ඡන්දෙට අපි එකතු වෙලා ඉල්ලමු නේද?
මෙහෙම කරන්න එපා - ඒක විහිළුවක් වෙනවා
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩලය අඟහරුවාදා පෙරවරුවේ රැස්විය. එහිදී පළමුව සාකච්ඡා වූයේ දුම්රිය සේවක වැඩවර්ජනය පිළිබඳවය. ඒ පිළිබඳ ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවසුවේ, මෙම වැඩවර්ජනය පිළිබඳ සොයාබැලීම සඳහා අමාත්‍ය අනුකාරක සභාවක් පත්කළ යුතු බවයි. ඒ අනුව ජනාධිපතිවරයා විසින් ආචාර්ය සරත් අමුණුගම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිවුපුද්ගල අනුකාරක සභාවක් පත්කළ අතර, ඇමති රාජිත, අකිල, රංජිත් ද ඊට ඇතුළත් වූහ.
අමාත්‍ය අනුකාරක සභාව පත්කිරීමෙන් පසුව ඇමති රාජිත කීවේ මෙවැන්නකි.
“දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කරන්න එපා කියලා මම ඉල්ලා සිටියා. එය විහිළුවක් බවට පත්වෙනවා. මොකද වර්ජිත සේවකයන් අත්‍යවශ්‍ය සේවා නියෝග කඩකළොත් වෙනත් විකල්ප ක්‍රියාමාර්ගයක් නැහැ. විකල්ප ක්‍රියාමාර්ග කෙරෙහි අවධානය යොමුකරමින් එවැනි ගැසට් නිවේදනයක් නිකුත් කළ යුතුයි. 1980 ජේ.ආර්. ජයවර්ධන මහතා අත්‍යවශ්‍ය සේවා ගැසට් නිවේදනයක් නිකුත් කළත්, සෞඛ්‍ය වෘත්තීය සමිති ලෙස අපි ඒවා උල්ලංඝනය කළා. නමුත් දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ගැසට් කිරීමෙන් පසු සාකච්ඡාත් පැවැත්වුවා. ජනාධිපති සහ අගමැති ලේකම්වරුන් වෘත්තීය සමිති සමග සාකච්ඡා පැවැත්වුවා. එය විහිළුවක්. මෙමගින් ජනතාව තේරුම් ගන්නවා රජය දුර්වලයි කියලා. ලබාදුන් නියෝගයක් ක්‍රියාත්මක කළ යුතුයි. නැතිනම් එවැනි නියෝග නිකුත් නොකළ යුතුයි.”
රාජිතට පසුව නිමල් සිරිපාල කතා කළේය.
“සාකච්ඡා පැවැත්වුවේ වෘත්තීය සමිතිවල අවශ්‍යතාව මතයි. එහෙම නැතිව මට ඕන වුණේ නැහැ. දුම්රිය සේවාවේ ගැටලු සහ වෘත්තීය ප්‍රශ්න සොයා විසඳුම් ඉදිරිපත් කිරීම සඳහා පත්කළ අමාත්‍ය අනුකාරක සභාව ප්‍රථම වරට බත්තරමුල්ල සෙත්සිරිපායේදී බදාදා පෙරවරුවේ රැස්විය.
අමාත්‍ය අනුකමිටුව සාකච්ඡා කර පසුව දුම්රිය වෘත්තීය සමිති සමගද සාකච්ඡා කර වැඩවර්ජනය අවසන් කිරීමට එකඟ කරගෙන තිබිණි. ඇමති රාජිත එය අවසන් කර කැබිනට් මාධ්‍ය හමුවට පැමිණ පැවසුවේ දුම්රිය, සෞඛ්‍ය, අධ්‍යාපන සේවා සංවෘත සේවා බවට පත්කරන බවයි.
මාධ්‍ය හමුවට පැමිණි විගසම අමාත්‍යවරයා සිනහවෙමින් පැවසුවේ දැන් වැඩවර්ජනය අවසන් බවයි. එතකොට ඇමතිතුමා ඔවුන්ගේ වැටුප් වැඩි කිරීමට ඔබතුමාලා එකඟද? මාධ්‍යවේදීහු විමසූහ. .
“ඔව්. සංවෘත සේවාවක් කළාට පස්සේ පඩි වැඩිකිරීම් කරන්න අවශ්‍ය නම්, අපි එයට සූදානම්. ඒක ප්‍රශ්නයක් නැහැ. දුම්රිය සේවය දිගින් දිගටම පාඩු ලබනවා කියලා කියන්නේ ඇමතිතුමා. එහෙම තියෙද්දි මෙහෙම පඩි වැඩි කරන්න පුළුවන්ද?”
“ඒකනෙ ඒකට දුම්රිය සේවය කියලා කියන්නෙ.”
“දුම්රිය වර්ජනය දවස් 07ක් තිබුණා. මේකෙන් කොපමණ පාඩුවක් වෙලා තියෙනවද ඇමතිතුමා? ඒ පාඩුවට මොකද කරන්නේ?”
“පාඩුව නවත්වන්න තමයි මේ වර්ජනය නවත්වලා නැවත සේවා පටන්ගෙන තිබෙන්නෙ.”
“අපි ඇහුවේ සිදු වූ පාඩුව ගැන ඇමතිතුමා?”
“මේ වගේ පාඩු කොපමණ සිදුවෙලා තියෙනවාද ලංකාවට.”
“ඇමතිතුමා මේ රියදුරන්ගේ අතිකාල දීමනා ලක්ෂ ගණන් ලබාදෙන නිසා ඇත්තටම මේ වර්ජනය නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට ලාබ නැද්ද?” යැයි මාධ්‍යවේදීන් ඇසූ විට රාජිත සිනහසුණි.
