දඹුල්ල ආසන හිමිකරුවෝ කියන කතා
දඹුල්ල ආසනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආරම්භයේ සිටම ඉතා සමීප ආසනයකි. කාලයක් අත්තනගල්ල ආසනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල ආසනය ලෙස ජනතාව අතර මතයක් පැවතිණි. එමෙන්ම දඹුල්ල ආසනය කාලයක සිට ජනතාව හඳුන්වා දුන්නේ පුංචි අත්තනගල්ල නමිනි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භයේ සිටම දඹුල්ල ආසනයේ උරුමක්කාරයන් බවට පත්වූයේ තෙන්නකෝන් පරපුරය. එම පරම්පරාව එදා සිට දඹුල්ලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ධුරයන් දරමින් ඇමතිකම් දරමින් සිටියදී, මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බරපතළ තීන්දුවක් ගනිමින් තෙන්නකෝන් පරපුර ඉන් ඉවත් කර වෙනත් පාර්ශ්වයකට දඹුල්ල ආසනය බාරදීමට පියවර ගත්තේය.
ඒ අනුව නව ආසන සංවිධායකවරයා සහ හිටපු ආසන සංවිධායකවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වටා සිටින ජනතාවට ලබාදෙන පණිවුඩය කුමක්ද යන්න පිළිබඳ අපි විමසීමක් කළෙමු.
දඹුල්ලේ නව ආසන සංවිධායක ධුරයට පත්කර ඇත්තේ දඹුල්ලේ ප්‍රබල ව්‍යාපාරිකයෙකු වූ දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති යූ.ආර්. දයා නන්දසිරි මහතායි.
ජොකියෝ දුවන්නේ නැහැ, සතා හසුරුවාගෙන යන්නේ, පරදින්න නම් එන්නෙත් නැහැ
- නව ආසන සංවිධායක යූ.ආර්. දයා නන්දසිරි
Q කොහොමද ඔබ එකපාරටම දඹුල්ල ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ධුරයට පත් වුණේ?
මගේ හිතවතෙක් වූ ව්‍යාපාරික රූපසිංහ අයියා තමයි මේ යෝජනාව මට ගෙනාවේ. ගිය වසරේ ඒ අදහසට එක්වෙලා ඉඳලා පස්සේ නැවතුණා. නමුත් මේ මාසේ 24 වැනිදා මට පණිවුඩයක් ලැබුණා ආසනය බාරගන්න එන්න කියලා. පසුවදා උදේ මම කොළඹට ගියා. මම තමයි අන්තිමට ගියේ. එතනදි මට ආසන සංවිධායක ධුරය බාරදුන්නා.
ඒ වගකීම මම සතුටින් බාර ගත්තා. මොකද මම මුදල් හම්බ කරන්න මේක බාරගත්තේ නැහැ. ජනතාවට සේවය කරන්න විතරයි මට අවශ්‍ය වන්නේ. හිටපු කාටවත් මම දොස් කියන්නේ නැහැ. ඒ අයත් පුළුවන් ආකාරයෙන් වැඩ කළා. මම මගේ මුට්ටිය නැතත්, ජනතාවගේ මුට්ටිය ඉදෙන්න වැඩ කරනවා.
Q පළමු සේවාව හැටියට දැන් මොකක්ද කරන්න පැවරිලා තියෙන්නේ?
පළමුවෙන් මට පැවරිලා තියෙන්නේ ජනතාවට වැඩ කිරීම නොවෙයි, පක්ෂයේ ක්‍රියාකාරීත්වය. ඒ අනුව මම පළමු වැනිදා මැයි දිනයට විශාල ජනතාවක් පක්ෂයේ රැලියට සහභාගි කළා. ඒ සඳහා මගේ ව්‍යාපාරික ප්‍රජාව මට විශාල ශක්තියක් වුණා.
Q හිටපු ආසන සංවිධායක ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා කියනවා තමන් එක්ක දුවන්න පුළුවන් ජොකියෙක් ඉන්නවා නම් අභියෝග කරනවා කියලා. එම අභියෝගය බාර ගන්නවාද?
ජනක මහතා සතෙක් වෙන්න බැහැනේ. ජොකියෝ කියන්නේ සතා හසුරුවන කෙනා. දුවන්නේ සතෙක්. මම ජනක මහතාට ගරු කරනවා. එතුමා කළ සේවයටත් ගරු කරනවා. මොකද ජනාධිපතිතුමා මගේ දක්ෂතා හඳුනාගෙන එතුමාම මට කතා කරලා මේක බාර දුන්නේ. ඒ වගකීම මම ඉටු කරනවා. හැබැයි මම පරදින්න නම් එන්නේ නැහැ. බලමු මොකද වෙන්නේ කියලා. ඉදිරියට ඒක බලා ගන්න පුළුවන්.
මොකද ජනක මහත්තයාට දඹුල්ලේ දේශපාලන රේස් දුවන්න පිටිය හදලා දුන්නේ අපේ යූ.ආර්. පරම්පරාව. ඒක කවුරුත් දඹුල්ලේ දන්නවා.
Q ජනක බණ්ඩාර මහතා කියනවා ජන බලයක් නැති පිරිසක් පත් කරලා තියෙනවා කියලා?
ඒක බලමු. මොකද මෙච්චර කාලයක් අපිත් අනුන්ට තමයි ජන බලය හදලා දුන්නේ. හැබැයි දැන් ජනතාව දන්නවා. ඉදිරියේදී බලමු ජන බලය කොහොමද කියලා. අපි කවදාවත් පරාජය වෙන්න දේශපාලනයට ආවේ නැහැ. ඔය දේවල් අනිත් පැත්තට හැරෙනවා බලාගෙන ඉන්න. හැබැයි මේකත් මතක් කරන්න කැමතියි. කිසිම දේකින් පස්සට යන මිනිහෙක් නෙමෙයි මේ රත්නෙ කියන්නේ.
