Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 13 වන සිකුරාදා
2024 දෙසැම්බර් මස 13 වන සිකුරාදා
ජනතාව කෝටි නව ලක්ෂයක ණය ගැටලුවක සිටියදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තවත් කෝටි ගණනක් මුදල් වියදම් කරමින් රථ වාහන ලබාගැනීමට සූදානමින් සිටියි. බොහෝ පිරිසක් මේ සඳහා විරෝධය දක්වන අතර, නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාද ඒ අතර වෙයි. මැති ඇමතින්ගේ රථ ගාය හා වත්මන් දේශපාලනය පිළිබඳව නියෝජ්‍ය ආමත්‍ය රන්ජන් රාමනායක මහතා සමග කළ සම්මුඛ සාකච්ඡාවකි මේ.
Q මොකක්ද මේ රථ ගාය?
කෝටි 55ක් කියන්නේ ඇත්තටම විශාල මුදලක්. අපි කෝටි නව ලක්ෂයක් ණය වූ රටක්. ජනපතිතුමයි, අගමැතිතුමයි කිව්වා අපි කැපකිරීම් කරන්න ඕන, මොකද අපිට ලැබුණේ ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, එංගලන්තය, ඇමෙරිකාව, කැනඩාව වගේ පෝසත් රටක් නෙවෙයි කියලා. ඒ නිසා ජනතාවට විතරක් කැපකිරීම් කරන්න කියලා හරියන්නෙ නෑ. අපිත් කැපකිරීම් කරන්න ඕන. ඒ නිසා මම පාර්ලිමේන්තුවේ ලක්ෂයක දීමනාවත් එපා කිව්වා. 2500ක දීමනාවත් එපා කිව්වා. මම බී.එම්.ඩබ්ලිව්. එක, ජීප් එක එපා කිව්වා. මම ඒ පූර්වාදර්ශය දීලා තියෙනවා. අපිට ඩොලර් 65000ක පර්මිට් එකකුත් ලැබිලා තියෙනවා. මේ ණය බේරනකම් අපි කැපවීම පෙන්වන්න ඕන.
Q ඇමතිවරුන්ට ලක්ෂ 400 -350ක වාහනයක් ඕනමද?
මට ලැබුණේ මිල්රෝයි ප්‍රනාන්දු හිටපු ඇමතිතුමා භාවිත කළ වාහනයක්. එය අවුරුදු 7ක් පමණ පරණයි. එකෙ කිසිම අවුලක් නෑ. කැඩුණාම ගරාජ් එකට දාලා හදාගන්නවා. මිල්රෝයි මහත්තයා වාඩිවෙලා ගිය එකේ මම වාඩිවෙලා ගියා කියලා මට ලැජ්ජාවක් නෑ. හදල භාවිත කළ හැකි වාහන ඕනතරම් තිබෙනවා. මම දැක්කා සමහරු කියනවා ගමේ යද්දි තත්ත්වයක් නෑ කියලා. සමහරු කියනවා ඇඟ රිදෙනවා කියලා. පරණ වාහනේ ගියත්, ජනතා මුදල් හොරකම් කරන්නේ නැත්නම්, අසාධාරණය වෙනුවෙන් පෙනී සිටිනවා නම් ඒවායින් තමයි තත්ත්වය හැදෙන්නේ.
Q ජනතාවගේ පටි තදකර මැති ඇමතිවරුන් පටි ලෙහා ගන්නවා නේද?
ගිය පාර ජනතාවට පටි තද කරගන්න කියලා ඒ අය පටි ලෙහා ගත්ත නිසා තමයි ජනතාව අපිට බලය දුන්නේ. විනාශ කරපු රටක් තමයි අපට ලැබුණේ. ඇස්ටන් මාටින් කාර් රේස් අපි දැක්කා. මහ නායක හිමිවරුන් එපා කියද්දි දළඳා මාලිගාව ඉදිරිපිට කාර් පැද්දා, කොළඹ රාත්‍රියට පාරවල් වහගෙන වාහන පැද්දා. අපි මේවා ඇස් දෙකට දැක්කා. කෝටි ගණන් කොමිස් ගැහුවා, රටේ මුදල් විනාශ කළා. ඒ මන්ත්‍රීවරු පටි ලෙහා ගත්ත නිසා තමයි ජනතාව අපිට බලය දුන්නේ.