සීමා ඉවත් කරලා පොහොර දෙන්න එකඟ වුණා
දිවයින පුරා පොහොර හිඟයක් ඇති බවට ප්‍රකාශ වීමත් සමග කැබිනට් මණ්ඩලයේදීද පොහොර ගැටලුව පිළිබඳ සාකච්ඡා කෙරිණි. පොහොර හිඟය අවසන් කිරීම සඳහා පාකිස්තානයෙන් පොහොර ගෙන්වීමට සූදානම් බව ජනාධිපති මෛත්‍රී කැබිනට් මණ්ඩලයට පැවසීය.
“මම පාකිස්තානයේ අග්‍රාමාත්‍යවරයාට දුරකථනයෙන් කතා කළා. ඔහු මම කලින් හමුවී තිබූ නිසා පොහොර ගෙන්වීම පහසු වුණා. පාකිස්තානයේ පොහොර අපනයනය කරන්නේ පෞද්ගලික අංශයෙන්. එම අපනයන සීමාවන් ඉවත් කරලා
ශ්‍රී ලංකාවට පොහොර ලබාදෙන්න පාකිස්තානය එකඟ වුණා” මෛත්‍රී කීවේය.
ඇමති සජිත් ප්‍රේමදාස එයට එක්වෙමින් පැවසුවේ, “පසුගිය රජය විසින් ලබාදෙන ලද පොහොර සහනාධාරය අපි නැති කළා. එම නිසා රජය විසින් ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත යුතුයි” යනුවෙනි.
ඇමති සරත් අමුණුගමද පැවසුවේ, පොහොර සහනාධාරය යළි ලබාදිය යුතු බවයි. ලෝකයේ පොහොර හිඟයක් ඇති බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා ඒ පිළිබඳවද අවධානය යොමුකළ යුතු බවද එවිට සඳහන් කළේය.
මෙහෙම කළොත් ජනතාව අපට සාප කරයි
පළාත් පාලන මැතිවරණයේදී ක්ෂේත්‍ර නිලධාරීන්ට මැතිවරණයට ඉදිරිපත් වීමට නොහැකි වීම පිළිබඳ කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුවිය. ඇමති සජිත් ප්‍රේමදාස කීවේ, “ක්ෂේත්‍ර නිලධාරීන්ට මැතිවරණයට ඉදිරිපත් වීම නීතිය මගින් තහනම් කර තිබෙනවා. මේ ගැන අදහස දැනගන්නට අවශ්‍යයි” යනුවෙනි.
එවිට ඇමති දයාසිරි ජයසේකර පැවසුවේ, “ක්ෂේත්‍ර නිලධාරීන් මැතිවරණයට ඉදිරිපත් වුණත් නීතියට අනුව රාජ්‍ය සේවා තනතුර අහිමි වෙනවා.” යනුවෙනි.
එවිට සජිත් තවත් ප්‍රශ්නයක් ඇසුවේය.
“නාමයෝජනා ලබාදීමේදී එම ක්ෂේත්‍ර නිලධාරීන්ගේ නම් නාමයෝජනා ලැයිස්තුවේ තිබුණේ නම් එය ප්‍රතික්ෂේප කළ හැකිද?”
“නීතියට අනුව එහෙම කරන්න බැහැ” යැයි එයට හදිසියේම ඇමති සුසිල් ප්‍රේමජයන්ත පැවැසීය.
මේ සියල්ල අසා සිටි ජනාධිපති මෛත්‍රී පැවසුවේ, පළාත් පාලන මැතිවරණ පනතට සංශෝධන ගෙන ආ යුතුයි කියාය.
“මොකද 4000ක්ව හිටපු මන්ත්‍රී ධුර සංඛ්‍යාව 8000 දක්වා වැඩිවෙලා තියෙනවා. මේ තුළින් ජනතාව අපට සාප කරයි. ඒ නිසා මන්ත්‍රී ධුර සංඛ්‍යාව ඉදිරියේදී සියයට 50ක් වත් අඩු කළ යුතුයි” මෛත්‍රී අවධාරණය කළේය.
නෑ ඩොක්ටර් අපි දෙන්නට ඒ ප්රශ්නය විසඳගන්න පුළුවන්
ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය සඳහා වන අවම ප්රමිතීන් වෛද්‍ය අඥා පනත යටතේ වන රෙගුලාසි වශයෙන් රජයේ ගැසට් පත්‍රය මගින් ප්‍රසිද්ධ කිරීමට සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේය. එයට අනුමැතිය හිමිවිය. වෛද්‍ය උපාධිය සඳහා ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයකට ඇතුළත් කරගනු ලබන සෑම සිසුවෙකුටම මෙරට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ජීව විද්‍යාව, රසායන විද්‍යාව හා භෞතික විද්‍යාව යන විෂයයන් සඳහා අවම වශයෙන් සම්මාන සාමර්ථ්‍යයන් 02ක් සහ සාමාන්‍ය සාමර්ථය්යයන් සහිතව එක්වරකදී සමත්ව තිබීම වෛද්‍ය අධ්‍යාපනය සඳහා සිසුන් ඇතුළත් කරගැනීමට අවශ්‍ය අවම සුදුසුකම ලෙස අවසාන වශයෙන් තීරණය විය.එහිදී රාජිත මෙසේද කීවේය.
“වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය පිළිබඳශ්‍රී ලංකා වෛද්‍ය සභාව ලබාදුන් කරුණුවලට එකඟව අමාත්‍ය මණ්ඩල සන්දේශය ඉදිරිපත් කරනවා. තවද එකඟ නැති ලියැවිල්ලක් අමාත්‍ය මණ්ඩලයට වෛද්‍ය පීඨ පීඨාධිපතිවරුන් විසින් ලිපියක් මගින් යොමුකර තිබෙනවා. වෛද්‍ය පීඨ පීඨාධිපතිවරුන්ද වගකීමෙන් කටයුතු කළ යුතුයි. මේ පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද ලිපියක් යොමුකළා. ඔවුන් කටට එන දේවල් විතරයි කියන්නෙ. නමුත් පීඨාධිපතිවරුන් මෙලෙස හැසීරිම ගැටලුවක්. දේශපාලන අවශ්‍යතා මත ඇතැම් පීඨාධිපතිවරුන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිලවරණයේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට සහාය ලබාදීමේ අරමුණින් කටයුතු කරනවා. මෙම ලියැවිල්ල එක් පීඨාධිපතිනියක විසින් ලියා ඇති බවට තොරතුරු වාර්තා වුණා. ඇයගේ ස්වාමි පුරුෂයා මේ පිළිබඳ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ නිරීක්ෂණ ලියා තිබෙනවා. ජනාධිපතිවරයාත් එම නිරීක්ෂණ ලියා ඇත්තේ පීඨාධිපතිවරුන්ගේ ලිපිය පදනම් කර ගනිමින්.”එවිට ජනාධිපති මෛත්‍රී පැවැසුවේ, “නෑ ඩොක්ටර් අපි දෙන්නට ඒ ප්රශ්නය විසඳා ගන්න පුළුවන්” කියාය.
දැන්නම් බැහැ - අපට නඩුත් තියෙනවානේ
වසර හතරකට වැඩි කාලයට පසුව ජනාධිපති මෛත්‍රී හිටපු ඇමති බැසිල් රාජපක්ෂට දුරකථන ඇමතුමක් ලබාගෙන තිබිණි. මේ සම්බන්ධතාවට අවස්ථාව උදාකරදී තිබුණේ මැදගොඩ අභයතිස්ස හිමියන්ය.
මෛත්‍රී ගත් දුරකථන ඇමතුමට බැසිල් ප්‍රතිචාර දැක්වීය. පළමුව කතා කළේ මෛත්‍රීය.
“ආ කොහොමද?”
“හොඳින් සර්.”
“අපට දැන් කතා කරන්නෙත් නැහැ නේද?”
“සර්නේ අපිත් එක්ක කතා කරන්නේ නැත්තේ සර්.”
“ඡන්දෙට අපි එකතු වෙලා ඉල්ලමු නේද?”
“අපි දැන් නාමයෝජනා හදලා ඉවරයි සර්, දැන්නම් බැහැ. අනික අපට නඩුත් තියෙනවානේ ජනාධිපතිතුමා” යැයි බැසිල් කියනවාත් සමගම ජනාධිපති මෛත්‍රී දුරකථනය විසන්ධි කළේය.
මෙම දුරකථන සංවාදය පිළිබඳ බදාදා කැබිනට් මණ්ඩලයේදීද මාධ්‍යවේදීහු ඇමති දයාසිරිගෙන් ප්‍රශ්න කළහ.
“ජනාධිපතිතුමා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර දුරකථන සංවාදයක් වුණා කියලා මාධ්‍ය වාර්තා කරලා තිබුණා. ඇත්තටම මොකද වුණේ ඇමතිතුමා?” යැයි මාධ්‍යවේදීන් අසන විට දයාසිරි කීවේ, “ඒක නම් මම දන්නේ නැහැ. හැබැයි මාත් දැක්කා මාධ්‍යයේ පළකර තිබෙනවා. හැබැයි ඉතින් කතා කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැනේ. මාරාගන්න තත්ත්වයක් නැහැනේ.”
“නමුත් මේ වසර හතරකට පස්සේ එහෙම දුරකථන සංවාදයක යෙදෙන්නේ?”
“මම දන්නේ නැහැ. ඇත්තටම එහෙම දුන්නද කියලත් මම දන්නේ නැහැ.”
“නැහැ, ඇමතිතුමා එහෙම දීලා තියෙනවා.”
“ඔබතුමා දන්නවා මට වැඩිය නේද?”
“ඔව්. බැසිල් රාජපක්ෂ මහත්තායා ඒ බව තහවුරු කළා.”
“අනේ මන්දා. හැබැයි අපි සාකච්ඡා කළා. ජනාධිපතිතුමා ආවේ නැහැ ඒවාට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරන්න ජනාධිපතිතුමා ක්‍රියා කරනවා. තව අය බෙදන්න කටයුතු කරනවා. බලමු අනාගතයේ මොනවද වෙන්නේ කියලා.
“ජනාධිතිවරයා බරපතළ ලෙස විවේචනය කළ පුද්ගලයෙක් බැසිල් රාජපක්ෂ. කොහොමද එහෙම අය සමග එකතු වෙන්නේ?”
“ජනාධිපතිතුමා හදන්නේ පක්ෂය එකතු කරන්න. කොහොම වුණත් අවසන් සාකච්ඡාවත් අපි කළා. ඒකත් අසාර්ථකයි.”
“නාමල් රජපක්ෂ මන්ත්‍රීවරයා ඔබට අභියෝගයක් කරලා තිබුණා. ඒකාබද්ධ විපක්ෂ - නිදහස් පක්ෂ සාකච්ඡා අසාර්ථක කළා කියපු මන්ත්‍රීවරු හෙළි කරන්න කියලා.”
“එතුමාම පිළිගෙන තියෙනවානේ.”
“නැහැ, අපි ඇහුවේ පක්ෂය කඩන්න හදපු දෙදෙනා කවුද කියලා.”
