කිලෝ 100ක් වුණත් උස්සන්න හයිය මට දෙයියො දීල තියෙනවා
එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ජාතික ආණ්ඩුව නිර්මාණය කළේ වසර දෙකක් සඳහා වුවද පසුව එය වසර පහ දක්වාම පවත්වාගෙන යාමට දෙපාර්ශ්වයේම එකඟතාවකට පැමිණියහ.
නමුත් පසුව මේ සම්බන්ධයෙන් දෙපාර්ශ්වයෙන්ම පරස්පර කතාබහ ඇසෙන්නට විය.කෙසේ හෝ දෙපාර්ශ්වයේ ගැටලු විසඳා ගනිමින් ආණ්ඩුව වසර පහම පවත්වාගෙන යාමට ජාතික ආණ්ඩුවේ නායකයෝ අතර විවිධ සාකච්ඡාවන් කිහිප අවස්ථාවකදීම සිදුවිය.
මධ්‍යම රජය තුළ පමණක් නොව පළාත් සභා, නගර සභා, පළාත් පාලන ආයතන සඳහාද ජාතික ආණ්ඩු සංකල්පය හඳුන්වාදිය යුතු බවට අදහසක්ද ඉදිරිපත් වූයේ මේ අතරය.
අපිට වඩා එයාලගේ අවුල්
කෙසේ හෝ පසුගිය දිනක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් කිහිපදෙනෙක් සහ දේශපාලන හිතවතුන් කිහිපදෙනෙක් මීගමුව ප්‍රදේශයේදී රාත්‍රියේ මුණගැසුණ අතර, ඔවුහු ආණ්ඩුවේ වැඩපිළිවෙළ ගැන කතාබහ කරන්නට පටන් ගත්හ.
''ඇමතිතුමා මොකද ආණ්ඩුවේ තත්ත්වෙ... අවුරුදු පහම මේ විදිහට යයිද?''
''ඒක අපිටත් ප්‍රශ්නයක්. යූඇන්පී එක හරියට හිටිය නම් අපිටත් ප්‍රශ්නයක් නැහැ. දැන් බලන්න යූඇන්පී එක ආණ්ඩුව ගත්තට එයාලගේ පක්ෂෙ වැඩ ටිකවත් හරියට වෙන්නෙ නෑනේ. නිදහස් පක්ෂෙ ප්‍රශ්නයක් තියෙනවා කියල අපි දන්නවනේ. ඊට වඩා යූඇන්පී එක ඇතුළෙ අවුල්... ඒකයි අපිට තියෙන බය''
''ඒ කියන්නේ ඇමතිතුමා පක්ෂ දෙක වෙන් වෙයිද?''
''මේකයි.. දැන් බලන්නකෝ නිදහස් පක්ෂෙ ඇමතිවරු ඉන්න අමාත්‍යාංශ එකකවත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒකට බලන්නකෝ යූඇන්පී එකේ අමාත්‍යාංශ ඔක්කොම අවුල්නේ... ඇමතිවරු ඇමතිවරු රණ්ඩු වෙනවා. අමාත්‍යාංශ විෂයන් බෙදාගන්න රණ්ඩු වෙනවා. පක්ෂ ඇතුළෙත් අර්බුද... ආණ්ඩුවෙත් එක එක ප්‍රශ්නනේ. යූඇන්පී එක හරියට හිටිය නම් අපිට බය නැහැ.
කොහොම උනත් මේ ආණ්ඩුව ඉදිරියට යනවා නම් මේ තියෙන ප්‍රශ්න ටික සැප්තැම්බර් වලට කලින් විසඳ ගන්න වෙයි. නැත්නම් ආණ්ඩුවේ ඉන්න එක තේරුමක් නැහැ''
''ඇමතිතුමා එතකොට මහින්ද මහත්තයා ශක්තිමත් වෙයි නේද?''
''මහින්ද මහත්තයට තාම රැල්ලක් තියෙනවා කියල අපි කවුරුත් පිළිගන්න වෙනවා... ඇත්ත ඒකනේ. හැබැයි ඡන්දයක් දිනන්න තරම් මහින්දට ජන බලයක් නැහැ''
''ඔයාල හිතන්නේ ඒකාබද්ධ විපක්ෂෙ ප්‍රශ්න නෑ කියලද. එතනත් එහෙම තමයි. ඔය කට්ටිය එකට ඉන්නේ කෑගහන්න බැරි හින්දා. එතන ඉන්න ඔක්කොම මහින්ද ජනාධිපතිතුමා එක්ක නැහැ''
ජනාධිපතිගේ නියෝජිතයා මම
රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් දින 19කට පසුව රාජ්‍ය ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන පසුගිය සඳුදා සිය ධුරයේ වැඩ භාර ගත්තේය.