ඒවා කිය කියා දූෂණ අඩුයි කියලා මේවා සාධාරණීකරණය කරන්න බෑ. ගොඩක් අය කියන්නේ දූෂණ නෑ කියල නෙමෙයි. දූෂණ තරමක්දුරට අඩුයි කියලයි. ඒක උත්තරයක් නෙමෙයි. මෙහෙම ගියොත් ජනවාරි 8, අගෝස්තු 18 ජනතාව ඒ අයට දුන් උත්තරයම අපිටත් දෙයි. මම නම් එහෙම උත්තරයක් ලැබෙන විදියට වැඩ කරලා නෑ.
මම ජනතාවත් සමග ඉන්නවා. ජනතා සටන්වලට යනවා. මම හොරකම් මැරකම් කරලා නෑ. පස් පර්මිට්, වැලි පර්මිට්, බොරළු පර්මිට් අරගෙන නෑ.
බාර් පර්මිට් නෑ. ගුවන් තොටුපොළේ කඩ කාමර නෑ. මට පපුව ඉස්සරහට දාගෙන ජනතාව ගාවට යන්න පුළුවන්. මම ඩී.එස් සේනානායක, ඩඩ්ලි සේනානායක, මගේ මමා විජය කුමාරතුංග පූර්වාදර්ශයක් කරගෙන ජීවත් වෙනවා.
Q දේශපාලඥයින් පිළිබඳව ජනතාව අතර විශේෂයෙන්ම තරුණ ප්‍රජාව අතර එතරම් පැහැදීමක් නෑ නේද?
මම නම් අනුගමය කරන්නේ උරුගුවේ ජනාධිපති. නෙල්සන් මැන්ඩෙලා, නරේන්ද්‍ර මෝදි, අබ්දුල් කලාම්, අන්නා හසාරේ, මහත්මා ගාන්ධි වෙන කවුරුවත් ඕන නෑ ගෞතම බුදුරජාණන් වහන්සේ, සිදුහත් කුමාරයාව සිටියදී සුද්ධෝදන රජතුමා රම්‍ය, සුරම්‍ය, සුභ යනුවෙන් මාලිගා තුනක් හදලා අල්ලස් දුන්නා. යුවරජකම දුන්නා. නමුත් උන්වහන්සේ අල්පේච්ඡ ජීවිතයක් ගතකරලා තරුණ, බාල, මහලු කා අතරත් ලෝක පූජිත වුණා. ජේසුස් වහන්සේත් එහෙමයි. මේ චරිත කතා කියවිය යුතුයි.
ඇමතිකමක් කියන්නේ ගරු සේවයක්. ගරු සේවයේදී පහසුකම් විඳින්න අවශ්‍යනම් දෙමාපියන්ගේ සල්ලි වියදම් කරන්න. ඇමතිධුර ගන්නේ වැලි කපන්න, පස් කපන්න, බොරළු කපන්න, ව්‍යාපාර කරන්න, හැමතැනින්ම ගෙවල් ගන්න, ළමයි කේම්බ්‍රිජ්, ඔක්ස්ෆර්ඩ් යවන්න නෙමෙයි. මේවා සඳහා තරුණ ප්‍රජාව කැමැත්තක් නෑ. මම කිසිම වියදමක් නොමැතිව ෆෙස්බුක් එකේ ජනතාව අතර ප්‍රසිද්ධයි.
ලංකාවේ 4 වැනි ජනප්‍රියම ෆෙස්බුක් එක තිබෙන දේශපාලඥයා මම. කමෙන්ට්ස් වැඩිම ෆේස්බුක් එක. ජනතාව දන්නවා මම හොරකම් කරන්නේ නෑ. අවභාවිත කරන්නේ නෑ කියලා. රටේ ජනතාව දුක් විඳිද්දී අපි සැප විඳින එක සාධාරණ නෑ. අපි බී.එම්.ඩබ්ලිව් එකේ ගියත් මරූටියේ ගියත් එකම ගමනාන්තයට යන්නේ. අපිට ගෙවල් 10ක් තිබිලා, ඇඳන් 10ක් තිබුණත් එක රාත්‍රියකට පැය ගානේ ඔය ගෙවල් 10 නිදාගන්න බෑනේ. ගෙවල් 10ක් මොකටද? මිනිස්සු ඒවට හෙණ ඉල්ලනවා.
Q ඔබ ආණ්ඩුවත්, විපක්ෂයත් විවේචනය කරනවා. මෙය ඔබගේ ගමනට බාධකයක් නොවෙයිද? පෞද්ගලික වශයෙන් සතුරන් බිහිවෙන්නෙ නැත්ද?