“ඒ එක්කෙනෙක් ප්‍රසන්න රණතුංග. අනෙක් කෙනා නාමල් රාජපක්ෂ. එයලා තමයි මේ පක්ෂය කඩන්න කටයුකු කළේ. ඒකාබද්ධයේ මුළු මන්ත්‍රී කණ්ඩායමම එකතු වෙන්න කැමැති වෙලා තිබුණා. මේ දෙන්නා තමයි ඒක කඩාකප්පල් කළේ.”
ඔයා මොකද මේ පැත්තේ
හම්බන්තොට වරාය චීන - ශ්‍රී ලංකා හවුල් ව්‍යාපාරයක් ලෙස ආරම්භ කිරීම පසුගියදා පාර්ලිමේන්තු සංකීරණයේදී නිල වශයෙන් සිදුවිය.
ඒ වෙනුවෙන් ලැබුණු ඇමෙරිකානු ඩොලර් මිලියන 300ක මුදල ශ්‍රී ලංකා විදේශ සම්පත් සංචිතයේ විශේෂ ගිණුමක තැන්පත් කරන බවට අගමැති රනිල් පැවසුවේ පාර්ලිමේන්තුවේදී පැවැති නිල උත්සවයේදීය.
මෙම උත්සවයේදී චීන තානාපති ඇතුළු පිරිසට එක් පසෙකත්, අගමැති රනිල් ඇතුළු ශ්‍රී ලංකා පිරිසට තවත් පසෙකත් අසුන් පනවා තිබිණි. අගමැති රනිල්, වරාය ඇමති මහින්ද, මුදල් ඇමති මංගල පිළිවෙළින් අසුන්ගත් අතර, තවත් ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක්ද මංගල අසලින් අසුන් ගැනීමට පැමිණියේය.
එවිට මංගල එම ඇමතිවරයාට පැවසුවේ, “ඔයා මොකද මේ ලංකාවේ කට්ටිය එක්ක ඉඳගන්නේ. අර චීන සෙට් එකත් එක්කනේ ඉඳගන්න තියෙන්නේ” කියාය.
චීනය සමග එතරම් දැඩි සම්බන්ධතා පවත්වන බැවින් මංගල මෙම ඇමතිවරයාට එසේ කියා තිබ්ණි.
මංගලගේ භෝජනයට පැමිණි විශේෂ අමුත්තා
අයවැය තුන්වැනි වර කියැවීමේ ඡන්ද විමසීම පැවැත්වූයේ සෙනසුරාදායි. දින ගණනාවක් පැවති අයවැය විවාදය අවසන් වීමෙන් පසුව මුදල් අමාත්‍යවරයා විසින් සාම්ප්‍රදායිකව පවත්වන ලද රාත්‍රී භෝජන සංග්‍රහය ඉරිදා දින පැවැත්වුණේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීරගේ නිල නිවසේදීය. මැති ඇමතිවරුන් බොහෝදෙනෙක් මේ සඳහා සහභාගී වූහ. ඇමති වජිරද මෙදින රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා ඇමති මංගලගේ නිල නිවස වෙත ගිය අතර, රාත්‍රී 09 පමණ වන විට අගමැති රනිල් වික්රමසිංහද බිරිඳ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ සමග භෝජන සංග්‍රහයට සහභාගී වූහ.
ඇමති මංගල, වජිර, අගමැති රනිල්, මහාචාර්ය මෛත්‍රී ඇතුළු පිරිස එකම මේසයේ භෝජන ගන්නා අතරතුර එම ස්ථානයට ජනපති මෛත්රීද පැමිණියේය.
ඉන් සුළු මොහොතකට පසු තවත් විශේෂ අමුත්තෙක් එම ස්ථානයට පැමිණියේය. ඒ අන් කවුරුත් නොව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංගය. ඇයත් සමග ඇමති දයා ගමගේ සහ නියෝජ්‍ය ඇමති අනෝමා ගමගේද එම ස්ථානයට පැමිණියහ. පැයක පමණ කාලයකින් අනතුරුව ජනපති මෛත්‍රී එම ස්ථානයෙන් නික්මී ගියේය.
අතීත දේශපාලන හා ආගිය කතාවලින් රසගැන්වූ හමුවක් වූ එය මධ්‍යම රාත්‍රිය පසු වන විටත් පැවති අතර, මේ සඳහා හිටපු ජනපති චන්ද්‍රිකා, ඇමති වජිර, ඇමති මංගල මෙන්ම වත්මන් ආණ්ඩුව බලයට පත්කිරීමට මෙහෙයක් කළ කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සරත් විජේසූරියද එක්වීම විශේෂත්වයක් විය.
අපි එකතුවෙලා වැඩ කරන්න කැමතියි - අපිට වැඩපිළිවෙළක් හදලා දෙන්න
අඟහරුවාදා කලාකරුවන් පිරිසක් පැලවත්ත ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී ජවිපෙ නායක අනුර දිසානායක හමුවී සුහද සාකච්ඡාවක් කළේය. මෙම අවස්ථාවට අනුරුද්ධ ජයසිංහ, නදීක ගුරුගේ, දීපානි සිල්වා, නාමල් ජයසිංහ, සෙනේස් බණ්ඩාර, සුරංග ලක්මාල් ඇතුළු චිත්‍රපට අධ්යක්ෂවරු, ටෙලිනාට්‍ය අධ්යක්ෂවරු, රංගන ශිල්පීහු, සංගීත ක්ෂේත්රයේ කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ. මෙහිදී වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව අනුර දිසානායක විසින් දීර්ඝ පැහැදිලි කිරීමක් කළ අතර, මතු වී ඇති තත්ත්වයන් පිළිබඳව කලාකරුවන් සමග සුහද දේශපාලන කතාබහක් ඇති විය. පළාත් පාලන මැතිවරණයේදී අනෙකුත් දේශපාලන පක්ෂ මෙන්ම ජවිපෙ මුහුණ දෙන අභියෝග, ජයග්‍රහණ අවස්ථා සහ මැතිවරණයේ ජනතාවට ඇති වැදගත්කම පිළිබඳව මෙහිදී කලාකරුවෝ තමන්ගේ අදහස් දැක්වූහ.