Q දඹුල්ලේ ආසනයේ සංවිධායක කරන්න ගියාම එ.ජා.ප.යෙන් අභියෝගයක් නේද?
අපෝ නැහැ. මගේ හොඳම මිත්‍රයො දෙන්නෙක් ඉන්නේ ප්‍රියත් හා තිස්ස බණ්ඩාර. ගැටුම්කාරී, මැර දේශපාලනයට දඹුල්ලේ තිත තියලා ඒකාබද්ධව ඉතා සුහදව එක්ව මැතිවරණය කරන්න අපි අලුත් පියවරක් ගන්නවා. මේක මට අභියෝගයක් නැහැ. මට දේශපාලන අත්දැකීම් නැතත් සංවිධාන ශක්තිය මට හොඳට තියෙනවා.
දඹුල්ලේ මාත් එක්ක දුවන්න පුළුවන් ජොකියෙක් එවන්න, මම අභියෝග කරනවා
- හිටපු ආසන සංවිධායක ජනක බණ්ඩාර
''පාපතර දේශපාලනයට පමණක් නොවෙයි, පාපතර මිනිස්සුන්ට පවා තිත තියන්න තමයි මගේ කැමැත්ත''
දඹුල්ලේ හිටපු ආසන සංවිධායක, මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා.
Q පුංචි අත්තනගල්ල නමින් හඳුන්වපු දඹුල්ල ආසනය අහිමි වීම ගැන මොකද හිතෙන්නේ?
අපටත් දැන් හිතාගන්න බැරිව ඉන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1956 ආරම්භ කරනකොට එහි කැඳවුම්කරුවෙකු වෙන්නේ මගේ අප්පච්චි. එහෙම කැඳවුම්කරුවන් නියෝජනය කරන පවුල්වල තුන්දෙනයි අද පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ. මම, මහින්ද රාජපක්ෂ හා චමල් රාජපක්ෂ යන මහත්වරු දෙන්නා.
අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරංගනා ලෝකයක් හැටියට දකින්නේ නැහැ. වැරදි අඩුපාඩු දුර්වලකම් තිබුණා. හැබැයි අපි කවදාවත් පක්ෂය දාලා ගියේ නැහැ.
1956 ඉඳලා 77 දක්වා මගේ අප්පච්චි ටී.බී. තෙන්නකෝන් කවිකොළ විකුණපු අහිංසක මනුස්සයෙක්. මේ දඹුල්ල නියෝජනය කළා. 1994 සිට මේ දක්වා මම දඹුල්ල නියෝජනය කරමින් පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. එදා සිට ජය කෙහෙළි නංවනවා. එහෙම කරපු අපට පක්ෂයෙන් මේ ගත්ත තීන්දුව පිළිබඳ ඉතාම කනගාටු වෙනවා.
Q ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ගමන කොහොම වෙයිද?
මම මේක කලිනුත් කිව්වා. මේ නොසිතූ විරූ සිද්ධිය නිසා මීතොටමුල්ලේ කුණු කන්දට වෙච්ච දේ අපේ පක්ෂයට වෙයි කියලා. දැන් තියෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉන්නේ එක්සත් ජාතික පක්ෂයත් එක්ක යහන්ගත වෙලා තුරුලේ. පක්ෂයේ නියම ශ්‍රී ලංකාකාරයෝ ඉවත් කරන වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙනවා.
Q අලුත් ආසන සංවිධායකවරුන් දෙස බැලුවාම, දඹුල්ලේ පරණ ජන පදනමම ඔබතුමා එක්ක සිටිනවාද?
ඇත්තටම මට ඊට වඩා ඉන්නවා. මොකද මම ඇමති කෙනෙක්, නියෝජ්‍ය ඇමති කෙනෙක් වෙනකොට ලැබුණු සුබ පැතුම් තොගයට වඩා මේ ඉවත් කිරීමත් සමග ජනතාව මට කතා කරලා ශක්තියක් බවට පත්වුණා.
ඇත්තටම ජන පදනමක් තියෙන අය පත් කළා නම් මට ටිකක් හරි කනගාටුව අඩු කරගන්න තිබුණා. අද ජන පදනම කියන එක දන්නෙවත් නැති පිරිසක් තමයි නවකයන් ලෙස පත් කරලා තියෙන්නේ.
Q ඒ කියන්නේ ඔබට දඹුල්ලේ අභියෝගයක් නැහැ කියලද?
පුළුවන් නම් සොයාගෙන එන්න. මම අභියෝග කරනවා දඹුල්ලේ මාත් එක්ක දුවන්න පුළුවන් ජොකියෙක් නැහැ.
Q පළාත් ඇමති ඔබේ පුතා සිය තනතුරින් ඉවත් වුණා. ඔබ බලපෑමක් කළාද?
බලපෑමක් කළා යැයි අහපු එකත් මගේ පුතාට අපහාසයක්. මගේ පුතා එහෙම කෙනෙක් නොවෙයි. එයා මගේම පුතා, ඒකයි ඒ එඩිතර තීන්දුව ගත්තේ. අද සමහර දරුවො දෙමාපියන්ට සලකන්නේ නැහැ. එවැනි යුගයක පියා සංවිධායක ධුරයෙන් ඉවත් කළා යැයි කියන සිද්ධියට ඇමති ධුරය අත්හැරීම පුතා පෙන්වපු විශිෂ්ටත්වය කියලයි මම හිතන්නේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