ගොඩක් වෙලාවට එහෙම වෙලා තිබෙනවා. නායකයන්ට බැන්නාම නම් සුමානයක් විතර හැංඟිලා ඉන්නවා. අගමැතිතුමා දෝෂාරෝපණයක් කළාම මම පොඩ්ඩක් ඇසට හසුවන මායිමේ නැතිව ඉන්නවා. පස්සෙ එතුමාගේ මූඩ් එක බලලා යාළු වෙනවා. මෛත්‍රීපාල ජනපතිතුමා නම් තාම දොස් කීවේ නෑ. මම අපේ අයට විරුද්ධව ප්‍රකාශ කරද්දී මම කියන්නේ සර් මම කියන දේ නෙමෙයි මේක පොඩ්ඩක් හෙයාලා බලන්න කියලයි. පස්සෙ ඇත්ත වෙලා තියෙනවා. මංතීරු සිද්ධිය, ඩිෆෙන්ඩර් සිද්ධිය, සයිටම් සිද්ධිය, ඇවන්ට්ගාඩ් සිද්ධිය ඔය හැම එකකම මම හිටියේ මගේ මතයේ.
මම ජනතාව සමග සිටින කලාකරුවෙක්. ගැටුම් පහරදීම් ගොඩක් ඇතිවුණා. මට පෞද්ගලිකව ප්‍රශ්නයක් නෑ. මොන ප්‍රශ්න ආවත් මගේ ගමන යනවා. මට පහර දෙන පාර්ශ්වත් දන්නවා මම මැදිහත් වෙන්නේ මගේ ප්‍රශ්නවලට නොවන බව. මට අදාළ නැති දිස්ත්‍රික්වල ජනතාව පවා මට ප්‍රශ්න කියනවා. කුරුණෑගල ගස් වගයක් කපනවා කියලා මට එන්න කියනවා.
විල්පත්තුව ගත්තොත් ඇමති රිෂාඩ් බද්යුදීන් වැරදියි. පෙළක් වෙලාවට මට හිතෙනවා මම නළුවෙක් වෙලා ඉදිද්දී සතුරෝ ගොඩක් අඩුයි. දැන් සතුරෝ බොහෝමයක් ඉන්නවා. නමුත් ජනතාව අපිව පාර්ලිමේන්තුවට යැව්වේ ගොළු චරිතයක් නිරූපණය කරන්න නෙමෙයි.
Q දූෂණ සම්බන්ධයෙන් වන පරීක්ෂණ ගැන ඔබ සතුටුද? පරීක්ෂණ ප්‍රමාණවත්ද?
හොරු කියන්නෙ නෑ, නියමෙට හොරු අල්ලනවා කියලා. අපිට හොරුන්ගෙන් සහතික අවශ්‍ය නෑ. චන්ද්‍රිකා මැතිනිය ආවේ හොරු සේරම ගෝල්ෆේස් එකට ගෙනත් පට්ට ගහනවා කියලා. නමුත් අල්ලපු හොරෙක් නෑ. නමුත් මේ ආණ්ඩුව වෙනම සංස්කෘතියක් ගේනවා. අපි 50කට කිට්ටුවෙන්න අල්ලලා තියෙනවා. හිටපු කැබිනට් අමාත්‍යවරු ඉන්නවා. මරණීය නඩු තීන්දු පවා දුන්නා. ඇතැම් අයට නාමයෝජනා ලැබුණේ නෑ. ඇතැම් රාජ්‍ය නිලධාරීන් පවා නිතියේ රැහැනට හසුවෙලා තිබෙනවා.
පරීක්ෂණ කෙරෙනවා, අපි සංස්කෘතිය ගෙනාවා. ඊළඟ ආණ්ඩුවටත් මේ දේ ඉදිරියට ගෙන යා හැකියි. ඔවුනුත් අනිවාර්යයෙන්ම පළිගන්නවානේ. ඒක ඇත්තටම හොඳයි. බන්ධනාගාර රියෙන් ඇවිත් මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ කතා කරනවා අපි දැකලා තිබුණේ නෑ. වහපු නඩු ෆයිල් දැන් ඇරෙනවා. ඒක මම අධෛර්මයත් කරන්නේ නෑ. එෆ.සී.අයි.ඩී, සී.අයි.ඩී, අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම, එස්.අයි.යූ, මේ අය දිවි පරදුවට තබා කටයුතු කරනවා. බන්ධනාගාර රියෙන් එන කෙනත් අහනවා හොරු ඇල්ලුවද කියලා.
Q හැබැයි විපක්ෂය කියන්නේ විපක්ෂය පස්සේ ආණ්ඩුව නිතරම ගමන් කරන බවත් ආණ්ඩු පක්ෂයට එරෙහිව තිබෙන චෝදනා විමර්ශනය නොකරන බවත් නේද?