“මේ මැතිවරණයේදී කලාකරුවන් ලෙස ජනතාවට අලුත් පණිවුඩයක් ගෙනියන්න ඕනෑ. ඒ නිසා ඔබතුමාලාට විශාල වගකීමක් පැවරිලා තියෙනවා. අපි ස්තුතිවන්ත වෙනවා, මේ වෙලාවේ අපි මුණගැහිලා කතාබහ කරන්න ආපු එක ගැන” අනුර දිසානායක කලාකරුවන්ට ස්තුති කරමින් කියා සිටියේය. “අපි හැමදෙනාම වාගේ විශ්වාස කරනවා ගමේ බලය දෙන්න ඕනෑ ජනතා විමුක්ති පෙරමුණට කියලා. මොකද ගමේ වැඩක් කරගන්න අවංක පිරිසක් ඉන්න ඕනෑ. මෙච්චර කාලයක් විවිධ අය ප්‍රාදේශීය සභා, නගර සභා පාලනය කළා. නමුත් ගමටවත් නගරෙටවත් වැඩක් වුණේ නැහැ. අඩුම තරමේ කුණු ප්‍රශ්නෙටවත් විසඳුමක් නැහැ” කලාකරුවෙක් අදහස් දක්වමින් කියා සිටියේය.
“අපි ඔබතුමාලත් එක්ක වැඩ කරන්න කැමතියි. අපිට වැඩපිළිවෙළක් හදලා දෙන්න. ගමට ගිහින් ගමේ ජනතාව දැනුවත් කරන්න අපි සූදානම් වෙලා ඉන්නේ. අද මෙතෙන්ට එන්න හිටපු ලොකු පිරිසක් අත්‍යවශ්‍ය වැඩ නිසා එන්න බැරි වුණා. නමුත් එළියේ ජවිපෙ එක්ක වැඩ කරන්න කැමති විශාල පිරිසක් ඉන්නවා. අපි ගමට ගිහින් වැඩ කරන්න සූදානම්” තවත් කලාකරුවෙක් කියා සිටියේය.
වැරදි සමීක්ෂණයද - වාර්තාකරණයද?
පසුගිය සතියේ දිනෙක සමීක්ෂණ වාර්තාවක් උපයෝගී කරගනිමින් ප්‍රවෘත්තියක් පළවී තිබුණ අතර, එහි ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව අසත්‍ය තොරතුරු වාර්තා කර තිබිණි. මේ සම්බන්ධයෙන් විවිධ පිරිස් ජවිපෙ නායකයන්ට දුරකථන ඇමතුම් ලබාදෙමින් විමසන්නට පටන් ගත්තේය. මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් විජිත හේරත් විසින් එම සමීක්ෂණ වාර්තා සොයාගෙන කරුණු අධ්‍යයනය කර බැලීය. එම සමීක්ෂණ සිදුකර තිබුණේ කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අජන්තා හපුආරච්චි සහ කොළඹ විශ්වවිද්‍යාලයේ අවසාන වසර, විශේෂ උපාධි අපේක්ෂකයෙකු විසිනි. මෙයට පදනම් කාල සීමාව වූයේ 2017 සැප්තැම්බර් - නොවැම්බර් කාල සීමාවයි.
මාධ්‍යවේදියෙක් ප්රචාරක ලේකම් විජිත හේරත්ගෙන් කරුණු විමසා සිටියේය. “මන්ත්‍රීතුමා අලුත් සමීක්ෂණයක් කරලා තියෙනවා, එකේ ප්‍රවෘත්තිය තියෙන්නේ, ජනතා විමුක්ති පෙරමුණ ජනතාවගෙන් ඈත් වෙන පක්ෂයක් කියලා. මොකද මේ ගැන කියන්න තියෙන්නේ”
“ඒක වැරදි වාර්තාකරණයක්. ඒ නිසාම මමත් සමීක්ෂණ වාර්තාව හොයාගෙන බැලුවා. ඒකෙ නිරීක්ෂණවල තියෙන්නේ 1989 සිදුවීම් සම්බන්ධයෙන් ජවිපෙට ජනතාවගේ විවේචනය පූර්ණ වශයෙන් ඉවත්වෙලා කියලා. ඒ වගේම ඒකෙ තියෙනවා විශ්වවිද්‍යාල ප්‍රජාවේ කැමැත්ත වැඩිවෙලා සහ සාමාන්‍ය වැඩකරන ජනතාව අතර වැඩි ජනප්‍රියත්වයක් ඇතිවෙලා කියලා. කනගාටුම කරුණ වෙන්නේ ඇත්ත දේවල් ප්‍රචාරය වෙන්නේ නැති එක” විජිත හේරත් පිළිතුරු දුන්නේය.
චීන විශේෂ නියෝජිතයෙක් ජවිපෙ නායකයන් හමුවෙයි
චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික සමුළුවේදී ගන්නා ලද තීරණ පිළිබඳව විදේශීය දේශපාලන පක්ෂ, රාජ්‍ය නියෝජිතයන් දැනුවත් කිරීම සඳහා චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ සහකාර අමාත්‍ය වැන්ග් යජුන් ඇතුළු දූත පිරිසක් මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්ව සිටී. බදාදා දින කොළඹ බණ්ඩාරනායක සමරු ශාලාවේදී චීන තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද එක් සම්මන්ත්‍රණයක් පවත්වන ලද අතර, ඒ සඳහා ජවිපෙ නියෝජිතයන්ටද ඇරයුම් ලැබී තිබිණි. එසේම මෙම චීන කොමියුනිස්ට් පක්ෂයේ සහකාර අමාත්‍ය වැන්ග් යජුන් ඇතුළු පිරිස විසින් පසුගිය දාහතර වැනිදා කොළඹ හිල්ටන් හෝටලයේදී පක්ෂ නායකයන් වෙනුවෙන් පවත්වන හමුවක් සඳහාද ජවිපෙට ආරාධනා කර තිබූ අතර, ජවිපෙ නායක අනුර දිසානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස ඊට එක්ව සිටියහ.
