතර දෙනයි. ඒ හතර දෙනාගෙනුත් තුන්දෙනෙක් තමයි පෙරහරට සහභාගි වෙන්නේ. මේ ඇතුන් තුන්දෙනා නැතිවුණ දවසට කරඬුව වැඩම වීම සම්බන්ධ සුදුසු ඇතෙකු සොයාගැනීමේ අඩුපාඩුවක් තිබෙනවා.
Q මේ සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් සාකච්ඡා කර නැද්ද?
ප්‍රා‘යෝගිකව අපට කිසිම වැඩපිළිවෙළකට යනවාට වඩා මෙය රජය විසින් ගතයුතු ක්‍රියාමාර්ගයක්. ඒ මොකද අලි ඇතුන් රටකින් රටකට ගෙන්වාගැනීමේ ජාත්‍යන්තර නීති තිබෙනවා. ඒ වගේම පෞද්ගලිකව අපට අලි ඇතුන් මිලිදීගැනීමේ හැකියාව නැහැ. කොහොම වුණත් රජය මැදිහත්වීමකින් තොරව මේ ගැටලුව විසඳාගැනීමට නොහැකියි.අලි පැටවුන් ගෙනැවිත් මේ තත්ත්වය විසඳාගන්නට තවත් අවුරුදු දහයක් පහළොවක් පමණ ගත වෙයි. වැඩිහිටි වයසේ සිටින අලි ඇතුන් යම් ප්‍රමාණයක් හෝ කඩිනමින් ලංකාවේ ඇත් පරපුරට එකතු විය යුතුයි කියා මම හිතනවා.
වරෙක ජනාධිපතිතුමා ප්‍රකාශ කළා මියන්මාර් රජයෙන් අලි ඇතුන් කිහිප දෙනෙකු ලබාදීමට පොරොන්දු වී තිබෙනවා කියා. එය ලැබෙනවා නම් සතුටට කරුණක්. ඒ වගේම ඉන්දියාව වැනි රටකින් අලි ඇතුන් ලබාගන්න පුළුවන් නම් හොඳයි. මොකද ශාරීරික වශයෙන් විශාල සතුන් ඉන්නේ ඉන්දියාවේ.
ලංකාවේ අලි සමග සංසන්දනය කරන විට තායිලන්ත, මියන්මාර් අලි ඇතුන් අපේ අලි ඇතුන්ට වඩා පොඩියි. නමුත් කරඬුව වැඩමවීමට සුදුසු ඇතුන් ඉන්දියාවෙන් හෝ ලබාගත යුතුයි කියන එකයි මගේ අදහස වෙන්නේ.
Q පෙරහර නැරඹීමට පැමිණෙන ජනතාව වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද?
විශේෂයෙන්ම මහජනතාවගේ සෞඛ්‍ය පහසුකම්, සනීපාරක්ෂක කටයුතු සඳහා අවශ්‍ය මූලික කටයුතු ඉටු කරන්න තිබෙනවා. මහනුවර දිසාපතිතුමා ඇතුළු රාජ්‍ය, රාජ්‍ය නොවන, ස්වේච්ඡා සංවිධාන ආදී මේ සියල්ලගේම එකමුතුව ඇතිව මහජනතාවට වඩා පහසුවෙන් පෙරහර නැරඹීමට අවශ්‍ය පහසුකම් ලබාදෙන්න කටයුතු කරනවා. ඒ වගේම ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය කටයුතු කරනවා. ඊට අමතරව යුද හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාවේ දායකත්වය ලබාගැනීමට කටයුතු කරනවා. ඒ අනුව බලද්දි වෙනදා වගේම සාර්ථකව පෙරහර මංගල්‍යය පවත්වන්න හැකි වේවි කියලා අපි හිතනවා.
Q පෙරහර නැරඹීම සඳහා ආසන වෙන් කරවාගැනීමේ අවස්ථා තිබෙනවාද?
නැහැ. එහෙම කිසිම අවස්ථාවක් නැහැ. මෙවරත් පසුගිය වසරේ වගේම මහ මළුව ඇතුළු පෙරහර නැරඹීමේ ප්‍ර‘දේශ මහජනතාව සඳහා විවෘත කර තිබෙනවා. කිසිම ආසන පැනවීමක් සිදු කරන්නේ නැහැ.
Q පෙරහර නැරඹීමට මහනුවරට පැමිණෙන ජනතාවට ලබාදෙන පණිවුඩය කුමක්ද?
දළදා පූජෝපාහාර පෙරහර ආගමික මංගල්‍යයක්. ආගමික පරිසරයක සිදුකරන මේ පූජෝපාහාරය සඳහා උචිත ඇඳුමින් පැමිණ, බුද්ධාලම්භන ප්‍රීතිය ඇති කරගන්නා ආකාරයට වන්දනාමාන කරමින්, ගෞරව කරමින් ආශීර්වාද ලබාගන්නා ලෙස ඉල්ලා සිටිනවා.
ඊට අමතරව ඔබ එක් දිනක රාත්‍රි‘යේ පෙරහර නැරඹුවත් පසුදා උදෑසන වනවිට මෙය නැවතත් ජනාකීර්ණ නරගයක්. නගරය පවිත්‍රව තබාගැනීම අපි කාගේත් යුතුකමක් වගකීමක් වී තිබෙනවා. ඒ නිසා පෙරහර නැරඹීමට පැමිණෙන සියලුම බැතිමතුන්ගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා පොලිතීන්, ප්ලාස්ටික්, කැලිකසළ පරිසරයට බැහැර කර පරිසරය අපවිත්‍ර කරගන්න එපා කියලා ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා.
දියවඩන නිලමේ නිලංග දෑළ බණ්ඩාර