ඒක ඇත්ත. ඒ අය 1994 ඉඳන් හොරකම් කළා. ඒවා දේපළ පිටින්, මුදල් පිටින් තිබෙනවා. අපේ කට්ටිය හොරකම් කරන්න ගත්තා කියනවා. මම දන්නවා හොරකම් කරනවා කියලා. ඒවා අලුත්. කරමින් තිබෙන දේවල් සඳහා වැට බඳිනවා. ලෝකයේ කවදාවත් හොරු නැතිව යන්නේ නෑ. ඇමෙරිකාවේ පවා හොරු ඉන්නවා. මම කියන්නේ A TO Z යන්න ඕන කියලයි.
මම පැහැදිලිව කියන්නම්. ඔය ටොප් ටෙන් ලෙස හොරු අල්ලන එකට මගේ තිබෙන්නේ ලොකු කැමැත්තක්. මම එයට පූර්ණ සහයෝගය දෙනවා. ඒකෙ ප්රතිලාභ ලැබෙන්නේ ජනතාවට. කවුරු හෝ වේවා හොරකම් නවත්වනවා නම් එහි ප්‍රතිලාභය ජනතාවටයි. ඒ වගේම දෙපැත්තෙන්ම ඩීල් දාලා ඉන්න හොරු ටික අල්ලන්න ජනතාවට පුළුවන්.
අපේ ආණ්ඩුව බොහෝ දේවල් කළා. තොරතුරු දැන ගැනීමේ පනත යටතේ මම පසුගියදා ලබාගත්තා 1996 වසරේ සිට බාර් පර්මිට් ලබාගත්ත දේශපාලඥයන්ගේ නම්. 3600 ගාණක් එසේ බලපත්‍ර ලබාගෙන තිබෙනවා. මා ළඟ ලිස්ට් එක තිබෙනවා. මම ඉදිරියේදී කරුණාරත්න පරණවිතාන හා ගයන්ත කරුණාතිලක ඇමතිවරුන් එක්ක වත්කම් බැරකම් නීතිය ගෙනෙනවා.
ඒක තමයි මරුම එක. ඒකෙදි සියලුදෙනාම අල්ලන්න පුළුවන්. මම පසුගිය කාලයේදී මැතිවරණ කොමසාරිස්ට පුදුම වදයක් දුන්නා දේශපාලඥයන්ගේ වත්කම් බැරකම් ඉල්ලලා. එතුමා කියනවා දෙන්නම් මේවා ප්‍රසිද්ධ කරන්න එපා කියලා. පිට රට එහෙම නෙමෙයි. බැරක් ඔබාමාගේ, ඩේවිඩ් කැමරන්ගේ වත්කම් ෆේස්බුක් එකේ තිබෙනවා.
Q සංවර්ධනය එක තැන පල්වෙලා නේද ඇමතිතුමා?
සංවර්ධනය ගැන මගේ මතය කොන්ක්‍රීට් වනාන්තර බිහි නොවිය යුතු කියලයි. කඩිනම් සංවර්ධනයට මම කැමති නෑ. කඩිනම් සංවර්ධනය කරන්න ගිහින් චීනය, කැනඩාවෙ ඔක්සිජන් බෝතල් ගෙන්නගෙන ඒවා බෑග් එකට දමාගෙන මුඛවාඩම් දමාගෙන යන්නේ. මම ඇස් දෙකින් දැක්කා ජපානයේ එහෙමයි. ඉන්දියාවෙ එහෙමයි.
මොනවා කිව්වත් ස්වාභාව ධර්මයෙන් පෝසත්ම රට ශ්‍රී ලංකාව. ඒක විනාශ කරන්න එපා කියලයි මම කියන්නේ. කලුගල් වැවෙන්නෙ නෑ. බොරළු වැවෙන්නෙ නෑ. පස් වැවෙන්නෙ නෑ. සංවර්ධනය කියන්නේ කපලා කොටලා කුඩු කරලා කරන දේ නෙමෙයි. ජලය ආරක්ෂා වෙන්න ඕන. මඩවගුරු ආරක්ෂා වෙන්න ඕන. ස්වභාව ධර්මය ආරක්ෂා වෙන්න ඕන. පරිසරයට හානි නොකරයි සංවර්ධනය වෙන්න ඕන. කඩිනම් සංවර්ධනය නිසා තමයි ශ්‍රී ලංකාව චීනය ඇතුළු රටවලට මේ තරම් ණය වෙලා තිබෙන්නේ. සංවර්ධනය නාමයෙන් පසුගිය කාලයේදී වුණේ කොමිස් ගසා ගැනීම.