ආණ්ඩුව නියෝජනය කරන කාටවත් රෙද්දක් ඇඳගෙන ගම්වලට එන්න බැහැ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මිනුවන්ගොඩ ආසන බලමණ්ඩල රැස්වීම පසුගිය ඉරිදා පැවැත්වුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. ඉරිදා උදෑසන සිටම මිනුවන්ගොඩ ජනතාව ආසන බලමණ්ඩල රැස්වීමට පැමිණෙන්නට පටන් ගැනීම නිසා ප්‍රසන්න රණතුංගගේ නිවස පිහිටි උඩුගම්පොළ අවට ප්‍රදේශයේ දැඩි වාහන තදබදයක් තිබිණි.
රැස්වීමට පැමිණෙමින් සිටි නාමල් රාජපක්ෂද මෙම තදබදය නිසා මුහුණපෑවේ දැඩි අසීරුතාවකටය. රැස්වීමට කිලෝමීටරයකටත් එහා නාමල්ගේ වාහනය හොලවන්නටවත් නොහැකි ලෙස තදබදයට අසු වී නතර වී තිබිණි. සංවිධායකයන්ද බලාපොරොත්තු නොවූ තරම් සෙනඟක් වේලාසනම පැමිණි නිසා ප්‍රසන්න නාමල්ට ඇමතුමක් ගත්තේ කොහේද කියා සොයා බැලීමටය.
"නාමල් මල්ලි දැන් කොහෙද?” ප්‍රසන්න ඇසුවේය.
"අයියේ මං එන ගමන්. හැබැයි එන්න විදියක් නෑ ඔයාලා කරන වැඩ නිසා" නාමල් සිනාසෙමින් පැවසීය.
"ඉන්න මල්ලි මං ඉක්මනට එන්නම්" කී ප්‍රසන්න දුරකථනය විසන්ධි කර සොයා බැලුවේ යන්නට විදියක්ය. වාහනයක්වත් පාරට ගන්නට බැරි තැනට සෙනඟ පිරී සිටි බැවින් ප්‍රසන්න හිතවතෙකුගේ යතුරුපැදියක නැගී නාමල් සොයන්නට පිටත්ව ගියේය. වාහන සහ සෙනඟ අතරින් රිංගා ගිය ප්‍රසන්නට නාමල් උඩුගම්පොළට කැඳවාගෙන එන්නට මහත් වෙහෙසක් දරන්නට සිදු විය.
රැස්වීම යන අතරතුර ප්‍රසන්නට දුරකථන ඇමතුමක් ආවේ මහින්දගෙනි.
"ප්‍රසන්න කොහෙද ඉන්නේ?” මහින්ද ඇසුවේය.
"අද සර් අපේ ආසන බලමණ්ඩල රැස්වීමනේ. මම උඩුගම්පොළ ඉන්නේ" ප්‍රසන්න පැවසීය.
"මටත් ආරංචි වුණා. නාමල් කිව්වා ලොකු සෙනඟක් ඇවිත් ඉන්නවා, එයත් මඟ හිරවෙලා කියලා" මහින්ද කීවේය.
"ඔව් සර්. මම බයිසිකලේක ගිහින් තමයි නාමල් මල්ලිව එක්කන් ආවේ. අපි හිතුවටත් වඩා වැඩි සෙනඟක් අද ඇවිත් ඉන්නවා" ප්‍රසන්න පැවසීය.
"මාර සෙනඟක්නේ ඇවිත් හිටියේ" රණවීර පැවසීය.
"ප්‍රසන්නට නැති මිනිස්සු වෙන කාටද ඉන්නේ" ඉන්දික කීවේය.
"අද ගම්වල මිනිස්සු බලාගෙන ඉන්නේ ඡන්දෙ එනකම්. කාටත් වඩා වැඩි උනන්දුවක් තියෙන්නේ වෙනසක් බලාපොරොත්තු වෙච්ච අය" ඩුලිප් පැවසීය.
"අද ආණ්ඩුව නියෝජනය කරන කාටවත් රෙද්දක් ඇඳගෙන ගම්වලට එන්න බැහැ. ගොඩක් ඇමතිවරු කරන්නේ කොළඹට වෙලා ඉඳගෙන ගම්වල ඡන්දය කරන්න හදන එකයි. අපිත් එකතු වුණා නම් මිනිස්සුන්ගෙන් ඉලපත් පාර තමයි කන්න වෙන්නේ" ප්‍රසන්න පැවසීය.
"ඒක නම් ඇත්ත තමයි. මේ පාර ඡන්දය ජනාධිපතිවරණයකටත් වඩා තීරණාත්මකයි" නාමල් පැවසීය.
පොහොට්ටුවේ නාමයෝජනා හදද්දී හිත් අමනාපවීම්
පසුගිය සතිය පුරාම ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සියලු දෙනාම පාහේ පැටළී සිටියේ නාමයෝජනා සැකසීමේ කටයුතුවලය. පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන්නට තිබුණු අධික ඉල්ලීම නිසා නාමයෝජනා සැකසීම කිසිදු ආසන සංවිධායකවරයෙකුට පහසු කටයුත්තක් වූයේ නැත. බොහෝ තැන්වල හිත් රිදීම්, අමනාපකම් ඇති වනු දකින්නට ලැබුණි.
පොහොට්ටුව සමග සන්ධානගතව සිටින සෙසු පක්ෂද නාමයෝජනා සම්බන්ධයෙන් සෑහීමකට පත්ව සිටින බවක් දක්නට නොලැබිණි. මේ සම්බන්ධයෙන් ප්‍රධාන පෙළේ සාකච්ඡා දෙකක් පසුගිය සතියේ පැවැත්වුණේ ජී.එල්. පීරිස්ගේ සහ ප්‍රසන්න රණතුංගගේ කොළඹ නිවාසවලය.
උදෑසන සිට රාත්‍රිය වනතුරුත්, එතැනින් නැවතී මධ්‍යම රාත්රියද පසුවන තෙක් පිරිස සාකච්ඡා කරමින් නාමයෝජනා ගැටලු විසඳගන්නට දැඩි පරිශ්‍රමයක් දැරූහ. ඒ අනුව සතිය අවසාන වනවිට බොහෝ ගැටලු නිරාකරණය කරගනිමින් නාමයෝජනා සැකසීමට පොදුජන පෙරමුණේ නායකයන් සහ ආසන සංවිධායකයන් කටයුතු කර තිබිණි.
මේ අතර කෑගල්ල ප්‍රදේශයේ මෙවැනි ගැටලු සහගත තත්ත්වයක් නිරාකරණය කිරීම සඳහා පත් කර තිබුණේ මහින්ද යාපා අබේවර්ධනය. සෑහෙන වේලාවක් ගත කරමින් මෙම ගැටලුව විසඳන්නට මහින්ද යාපා උත්සාහ කළද එය හරිගියේ නැත. අවසානයේ දී දපාර්ශ්වයම කැටුව බැසිල් හමුවට ආ මහින්ද යාපා කීවේ "මේක නම් මට විසඳන්න බැහැ" කියාය.
"ඕකට හරියන කෙනෙක් ඉන්නවා. මමත් මේ වගේ ප්ර්ශ්න විසඳගන්න ඉගෙනගත්තේ එයාගෙන් තමයි" කී බැසිල් අසල සිටියෙකුට කිවේ ප්‍රසන්න රණතුංග ගෙන්වා ගන්නා ලෙසය. බැසිල්ගේ ඉල්ලීම අනුව ප්‍රසන්න එතැනට පැමිණියේය.
"ආ මේ ඉන්නේ ඕකට සුදුසුම කෙනා. මෙයාගෙන් තමයි මමත් ඉගෙනගත්තේ" කියමින් බැසිල් කෑගල්ලේ ප්රශ්නය විසඳීම ප්‍රසන්නට පැවරුවේය. ඒ අනුව දෙපාර්ශ්වය සමග සාකච්ඡා කළ ප්‍රසන්න වැඩි වේලාවක් යන්නට පෙර එම ප්රශ්නය විසඳුවේය.
එහෙත් ප්‍රසන්නට ගැලවීමක් ලැබුණේ නැත. බැසිල් රේණුක පෙරේරාට කතා කර උපදෙස් දුන්නේ මින් ඉදිරියට නාමයෝජනා සම්බන්ධයෙන් එන ගැටලු කෙළින්ම ප්‍රසන්න වෙත යොමුකරන ලෙසය. එසේම නෙළුම් මාවත කාර්යාලයේ ප්‍රසන්නට වෙනම කාමරයක් සූදානම් කර එම ගැටලු විසඳන්නට අවස්ථාව සලසාදෙන ලෙසද බැසිල් උපදෙස් දුන්නේය. ඒ අනුව ප්‍රසන්නට පසුගිය සතිය පුරා සිදු වූයේ නෙළුම් මාවතට වී නාමයෝජනා ගැටලු විසඳන්නටය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙදුණු දෙපාර්ශ්වය එකතු කිරීමේ සාකච්ඡා පසුගිය සතිය වනවිට නවතා දමන්නට සිදුවූයේ ආණ්ඩුවෙන් ඉවත් වන ලෙසට ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කළ කොන්දේසිය පිළිගන්නට නිදහස් පක්ෂයේ ඇමතිවරුන් අකමැති වීම නිසාය. ඒ අනුව පසුගිය සතිය වනවිට නිදහස් පක්ෂයේ සමගි කතාබහ බිඳ වැටුණේය.
නිදහස් පක්ෂයේ ඇමතිවරුන් ඒ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයට චෝදනා කළේ ඔවුන් මස් රාත්තලම ඉල්ලන බව කියමිනි. පක්ෂ සමගියට බාධා කරන ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සිටින බවද ඇතැම් ඇමතිවරු ප්‍රසිද්ධියේම කියන්නට ගත්තේ සාකච්ඡා සම්පූර්ණයෙන්ම බිඳ වැටීමෙන් පසුවය.
ඕවට කට වහන් ඉන්න එපා. හොඳ උත්තරයක් දෙන්න
මේ අතර පසුගිය බදාදා ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් දයාසිරි ජයසේකර ඇමැතිවරයා කියා තිබුණේ ඒකාබද්ධ විපක්ෂයේ සිටින ඔළමොට්ටළයන් දෙදෙනෙකු පක්ෂ සමගියට බාධා කරන බවයි. ඒ දෙදෙනා නම් නාමල් රාජපක්ෂ සහ ප්‍රසන්න රණතුංග බවත් දයාසිරි කියා තිබුණේය. මේ ගැන කන වැකුණු වහාම මහින්ද දුරකථනයෙන් ප්‍රසන්න ඇමතුවේය.
"මොකක්ද ප්‍රසන්න අර දයාසිරි කියලා තියෙන්නේ? මහින්ද ඇසුවේය.
"ඒකනේ සර් මමත් දැක්කා. මාව විතරක් නෙමේ නාමල් මල්ලිවත් පටළගෙනනේ" ප්‍රසන්න උත්තර දුන්නේය.
"ඕවට කට වහන් ඉන්න එපා. හොඳ උත්තරයක් දෙන්න" මහින්ද කීවේය.
"අපි හෙට නාමයෝජනා දෙන්න යනවානේ. එතැනදි දයාසිරිට රෙදි ගැලවෙන්න උත්තරයක් දෙන්න තමයි මමත් ඉන්නේ" ප්‍රසන්න පැවසීය.
"ඒක හොඳයි නැත්නම් එයාලා ඔය වගේ කතා තව කියන්න ගනියි" කී මහින්ද දුරකථනය විසන්ධි කළේය.
අපට ඉහළින් ඕඩර් ඇවිත් තියෙන්නේ එහෙම තමයි සර් බ්‍රහස්පතින්දා ප්‍රසන්න ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත ආවේ පොදුජන පෙරමුණේ නාමයෝජනා බාර දීමටය. ප්‍රසන්න රණවීර, ඉන්දික අනුරුද්ධ, ඩුලිප් විජේසේකරද ප්‍රසන්න සමග එහි ආහ. දිස්ත්‍රික් ලේකම් කාර්යාල ගේට්ටුව අසල දී ප්‍රසන්නගේ රිය නතර කළ මැතිවරණ කොමිසමේ නිලධාරීන් කීවේ වාහන ඇතුළට ගන්නට ඉඩ දිය නොහැකි බවයි.
නිලධාරීන්ගේ ඉල්ලීමට කන්දුන් ප්‍රසන්න ඇතුළු පිරිස රියෙන් බැස පාගමනින් ඇතුළට යන්නට උත්සාහ කළද එය වැළක්වීමට නිලධාරීන් කටයුතු කරනු දකින්නට ලැබිණි. ඒ අතරම ප්‍රසන්න දුටුවේ ජිප් රියක නැගුණු ජෝසප් මයිකල් පෙරේරා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත යන අයුරුය. එය දුටු ප්‍රසන්නට අසූ හාරදහසටම කේන්ති ගියේය.
"ඔයාලා මට වාහනෙන් තියා පයින්වත් යන්න දෙන්නේ නැහැ. අර මන්ත්‍රී කෙනෙකුත් නොවන ජෝසප් මයිකල් වාහනේම නැගලා ඇතුළට යනවා. අපට දැනගන්න ලැබුණා චන්ද්‍රිකාත් වාහනෙන්ම ඇතුළට ගියා කියලා. මේ මොකද මට විතරක් වෙනස්කමක්? මමත් මහජන නියෝජිතයෙක්. මටත් ඇතුළට යන්න අවස්ථාව දෙන්න ඕනේ" කියමින් ප්‍රසන්න නිලධාරීන්ගේ ඇඟට කඩා පැන්නේය.
"අපට ඉහළින් ඕඩර් ඇවිත් තියෙන්නේ එහෙම තමයි සර්" නිලධාරීහු කීහ.
"එහෙම කොහොමද එයාලට එක විදියකටත් මට තව විදියකටත් සලකන්නේ? කවුද එයාලට යන්න අවසර දුන්නේ?” ප්‍රසන්න විමසුවේය.
"එතුමන්ලට වී.අයි.පී. පාස් එකක් නිකුත් කරලා තියෙනවා" නිලධාරීහු පැවසූහ.
"කවුද එයාලට විතරක් එහෙම පාස් එකක් දුන්නේ? ප්‍රසන්න ඇසුවේය.
"මැතිවරණ කොමිසමෙන්" නිලධාරීන් උත්තර දුන්හ. "ඒකත් එහෙමද? මම සභාපතිතුමාගෙන්ම අහගන්නම්කෝ" කී ප්‍රසන්න වහාම මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියට දුරකථන ඇමතුමක් ගත්තේය.
"සභාපතිතුමාලා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට ඇතුළු වෙන්න වී.අයි.පී. පාස් එකක් ඉෂූ කරලා තියෙනවද?” ප්‍රසන්න ඇසුවේය.
"නෑ එහෙම එකක් නෑ මල්ලි. ඇයි එහෙම ඇහුවේ? සභාපතිවරයා විමසුවේය.
"මම නාමයෝජනා බාර දෙන්න ආවම ඔබතුමාලගේ නිලධාරීන් මට පයින්වත් ඇතුළට යන්න දුන්නේ නැහැ. හැබැයි සමහරු වාහනවලින්ම ඇතුළට යනවා. මොකක්ද සභාපතිතුමා මේ අසාධාරණය?” ප්‍රසන්න ඇසුවේ ආවේගයෙනි.
"එහෙම වෙන්න බෑ. මම මේ ගැන හොයලා බලන්නම්" සභාපතිවරයා ප්‍රසන්නට පොරොන්දු විය.
නාමයෝජනා බාරදීමෙන් අනතුරුව ප්‍රසන්නට මිනුවන්ගොඩ එක්සත් ජාතික පක්ෂ සංවිධායක එඩ්වඩ් ගුණසේකර මුණගැසුණේය.
"නිදහස් පක්ෂයේ ලයිස්තු ඔක්කොගෙම ඉන්නේ අපේ පාක්ෂිකයොනේ මන්ත්‍රීතුමා" එඩ්වඩ් පැවසීය.
"එයාලට ඉතින් නාමයෝජනාවලට නම දාගන්නවත් කෙනෙක් නැති වුණාම දාන්න වෙන්නේ යූ.ඇන්.පියේ කට්ටිය තමයි. ඕවට තමයි ඩීල් කියන්නේ" ප්‍රසන්න පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