ඔහු වැඩ භාර ගන්නා අවස්ථාවට එම අමාත්‍යාංශයේ කැබිනට් අමාත්‍ය කබීර් හෂීම්ද එක්ව සිටි අතර, අමාත්‍යාංශයේ ඉඩපහසුකම් මදි වීම හේතුවෙන් වැඩ භාරගැනීමට ප්‍රමාද වුවද රාජ්‍ය අමාත්‍යවරයාට සුබ පතන බවද ඔහු එහිදී කීවේය.
වැඩ භාර ගැනීමේ අවස්ථාවෙන් පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එම ස්ථානයට පැමිණ ලක්ෂ්මන් යාපාට සුබපැතුම් එක්කළ අතර, ජනාධිපතිවරයා එම ස්ථානයෙන් පිටව ගිය පසු ලක්ෂ්මන් යාපා මාධ්‍යයට අදහස් දක්වන්නට විය. තමා වැඩ භාරගන්නා අවස්ථාවට ජනාධිපතිවරයා පැමිණීම සම්බන්ධයෙන් ලක්ෂ්මන් අමාත්‍යවරයා පැවසුවේ මෙවැන්නකි.
''ජනාධිපතිතුමාගේ නියෝජිතයා හැටියට මම මෙතැනට පත් කළ අමාත්‍යවරයා කියන එක ජනාධිපතිගේ පැමිණීමෙන්ම පැහැදිලි වෙන්න ඇති. ශ්‍රී ලංකන් ගුවන් සේවය ගැන අපි ප්‍රතිපත්තිමය තීන්දු ගත යුතුයි. එහෙම නැතිවුණොත් සැප්තැම්බර්වලින් පස්සෙ ශ්‍රී ලංකන් එක දුවන්න අමාරුයි''
ලක්ෂ්මන් අමාත්‍යවරයාගේ මේ කතාවෙන් පසුව ජනාධිපතිගේ නියෝජිතයා යන්න අවස්ථා කිහිපයකදීම කරළියට පැමිණි අතර, ජනාධිපතිගේ නියෝජිතයා ලෙස අමාත්‍යාංශයට පත්කරන්නේ කැබිනට් අමාත්‍යවරයාද, නියෝජ්‍ය අමාත්‍යවරයාද, රාජ්‍ය අමාත්‍යවරයාද යනුවෙන් බොහෝදෙනා ප්‍රශ්න කරන්නට විය.
රාජ්‍ය ඇමති පාලිත රංගේ බණ්ඩාර සිරිකොතදී පැවැති මාධ්‍ය හමුවේදී එයට පිළිතුරු දුන්නේ මෙසේය.
එතකොට කැබිනට් ඇමති මොකටද?
''ජනාධිපතිතුමාගේ නියෝජිතයා විදිහට තමයි ජනාධිපතිතුමා කැබිනට් ඇමතිවරයා විදිහට කබීර් හෂීම් ඇමතිවරයා පත් කළේ. එතුමාව කලින්ම පත් කළේ ඒ නිසා. රාජ්‍ය අමාත්‍යවරයා විදිහටයි ලක්ෂ්මන් යාපා ඇමතිවරයාව පත් කළේ. එතකොට කලින් කබීර් හෂීම් අමාත්‍යවරයා එක්ක වැඩ කළේ නියෝජ්‍ය අමාත්‍යවරයෙක්.
අද වෙලා තියෙන්නේ රාජ්‍ය අමාත්‍යවරයෙක් පත්කරලා. ඒ නිසා සේවක පිරිස වැඩි වෙනවා. ඒ නිසා තමයි රාජ්‍ය අමාත්‍යවරයාට අමතර පහසුකම් ලබාදෙන්න කටයුතු කරලා තිබුණේ. සෞඛ්‍ය ඇමතිවරයා විදිහට රාජිත ඇමතිතුමා පත්කරපු වෙලාවෙත් ජනාධිපතිතුමා ආවා සුබපතන්න. ඉඩකඩ තියෙන වෙලාවට එතුමා සුබපතල එන්න යනවා ඇති.
නැත්නම් හැමතැනම යන්න වෙනවනේ. සුබ පතන්න යන එක ජනාධිපතිතුමාගේ නියෝජිතයා කියල භාරගන්නවා නම් අනේ මන්දන්නේ නැහැ ඇයි එහෙමනම් කැබිනට් ඇමතිවරයෙක් පත්කරලා තියෙන්නේ. පහත් රුචිකත්වයට මේ වගේ දේවල් කියනවද මන්දා.
කිලෝ 30ක් නෙවෙයි කිලෝ 100ක් වුණත් උස්සන්න හයිය මට දෙයියො දීල තියෙනවා
ගංවතුරෙන් විපතට පත් වළස්මුල්ල ප්‍රාදේශයේ පවුල් 435කට අමාත්‍යාංශයෙන් සහ පෞද්ගලික දානපතීන්ගෙන් එක්රැස් කළ වියළි ආහාර තොගයක් බෙදාදීමට ඇමති සජිත් ප්‍රේමදාස වළස්මුල්ල ප්‍රදේශීය ලේකම් කාර්යාලය ගිය අතර, එහිදී තමන් අතින් 10දෙනෙකුට පමණක් අධාර බෙදාදීමට සූදානම්කර තිබෙනු ඇති බව දැන ඔහු පුදුම විය.
''කවුද මගේ අතින් දහ දෙනෙකුට විතරක් බෙදන්න මේක ලෑස්ති කළේ?''
සජිත් එක්වරම එතැන සිටි නිලධාරීන්ගෙන් විමසන්නට වූ විට, එම නිලධාරීන්ද විමතියට පත්වූයේ ඇමතිවරයා මේ අහන්නේ කුමක්දැයි කියා හරිහැටි නොදැන සිටි බැවිනි. එවිට එක් නිලධාරියෙක් සජිත්ට පැවසුවේ
''අපි හිතුවෙ සර්ට හාල් කිලෝ 30ත් එක්ක මේක බර වැඩි වෙයි කියලා''
ඔහු එසේ පවසන විට ඇමති සජිත් තරමක් අමනාපයෙන් මෙන් පැවසුවේ
''හොඳට මතක තියාගන්න.. මෙතන ඉන්නේ 411 දෙනයි. ඒ 411 ටම දෙන්නේ මගේ අතින්... ඒක තමයි මගේ තාත්තා අනුගමනය කළ විදිහ. ඒ විදිහටයි මාත් කරන්නේ... කිලෝ 30ක් නෙවෙයි කිලෝ 100ක් වුණත් උස්සන්න හයිය මට දෙයියො දීල තියෙනවා''
කෝපයෙන් එසේ කියූ සජිත් පසුව පැමිණ සිටි 411ටම සහල් කිලෝ දහයේ ඇසුරුම් තුනකින් සහ අනෙකුත් ආහාර ද්‍රව්‍යවලින් සමන්විත ආධාර තොග භාරදීමට කටයුතු කළේය.
අදහස සම්පූර්ණයෙන්ම වෙනස් කරලා
ඇමති පාඨලී චම්පික රණවක බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි සඟවාගෙන සිටින බවට ප්‍රචාරයක් දියත් වෙමින් තිබියදී පසුගිය සතියේ සිකුරාදා බොදුබල සේනා සංවිධානය විසින් මාධ්‍ය හමුවක් පැවැත්වීය.
මෙම මාධ්‍ය හමුවේදී බොදුබල සේනා සංවිධානයේ විධායක අධ්යක්ෂ ඩිලන්ත විතානගේ මහතා පැවසූ ප්‍රකාශයකින් කියවුණේ ඥානසාර හිමි ප්‍රචණ්ඩකාරී කටයුතුවලට යොමු කළේ ඇමති පාඨලී බවයි.
දැනට ජාතික හෙළ උරුමයේ සම සභාපති ධුරය දරන හැඩිගල්ලේ විමලසාර හිමි එකල බොදුබල සේනා සංවිධානයේ කටයුතුවලට සම්බන්ධ වෙමින් විවිධ කටයුතුවලට යොමු කළ බවද විතානගේ මහතා කීවේය.
මෙම ප්‍රකාශය විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමෙන් පසුව පාඨලී ඇමතිවරයාට වටින්පිටින් ඇමතුම් ගලා ආවේය. මේ සඳහා කුමක් හෝ කරන ලෙසත්, ඒ සඳහා පමා වීමෙන් පාඨලීගේ කීර්ති නාමයට හානි විය හැකි බවත් එම ඇමතුම්වලින් කියවුණි.
මේ සම්බන්ධව පක්ෂය සමග සාකච්ඡා කිරීමට පාඨලී රණවක තීරණය කළ අතර, ඒ අනුව ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ලේකම් අනුරුද්ධ ප්‍රදීප් හමු වී මේ ගැන සාකච්ඡා කළේය.
“සිකුරාදා ඩිලන්ත විතානගේ මාධ්‍ය හමුවක් තියලා අපිට චෝදනා කරපු බව මට කීපදෙනෙක්ම කිව්වා. ඒකෙ වීඩීයෝපටය ගෙන්නලා බැලුවාම පේන්න තියෙන්නේ පොඩි වෙලාවක් තමයි අපි ගැන ඒකෙ කියන්නේ.
පේන්න තියෙන විදියට මේ පුවත්පත් සාකච්ඡාව පවත්වලා තිබුණේ අපි ගැන කියන්න නෙවෙයි... ඒක හොඳට බැලුවාම පේනවා.. ඥානසාර හාමුදුරුවො හැංඟිලා නැහැ, සුදුසු වෙලාවට ඉදිරිපත් කරනවා වගේ පණිවුඩයක් කියන්නේ... රාජපක්ෂට හිතවත් මාධ්‍ය වාර්තා කළේ එම මාධ්‍ය හමුවේ අදහස සම්පූර්ණයෙන්ම වෙනස් කරලා... කවුරුවත් හංගගෙන නෑ කියන එක එම පුවත්පත් සාකච්ඡාවෙන් කියවුණා. ඒක වහලා තිස්ස විතාරණ මහත්තයලා කියන එක මතුවෙන විදියට වාර්තා කර තිබෙනවා'' යනුවෙන් පාඨලී රණවක මෙහිදී කීවේය.
මෙහිදී අනුරුද්ධ ප්‍රදීප් කීවේ ''මුළු සමාජයම දැනන් හිටියා එක්තරා යුගයකදී ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ ඥානසාර හිමියන් ආරක්ෂා කරගෙන හිටිය බව. ඥානසාර හාමුදුරුවෝ 2004න් පස්සෙ අපිත් එක්ක හිටියෙ නැහැ.. 2004න් පස්සෙ අපි ගත්තු තීරණවලට පටහැනිව තමයි ඥානසාර හාමුදුරුවෝ තීරණ අරන් තියෙන්නේ. රාජපක්ෂවරු උන්වහන්සේ අපිට විරුද්ධව පාව්ච්චි කරන්න ගත්තා.
මහින්ද රාජපක්ෂ එක පැත්තකින් තිස්ස විතාරණ දාලා මාධ්‍ය හමුවක් තියල කියන්න ගත්තා අපි තමයි මේක කළේ කියලා. අනිත් පැත්තෙන් උදය ගම්මන්පිල දාලා කියවන්න ගත්තා ඥානසාර හාමුදුරුවන්ට විරුද්ධව අපි වැඩකරන බව. මේ හින්දා අපි ප්රවෘත්ති සාකච්ඡාවක් තියලා රටේ ජනතාවට ඇත්ත තත්ත්වය වටහා දෙන්න ඕන'' බවයි.
පසුව මාධ්‍ය සාකච්ඡාවක් සූදානම් කරන්නැයි පාඨලී විසින් අනුරුද්ධ ප්‍රදීප්ට වගකීම පැවරුවේය.
අපි අසාර්ථක වුණා
පොලිස් කණ්ඩායම් හතරක් යොදවා සති තුනක කාලයක් පුරාවට අත්අඩංගුවට ගත නොහැකිවූ ගලගොඩඅත්තේ ඥානසාර හිමි උසාවියට ඉදිරිපත් වූ අතර, වරෙන්තු නිකුත්කර තිබූ උන්වහන්සේට අධිකරණ දෙකෙන් නඩු තුනකටම එක් දිනයකදීම ඇප ලැබුණි. ඇතැමුන් මේ සම්බන්ධයෙන් විශ්මයද පළ කළහ.
කෙසේවෙතත් ඥානසාර හිමි අල්ලාගැනීමේ පොලිස් මෙහෙයුම අසාර්ථක වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි පැවසීය.
''අපි පුළුවන්තරම් උත්සාහ කළා... නමුත් අපට බැරිවුණා උන්වහන්සේ අත්අඩංගුවට ගන්න''
(මාධ්‍යවේදීන්) - ඒ කියන්නේ පොලීසිය අසාර්ථක වුණා?
(පොලිස් මාධ්‍ය ප්‍රකාශක) - පොලීසිය සමහර අවස්ථාවලදී සාර්ථක වෙනවා. සමහර අවස්ථාවලදී අසාර්ථක වෙනවා.
(මාධ්‍යවේදීන්) - ඥානසාර හිමියන් උසාවියට ගෙන එන අවස්ථාවේදීවත් අත්අඩංගුවට ගත්තෙ නැත්තේ ඇයි?
(පොලිස් මාධ්‍ය ප්‍රකාශක) - එහෙම කළා නම් ඒක උසාවියට අපහාසයක්.
(මාධ්‍යවේදීන්) - නමුත් මීට පෙර එවැනි දේ සිදුවෙලා තිබෙනවා
(පොලිස් මාධ්‍ය ප්‍රකාශක) - ඒක මෙතැනදී ගැළපෙන්නේ නැහැ
(මාධ්‍යවේදීන්) - උසාවියට ඉදිරිපත් වෙනතුරුම උන්වහන්සේ අත්අඩංගුවට ගන්න බැරිවුණේ ඥානසාර හිමියන් සහ පොලීසිය අතර අවබෝධයක් තිබුණු නිසාද?
(පොලිස් මාධ්‍ය ප්‍රකාශක) - නැහැ, එහෙම කිසිම අවබෝධයක් තිබුණෙ නැහැ.
ශීලාචාර අයට දැන් වැඩේ භාරයි
තමාට තිබූ නඩු තුනෙන්ම ඇප ලැබූ ඥාණසාර හිමි උසාවියෙන් පිටතට පැමිණ පැවසුවේ මෙවැන්නකි.
''අපි මේ රටේ සිංහල ජාතියට වෙන ප්‍රශ්නයක් ගැන පෙන්නුවා. එතකොට කට්ටිය අපිට කිව්වේ අපි අශ්ශීලයි, සංවර නැහැ කියලා. ඔන්න අපි දැන් ප්‍රශ්නෙ පෙන්නලා තියෙනවා. එහෙමනම් දැන් ඔය ශීලාචාර සංවර අයට භාරයි මේ ප්‍රශ්නයට විසඳුමක් සොයාගන්න''
ඒකාබද්ධයේ පෝස්ටර්වල බර
ඒකාබද්ධ විපක්ෂයේ මීළඟ දිස්ත්‍රික් රැස්වීම ජූලි 03 වැනිදා පැවැත්වෙන බැවින් ඔවුන්ගේ විශේෂ අවධානයක් ඒ කෙරෙහි යොමු වී තිබේ. එහි ප්‍රචාරණ කටයුතු මේ දිනවල සිදුකරගෙන යයි. රැස්වීමට ඒකාබද්ධ විපක්ෂයට හිතවත් කොළඹ පිහිටි මුද්‍රණ කිහිපයකට පෝස්ටර් හා බැනර් මුද්‍රණය කිරීමට බාර දී තිබුණි.
එම රැස්වීමේ මූලිකත්වය ගෙන කටයුතු කරන දිගාමඩුලු දිස්ත්‍රික් පාර්ලිම්න්තු මන්ත්‍රී විමලවීර දිසානායක පසුගිය බදාදා කොළඹ සිට අම්පාරට මෙම පෝස්ටර් හා බැනර්වලින් කොටසක් ගෙන ගියේය.
කොළඹ පිහිටි මුද්රාණාල වලින් පෝස්ටර් හා බැනර් තොගය ලබාගත් විමලවීර සිය වාහනයෙන්ම ඒවා ගෙන ගිය අතර, එදින පාර්ලිමේන්තු දවසක් වුවද සභාවට සහභාගී නොවූ විමලවීර මෙම කාර්යය සඳහා වැඩි අවධානයක් යොමුකර තිබුණි. පෝස්ටර් තොගය වාහනයට පටවා බලද්දී වාහනයේ බර වැඩි වන බව දැනුණද එය ගණනකට නොගත් හෙතෙම රියදුරාට කීවේ 'අමාරුවෙන් හරි යමු පුතා' කියාය.
පොල්ගහවෙල සහ පොතුහැර අතර ස්ථානයකදී වාහනයේ ටයරයක් පුපුරා හුළං ගියේ මේ බර වැඩිකමටමය. මෙම අකරතැබ්බයට මුහුණ දුන් විමලවීර අවට ගරාජයක් තිබේදැයි සොයා බැලීය. කිහිපදෙනෙකු ඒ සඳහා උදව් කළ අතර, ටයරය මාරුකොට නැවත ගමන් අරඹන විට ගමන තරමක් පමා වී තිබුණි.
සුදු නෝනට සළු පැලඳීම
පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණි සුදු කතකට එහි ඇතුළු වීමට පසුගියදා පාර්ලිමේන්තු පොලීසිය ඉඩ නොදී තිබුණේ ඇයගේ උඩුකය අඩ නිරුවත් වීම නිසාය. කෙසේවුවද ඊට නොබෝ වේලාවකට පසුව ඇගේ උඩුකය වසා ගැනීමට පාර්ලිමේන්තු සේවකයන් විසින් සළුවක් ලබා දී තිබූ අතර, එය දවටාගෙන ඇය පාර්ලිමේන්තු කටයුතු නැරඹීමට පැමිණ තිබිණි.
බඹර කැඩීම
පාර්ලිමේන්තු පරිශ්‍රයේ ගස් කිහිපයක තිබූ බඹර වද කැඩීමට පසුගියදා සිදුවිය. සේවකයන් පැවසුවේ එහි යන එන පුද්ගලයන්ගේ ආරක්ෂාව පිණිස මෙම බඹර වද කැඩීමට තීරණය වූ බවයි.
''ගස්වල බඹරු නම් වද කඩලා හරි එළවන්න පුළුවන්... ඇතුළෙ දෙඹරු?'' සේවකයෝ එහෙමයි 'රාළ' ට කිවුවේ.
මහින්දගෙන් පාකිස්ථානයේදී බටහිර මාධ්‍යයකට පාඩමක්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ දිනවල පාකිස්ථානයේ සංචාරයකට ගොස් සිටියි. හිටපු ජනාධිපතිවරයා සමග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම මෙන්ම හිටපු අමාතඨ ජී.එල් පීරිස්ද මෙම සංචාරයට එක්ව සිටිති.
මෙම සංචාරයට සමගාමීව පාකිස්ථානයේ ආරක්ෂක අධ්‍යාපන සහ පර්යේෂණ (RSS) ආයතනය විසින් 'සාමය සඳහා වූ ශ්‍රී ලාංකික අරගලය සහ එහි පාඩම්' මැයෙන් සමුළුවක් සංවිධානය කර තිබුණි. ඉස්ලමාබාත් සෙරේනා හෝටලයේ පැවති මෙම සමුළුවේ ප්‍රධාන ආරාධිතයා සහ ප්රමුඛ දේශකයා වශයෙන් මහින්ද රාජපක්ෂ බදාද සවස එයට සහභාගී විය.
අතුරු සිදුරු නැතිව පිරී ඉතිරී ගොස් තිබූ ශාලාවේ, පසුගිය වසර තිහක කාලයේ ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහකොමසාරිස්වරුන් ලෙස සේවය කළ සියලුම තානාපති නිලධාරීන්ද, විදේශ අමාත්‍යාංශ ලේකම්වරුන්, ඉහළ හමුදා නිලධාරීන්, විශ්වවිද්‍යාල කථිකාචාරීන් සහ මාධ්‍ය ප්‍රධානීන්ද සහභාගී වී සිටියහ.
ලොව බිහිසුණු ත්රස්තවාදීන් ලෙස එල්ටීටීඊය පරාජය කිරීමේදී හමුදාවන් සතුව තිබූ දැඩි අධිෂ්ඨානය ගැන සේනාධිනායකයා ලෙස තමා ආඩම්බර වන බවද, ශ්‍රී ලංකාවේ ජනතාව ඒ වෙනුවෙන් කළ කැපකිරීම් සදා අගයන බවද මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ පාකිස්ථානය, චීනය සහ ඉන්දියාව ප්රමුඛ රාජ්‍යයන් ඒ සඳහා කළ මෙහෙවරද අගයමිනි.
කොල්ලුපිටියේදී එල්ටීටීඊ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් දිවි ගලවාගත් හිටපු මහකොමසාරිස්වරයා විසින් රාජපක්ෂ ජනධිපතිවරයා එවකට ශ්‍රී ලංකාවට ලබාදුන් නිර්භීත නායකත්වය අගය කිරීම මෙහිදී විශේෂ සිදුවීමක් විය.
අතීතය අමතක කරමින් බටහිර ජාතීන් ආසියාවේ අප වැනි රාජ්‍යයන්ට මානව හිමිකම් පිළිබඳ පාඩම් උගැන්වීමට එන බව පැවසූ මහින්ද රාජපක්ෂ කීවේ සර්පයා දෂ්ට කරන විට මානව අයිතීන් කඩා හෝ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට අප පසුබට නොවන බවයි. බටහිරයන්ගේ තනුව දැන් වෙනස් කර තිබෙන බවද ඔහු එහිදී පැවසුවේය.
මෙම අවස්ථාවේදී මහින්ද රාජපක්ෂට සභාවෙන් මතු වූ ප්‍රශ්නවලට පිළිතුරු දීමේ අවස්ථාව උදාවිය. යුද සමයේදී දිවි පරදුවට තබා දේශය රැකගත් හමුදා සෙබළුන්ට සහ නිලධාරීන්ට ඩයස්පෝරාවේ සහ බටහිර බලපෑම් හමුවේ වර්තමාන පාලකයන් විසින් කරනු ලබන කෙනෙහිලිකම් පිළිකුළින් යුතුව බැහැර කරන බව ඔහු කීවේය.
“ත්රස්තවාදියාට තෙරෙන භාෂාවෙන් උත්තර දිය යුතුයි. හොඳ ත්රස්තවාදියා, නරක ත්රස්තවාදියා කියා බෙදන්න එපා. ප්රජාතන්ත්රවාදයේ පරම සතුරා ත්‍රස්තවාදය බව මොහොතකට හෝ අමතක කරන්න එපා....” යනුවෙන් බටහිර මාධ්‍ය ආයතනයක් නියෝජනය කළ මාධ්‍යවේදියකුට පාඩමක් කියා දීමටද ජනධිපතිවරයා එහිදී අමතක නොකළේය.
මේ ආණ්ඩුව බලපෑමක් නැතුව ජනතාවට සහන දෙන්නේ නැහැ
පසුගියදා දිස්ත්‍රික්ක කිහිපයක ඇති වූ ගංවතුර තත්ත්වයෙන් නිවාස හා දේපළ අහිමිවූවන්ගේ ගැටලු පිළිබඳව ආණ්ඩුවේ අවධානය අඩුවෙමින් ඇති බව එම ප්‍රදේශවල ජනතාව චෝදනා කරමින් සිටී. මෙම තත්ත්වය යටතේ ජනතා විමුක්ති පෙරමුණේ රතු තරුව සහන කණ්ඩායමේ විශේෂ රැස්වීමක් පසුගියදා පැවැත්වූයේ මේ පිළිබඳව සාකච්ඡා කිරීමටය.
”විපතට පත් ජනතාවට වන්දි ලබාදීම ගැන දැන් අර්බුද මතුවෙලා. මුල් අවස්ථාවේදී මේ ගැන ආණ්ඩුවේ අවධානය තිබුණේ මාධ්‍යවල අවධානය දිනාගන්න. නමුත් දැන් ආණ්ඩුව වන්දි දීම ගැන කිසිම කතාවක් නැතුව යන්නේ. ඒ නිසා මේ ගැන ආණ්ඩුවට බලකරන්න ක්‍රමයක් හදාගන්න වෙනවා. මොකද මාතර ප්‍රදේශයේ ජනතාවගෙන් නිතරම දුක්ගැනවිලි එනවා මේ ගැන” යැයි මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේය.
”ඔව්, කළුතරත් ඒක වෙනසක් නැහැ. ඒ නිසා අපි ජනතාව සම්බන්ධ කරගත්තු සංවිධානයක් හදන්න ඕනෑ. මේ ආණ්ඩුව බලපෑමක් නැතුව ජනතාවට සහන දෙන්නේ නැහැ” යනුවෙන් මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස කියා සිටියේය. එම සාකච්ඡාවට අනුව ගංවතුර ආපදා සහන දිනාගැනීමේ ජනතා එකමුතුවක් ගොඩනැගීමට රතු තරුව සහන කණ්ඩායම තීරණය කළේය. ඒ මගින් ආණ්ඩුවට බලපෑම්කොට සහන දිනාගැනීමේ සටනක් ආරම්භ කිරීමට තීරණය විය.
මේ අතර ජනතාවගේ තොරතුරු එක්රැස් කිරීම අරමුණු කරගනිමින් 'දුක්ගැනවිලි සභා' ඇති කිරීමට රතු තරුව සහන කණ්ඩායම තීරණය විය.
ඒ අනුව නීතිඥ කණ්ඩායමක් මගින් ජනතාව ආණ්ඩුවට ඉදිරිපත් කර ඇති ලියකියවිලි ඇතුළු සහන ලබාගැනීමට අවශ්‍ය තොරතුරු එක්රැස් කොට ඒවා ආණ්ඩුවට ඉදිරිපත් කොට සහන දිනාගැනීම කඩිනම් කිරීමට රතු තරුව සහන කණ්ඩායම කටයුතු සංවිධානය කරමින් සිටියි. මේ අනුව පළමු අදියරේදී මාතර දිස්ත්‍රික්කයේ කොටපොල, මොරවක, පිටබැද්දර ඇතුළු ආපදාවට පත් ප්‍රදේශවල දුක්ගැනවිලි සභා ඇති කිරීමට සුනිල් හඳුන්නෙත්ති කටයුතු කරමින් සිටියි.
බිමල්ගෙන් පොලීසියට ඇමතුමක්
නැවතත් රට තුළ ජාතිවාදී ක්‍රියාකාරකම් ඉස්මතුවෙන පරිසරයක් ඇතිව තිබෙන බැවින් මේ පිළිබඳව සියලු දෙනාගේ අවධානය යොමු වී ඇති අතර, සමාජ ජාල යොදා ගනිමින් අසත්‍ය ප්‍රචාරද පතුරමින් තිබේ.
මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ කරුණු ඉදිරිපත් කිරීමක් සඳහා තොරතුරු එක්රැස් කරමින් සිටි මන්ත්‍රී බිමල් රත්නායක සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයට සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාට ඇමතුමක් ලබාදුන්නේය.
”ආගමික ස්ථාන කඩලා බිඳලා දැම්මා කියලා, බුදුපිළිම කැඩුවා, ගිනි තිබ්බා කියලා විශාල ප්‍රචාරයක් යනවා. ෆේස්බුක්වල විවිධ ප්‍රචාර යනවා. මට දැනගන්න පුළුවන්ද ඔබතුමාලට වාර්තාවෙලා තියෙන තොරතුරු මොනවද කියලා”
මන්ත්‍රීවරයා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයෙන් විමසා සිටියේය.
''ආගමික ස්ථානවලට පහර දුන්නා කියලා ප්‍රචාර යනවා. නමුත් මේ අතර කතෝලික පල්ලි, බෞද්ධ සිද්ධස්ථාන පිළිබඳව සඳහනක් නැහැ. කටකතා යනවා. මුස්ලිම් පල්ලි කිහිපයකට පහර දුන් බවට පැමිණිලි තියෙනවා. බොදුබල සේනා සංවිධානය දිගින් දිගටම චෝදනා කරනවා කූරගලට මුස්ලිම් ආක්‍රමණයක් තියෙනවා කියලා'' පොලිස් නිලධාරියෙක් කියා සිටියේය.
මේ අතර පොලිස් මාධ්‍ය ප්රකාශකවරයාද මේ පිළිබඳව කරුණු ඉදිරිපත් කර තිබිණි. ''බොදුබල සේනා සංවිධානය මගින් පැමිණිලි 139ක් දාල තිබුණා සිවාජිලිංගම් මන්ත්‍රීවරයා ජාතිවාදී ප්‍රකාශ පතුරවනවා කියලා. අපි ඒ ගැන කරුණු විමසලා එම 139 දෙනාට ලිඛිතව දැනුම් දුන්නා ඉදිරිපත් වෙලා තිබෙන කරුණු ප්‍රමාණවත් නැති නිසා තවදුරටත් කරුණු ඉදිරිපත් කරන්න කියලා. තවම ඒ ගැන ප්‍රතිචාරයක් නැහැ” මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
''රට තුළ විශාල කටකතා පැතිරෙනවා. ෆේස්බුක්වල බුදුපිළිම කඩපු බවට සටහන් හුවමාරු වෙනවා. ඒක නිසා පොලීසියට වගකීමක් තිබෙනවා මේ ගැන නිවැරදි තොරතුරු රටට ඉදිරිපත් කරන්න. නැතිනම් මේක වෙනත් ගැටුමක් දක්වා වර්ධනය වෙනවා” යැයි මන්ත්‍රීවරයා කියා සිටියේය.
''ඒ අදහස් හොඳයි. අපි පොලිස්පතිතුමාට මේ ගැන කරුණු ඉදිරිපත් කරලා ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා” මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
දියවන්නාරාළ විසිනි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