Q සයිටම් ගැන ඔබගේ පෞද්ගලික මතය කුමක්ද?
මම සයිටම් එක ගැන ඉන්නෙ මැද මතයක. විද්වත් මණ්ඩලයක් ඇරියම සායන පහසුකම් නෑ. වෛද්‍ය සිසු සිසුවියන්ට සායන අත්දැකීම් ලබන්න නෑ. නෙවිල් ප්‍රනාන්දුගේ භූමිකාව ගැන අපිට සතුටු වෙන්න බෑ. සමීරට වෙඩි තිබ්බා කියනවා, නෑ කියනවා. නමුත් ළමයි පළි නෑ. වෛද්‍ය වෘත්තිය කියන දේ ලාභය බලාගෙන කරන්න නරකයි. බුදුහාමුදුරුවොත් දේශනා කළේ ආනන්ද සර්පයා දුටුවාද කියලයි. මුදල් ඉදිරියට ආවොත් තිබෙන්නේ ව්‍යාපාරයක්. ගුණාත්මකභාවය නැතිවෙනවා. එහෙම කියලා දරුවන් අමතක කරන්න බෑ.
Q ජනපතිටයි, අගමැතිතුමාටයි විදෙස් සංචාර වැඩි බවට චෝදනාවක් තිබෙනවා.
මම ජනපතිතුමාටයි, අගමැතිතුමාටයි යෝජනාවක් කරනවා ජී. 7 සමුළුව වැනි සමුළුකට යෑම රටට ප්‍රයෝජනයක්. අපි රුසියාවට යනවා. එංගලන්තයට යනවා. නරේන්ද්‍ර මෝදි මෙහෙ ආවා. නමුත් ඔවුන් දෙදෙනා මරණ ගෙවල් වලට යාම ගැන මගේ විරුද්ධත්වයක් තිබෙනවා. යාපනයේ, ත්‍රිකුණාමලයේ අවමංග්‍ය උත්සවයකට හෙලිකොප්ටරයක් ගියාම ලක්ෂ හතරක් පහක් යනවා. මගෙත් එක්ක තරහ වෙයිද දන්නෙ නෑ. නමුත් මගේ මතය කියනවා. ඇමෙරිකානු හිටපු ජනපති බැරැක් ඔබාමා ඔහුගේ ධුර කාලයේදී ගියේ සීමිත අවමංගල්‍ය උත්සව කිහිපයකට පමණයි. නෙල්සන් මැන්ඩෙලා, ලී ක්වාන් යූගේ වගේ අවමංගල්‍ය උත්වස වලට පමණයි ඔහු ගියේ.
නමුත් අපේ සංස්කෘතිය අනුව ජනපතිට අගමැතිට වෙන වැඩක් කරගන්න විදයක් නෑ. පොත් එළිදැක්වීමේ උත්සව, කලාකරුවන් බලන්න යන්න, මළ ගෙවල්වලට, මඟුල් ගෙවල්වලට, සාද වලට ගියාම කොහොමද රටට වැඩක් කරන්නේ. රටට ආයෝජකයන් ගේන ඕන දේකට යන්න. එතුමාට මේ වගේ සුළු දේවල් වලට ආරාධනා කරන එකත් වැරදියි. මෙය ආසියාවේ රාජ්‍ය නායකයන් වෙනස් කරගත යුතු දෙයක්.
Q දිවුලපිටියේ සංවර්ධන ව්‍යාපෘති වලින් ඇයි ඔබගේ නම ඉවත් කළේ?
මම පූර්වාදර්ශයක් දෙන්න මහජන මුදල් හරහා සංවර්ධන ව්‍යාපෘතිවලින් මගේ නම යොදා ගැනීම ඉවත් කළා. මෙය ඩලස් අලහප්පෙරුම මහතාත් කියා තිබුණා. මම ඉන්නෙත් එතුමාගේ මතයේ. කිසිම තැනක මහජන මුදල් සඳහා දේශපාලකයන්ගේ නම් දාන්න හොඳ නෑ. පාලම් වලට නම් දාගන්න ගහ ගන්නවා. රණතුංග පවුලේ සහෝදරයන් නම් සඳහා රණ්ඩු වෙනවා. රියලිටි ෂෝ වලින් මට ලැබෙන සල්ලි මම මගේ නමින් දෙනවා. පත්තරේ ඇඩ් දමන විටත් මගේ නම ඉවත් කරන්න කියලා මම උපදෙස් දී තිබෙන්නේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd