කටින් කනින් ඩොලර් එන මන්ත්‍රීවරු
අවුරුදු දෙකක් තිස්සේ ඔබතුමා පොරොන්දු කඩනවා
පළාත් පාලන මැතිවරණය ප්‍රමාද වීම සම්බන්ධයෙන් මේ දිනවල පාර්ලිමේන්තුවේදී නිතර සාකච්ඡා වන අතර, ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවට සහ ඇමති ෆයිසර් මුස්තාපාට වැඩි වශයෙන් විවේචන එල්ලවෙමින් පවතී.
පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ වැය ශීර්ෂය විවාදයට ගත් බදාදා දිනයේ මේ පිළිබඳ වැඩි වශයෙන් කතාබහට ලක්විය. පළාත් පාලන මැතිවරණය දිගින් දිගටම කල්යාම තුළ ‘බාලගිරියා’ යන නාමයද විවිධ පාර්ශව විසින් භාවිතයට ගන්නට යෙදුණි.
කල්මුණේ ප්‍රාදේශීය සභා ප්‍රදේශය තුළ හටගෙන ඇති අර්බුදයක් සම්බන්ධයෙන් මෙදින මන්ත්‍රී විජිත හේරත් අදහස් දක්වන්නට විය.
‘සයින්දමරදු ප්‍රාදේශීය සභාව වෙන්කරන්න කියන ප්රශ්නය ආණ්ඩුව දුන්නු පොරොන්දුවක්. අගමැතිතුමා, පළාත් පාලන ඇමතිතුමා ඇතුළු ඇමතිවරුන් කිහිපදෙනෙක් මේ පොරොන්දුව දුන්නා. අද විරුද්ධ වෙනවා. එහෙම ප්‍රාදේශීය සභාව දෙනවද නැද්ද කියලා බැලිය යුත්තේ විද්‍යාත්මක පදනමක් මතයි. දෙමළ මුස්ලිම් ජන සංයුතිය පිළිබඳ සලකා බලා එය සිදුකළ යුතුයි’
නමුත් මෙහිදී නැගී සිටි ඇමති ෆයිසර් පැවසුවේ ඇවිලෙන ගින්නට පිදුරු දමන්න එපා කියාය.
‘මෙතැන වැරැද්දක් වෙන්න ඇති. මම පොරොන්දුවක් දුන්නා තමයි. පොරොන්දුව අනුව මම ක්‍රියා කළේ රටේ ඉදිරි ගමන ගැන හිතලා. හැබැයි මුස්ලිම්, දෙමළ ජාතීන් දෙකටම සාධාරණය ඉෂ්ට වෙන විදිහට සාධාරණ ක්‍රියාමාර්ගයක් ගන්න මේ පක්ෂ සියල්ල සමග සාකච්ඡා කරන්න අපි සූදානම්. ඇවිළෙන ගින්නට පිදුරු දාන්න එපා කියලා මම ඉල්ලා සිටිනවා’
ෆයිසර්ගේ කතාවට විජිත තරමක් ආවේගයෙන් පිළිතුරු දෙන්නට විය.
‘ඇවිලෙන ගින්නට පිදුරු දැම්මේ ඔබතුමාලා. පිදුරු විතරක් නෙවෙයි දැන් පෙට්‍රල් පවා දාල තියෙන්නේ. ඒක නිසා ඔබතුමාලා දැන් ගිනි අරගෙන තියෙන්නේ’
ෆයිසර්ද නොනැවතී කතා කරන්නට විය.
‘මන්ත්‍රීතුමා මම එක පොරොන්දුවක් දෙනවා. මුස්ලිම්, දෙමළ ජාතීන් දෙකටම සාධාරණය ඉෂ්ට වෙන විසඳුමක් කල්මුණේ සම්බන්ධයෙන් මම ගන්නවා කියන පොරොන්දුව දෙනවා’
පොරොන්දු කියූ සැණින් ෆයිසර්ගේ කඩවුණු පොරොන්දු ගැන විජිත මතක් කළේය.
‘ඔබතුමාගේ පොරොන්දු ගැන විශ්වාසය බිඳ වැටිලා තියෙන්නේ. අවුරුදු දෙකක් තිස්සේ පොරොන්දු ගැන කිසිම විශ්වාසයක් නැහැ. ඒ නිසා විශ්වාසභංග 02ක් ඇවිත් තියෙන්නේ’
එවිට ෆයිසර්ගේ මතවාදය තරමක් දැඩි විය.
‘ඔබතුමා එහෙම කිව්වත් ඔබතුමාලා වගේ සුළු මත දරන පක්ෂයක් ආරක්ෂා කිරීමට පළාත් පාලන පනතේදී කටයුතු කළා. සියලුම දේශපාලන පක්ෂවලට මම සාධාරණය ඉටු කළා’
‘මම කිව්වේ පොරොන්දු ගැන විශ්වාසයක් නැහැ කියලා. ජනතා විමුක්ති පෙරමුණ සුළු මතවාදයක් නෙවෙයි. අපේ මතවාදය මහා මතවාදයක්. අපේ ප්‍රමාණය පොඩි වෙන්න ඇති. නමුත් අපේ මතවාදය ශක්තිමත්. ඔබතුමාලාගේ මතවාදය තමයි පොඩි. ඒ නිසා ගිනි අවුලන්නේ නැතිව මේ ප්රශ්නය විසඳන්න. ඡන්දෙට කලින් මේ ප්රශ්නය විසඳන්න. ඔබතුමා ඡන්දෙ කල් දාන්නත් ගේම් ගැහුවනේ’
‘ඔබතුමා නීතිය දන්නෙ නැතුව කතා කරන්න එපා’
‘නීතිය දන්නෙ නැත්තේ මමද? නීතිය දන්නෙ නැත්නම් වැරදි ගැසට් එකක් ගහනවද? නීතිය දන්නෙ නැතිකමක් විතරක් නෙවෙයි බැරිකමත් ඔප්පු කළා. ඔබතුමා තව දඟලන්න එපා. බැඳුම්කරේ සුජීව සේනසිංහ නා ගත්තා වගේ ඔබතුමත් දැන් නා ගන්නවා . ඔබතුමා ගැන දැන් විශ්වාසයක් ඇත්තෙම නැහැ’
වචනයෙන් ලියන්නෙ නැතුව දැන් ෆොටෝ එක අලවයි
මේ සංවාදය අවසන් වූ විට මීළඟට කතා කිරීමට අවස්ථාව හිමි වූයේ මන්ත්‍රී චමින්ද විජේසිරිටයි. ඔහුද ෆයිසර් විවේචනය කරන මන්ත්‍රීවරයෙක් නිසා කතාව අාරම්භ කළේ ‘බාලගිරි’ වචනයෙනි.
‘මේ මැතිවරණය ඉක්මන් කරගන්න අපිත් විශාල සටනක් කළා. එහෙම කතා කරන්න ගිහින් පක්ෂ නායකයන්ගෙනුත් බැණුම් ඇහුවා. අපේ පළාත්වල දොරවල්වල ගහලා තිබුණා බාලගිරි දෝෂය අද නොවේ හෙට කියලා. ඔබතුමාට නමකුත් පටබැඳුණා %බාලගිරි’ කියලා. ඉදිරියේදි අම්මලා, තාත්තලා අඟුරු කෑල්ලෙන් දොරේ ලියන එකක් නැහැ. සමහරවිට ඔබතුමාගේ ෆොටෝ එකක් දොරේ ඇලෙව්වහම තේරෙයි %බාලගිරි හෙට එනවා’ කියලා’ යැයි චමින්ද කියූ විට මුළු සභාගැබම සිනහ වන්නට විය. ෆයිසර් කිසිවක් නොකියා සිටීමද විශේෂත්වයක් විය.
බී. එෆ් මුස්තාපා හෙවත් බාලගිරි ෆයිසර් මුස්තාපා
මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනද මෙම වැය ශීර්ෂයේ අදහස් දැක්වීමට එක්වූ අතර, ඔහුද පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කතාව ආරම්භ කළේය.
‘2015 මාර්තු මාසේ සිට මේ රටේ සියලුම පළාත් පාලන ආයතන විසුරුවා හැරලා තියෙන්නේ. අදට වසර දෙක හමාරකට වැඩි කාලයක් ඉවරයි. නිශ්චිත වශයෙන් තාමත් ඡන්දය තියන්න නියමිත දිනයක් නැහැ. මැතිවරණ කොමසාරිස්ට වත් ඒක කියන්න බැරිවෙලා තියෙනවා. නමුත් නොයෙක් ඇමතිවරු ප්රවෘත්ති සාකච්ඡාවල කියනවා එක එක දිනවල මැතිවරණය තියෙනවා කියලා. ෆයිසර් ඇමතිතුමාටත් මම කියනවා හරියටම මැතිවරණය තියෙන දිනය කියන්න කියලා’
එසේ කියන විට ෆයිසර් නැවත නීති තර්ක ඉදිරිපත් කළේය.
‘ඔබතුමා නීතිය දන්නවද? ඒ දිනය තීරණය කරන්නේ මැතිවරණ කොමිෂන් සභාව. මට ඒක කියන්න බැහැ’
‘අනේ බොහොම හොඳයි. බොහොම නීතිගරුක ඇමතිවරයෙක්. අපේ ආණ්ඩුවේ ඉද්දිත් අපිට නීතිය ගැන ඉගැන්නුවා. ඔබතුමාට ආසන්න වශයෙන් හෝ දිනයක් කියන්න පුළුවන්. මොකද ඔබතුමා පළාත් පාලන ඇමති නිසා. එහෙම නොකිය ඉද්දි අපිට හිතෙන්නේ මේකටත් බාලගිරි දෝෂය එයිද කියලා’
‘ෆයිසර් මුස්තාපා ඇමතිතුමාට දැන් ඉස්සරහට බාලගිරි කියලා නමකුත් එකතුවෙලා තියෙනවා. ඒ නිසා දැන් එතුමා බී. ෆයිසර් මුස්තාපා හෙවත් බාලගිරි ෆයිසර් මුස්තාපා බවට පත්වෙලා තියෙනවා. ඒක හොඳයි. කොහොමහරි ඡන්දය තියන්න කියලයි අපි කියන්නේ’
ඔබතුමා අසාර්ථකයි - බොරු නම් බොරු කියන්න - මම අභියෝග කරනවා
නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශ වැය ශීර්ෂය පැවතුණේ සඳුදා දිනයේදීය. එදින පාර්ලිමේන්තුවේ විවාදය අතරතුර දැඩි විවේචන එල්ල වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීරගෙනි. ඔහු නිවාස සංවර්ධන අධිකාරියේ හිටපු සභාපතිවරයාය. වර්තමානයේ නිවාස සංවර්ධන අධිකාරිය අකාර්යක්ෂම බව ජයන්ත කියන්නට විය. එයට පිළිතුරු ලෙස ඇමති සජිත්ද විවේචනාත්මක පිළිතුරු ක් ලබාදුනි. එසේ වුවද දෙදෙනාම කතාව ආරම්භ කළේ ධම්මපදයේ ගාථා දෙකක් මුලින්ම සඳහන් කරමිනි.
ජයන්ත සමරවීර කතාව ආරම්භ කළේ මෙලෙසිනි.
‘නිවසෙන් තමයි සත්ත්ව සංහතියෙන් වෙනස් වෙන්නේ. මිනිස් ජීවිතයට නිවසක් කොච්චර වටිනවාද කියල හොඳටම අවධාරණය කළේ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ වදාරනවා %සෝච සබ්බ ධධෝ හෝති - යෝ ධධාධි උපස්සයං’ කියලා. නිවසක් දීම වනාහී සියල්ල දීමයි කියලා බුදුන් කියනවා. ඒතරම්ම නිවස මිනිස්සුන්ට වැදගත්.
නිවාස දෙපාර්තමේන්තුව පිහිටුවීමෙන් පසුව කාලයක් ගොස් පසුව එය කඩිනම් අවශ්‍යතාවක් බව දැනගෙන ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා නිවාසකරණයේ අලුත් පිටුවක් පෙරළුවා. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පිහිටුවා ජාතිකවත් ජාත්‍යන්තරවත් අපූරු අත්දැකීමක් එකතු කළා.
මිනිස්සුන්ට නිවසක් දීම රජයේ කාර්යයක් බව සලකලා මහින්ද රාජපක්ෂ මැතිතුමා නිවාස අධිකාරිය කාර්යක්ෂම කළා. වසා දැමීමට නියමිතව තිබූ මේ ආයතනය ශක්තිමක් කර නිවාසකරණය ශක්තිමත්ව අපි කරගෙන ගියා. අපි මහා භාණ්ඩාගාර දිහා විතරක් බලාගෙන හිටියෙ නැහැ. උපායමාර්ග ක්‍රම නිර්මාණය කරලා විශිෂ්ට සේවාවක් කළා. එහෙම තිබුණ නිවාස අධිකාරියක් තමයි සජිත් ඇමතිතුමාට ලැබුණේ. ඒ නිසා අපි විශ්වාස කළා තමුන්නාන්සේ නිවාස අධිකාරිය නව මානයකට ගෙනියාවි කියලා. කොහොම වුණත් නිවාස අමාත්‍යාංශය සහ නිවාස අධිකාරිය අද ගැටලුකාරී තත්ත්වයකට ඇද වැටී තිබෙනවා. නිවාසකරණයට පටහැණි දේවල් අද සිදුවනවා. අද නව උපායමාර්ග ප්රවේශයකින් නිවාස ක්‍රමයට මැදිහත් වෙන්නේ නැහැ. අපි එදා ඒවා කළා.
ඔබතුමා උදාගම්මාන හදනවා කියනවා. නමුත් මේ වන විටත් විවෘත කරලා තියෙන්නේ ගම්මාන 47යි. ඒකෙන් 22ක් හම්බන්තොට. හම්බන්තොට හදන ඇතැම් ගම්මානවල පදිංචි වෙන්න මිනිස්සු යන්නේ නැහැ. හම්බන්තොට සිතුමිණ ගම්මානයේ ගෙවල් 28ක් හැදුවා. නමුත් ගෙවල් 05ක විතරයි මිනිස්සු පදිංචිවෙලා ඉන්නේ. බොරු නම් බොරු කියන්න. මම අභියෝග කරනවා’
හැන්ද අතට ලැබුණාම හොඳ හිතින් බෙදන්න ඕන - ඒක මගේ ප්‍රතිපත්තියක්
ජයන්තගේ කතාවෙන් ආවේගයට පත් ඇමති සජිත් ප්‍රේමදාසද මෙසේ කතාව ආරම්භ කළේය.
ධම්මපදයේ සඳහන් වෙනවා,
‘අසාරේ සාර මතිනෝ - සාරේ චා සාර දස්සිනෝ
තේ සාරාං නාධි ගච්චන්තී - මිච්ඡා සංකප්ප ගෝචරා’
නිසරු දේ සරු ලෙස හිතන්නටත්, සරු දේ නිසරු ලෙස හිතන්නටත් පෙළඹෙන පුද්ගලයා සාරවත් දෙයක් නොලබන්නේය. ඔවුහු වැරදි සංකල්ප වෙත යොමු වූවෝ වෙති.
මෝඩකම කියන්නේ අසාධ්‍ය රෝගයක් කියලා ශේක්ෂ්පියර් කියලා තියෙනවා.
ජයන්ත සමරවීර මන්ත්‍රීතුමා නිවාස අධිකාරියේ හිටපු සභාපති. ඔබතුමාගේ නායකයට වීරවංශ මහත්තයට හිටපු ජනාධිපති සැලකුවේ නැහැ. කොච්චර එතුමා කඩේ ගියත් ප්‍රමාණවත් මුදල් වෙන් කළේ නැහැ. නමුත් වත්මන් රජය මේ කාලේ මට විශාල මුදලක් වෙන්කර දීලා තිබෙනවා.
හැන්ද අතට ලැබුණාම තමුන්නාන්සේලා නියෝජනය කරන ප්‍රදේශයට හොඳ හිතින් බෙදන්න ඕන. ඒක මගේ ප්‍රතිපත්තියක්. ප්‍රශ්නෙ තියෙන්නේ මේකයි, තමුන්නාන්සේ රාමුවෙන් පිට පැනලා හොඳ හොඳ දේවල් කරලා තියෙනවා. මගේ කතාව අහගෙන ඉන්නකෝ.. එතකොට තේරෙයි.
අපේ කාලේ අපි මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ගෙවල් දුන්නා.
මට නම් වශයෙන් කියන්න පුළුවන් . ගයන්තිකා තුෂාරි ආටිගල, කෝට්ටගේ ලියන ආරච්චි, වැදිසිංහ ආරච්චිගේ නිපුන්, ආචාරිගේ තරංගා, චන්ද්‍රිකා සුභාෂිණී, රුචිරා දිලුක්ෂි, මෙතන නම් දහයක් විතර තිබෙනවා. මේ අය ඔක්කෝම මලල ක්‍රීඩිකාවෝ. අපි නිවාස දුන්නේ මේ අයට. හිටපු ඇමතිතුමා ගෙවල් දුන්නු මේ නම් ටිකත් බලන්නකෝ. හේවා ගිගනගේ වත්සලා, හිටපු ඇමතිවරයාගේ ඥාති. ඉසුරු තරංගා, එයත් ඥාති. වසන්තා රූපසිංහ, හිටපු ඇමතිවරයාගේ බිරිඳගේ අයියාගේ බිරිඳ. හේමසිරි, එයත් හිටපු ඇමතිගේ ඥාති. ආනන්ද ප්‍රියදර්ශන. තව නම් තිබෙනවා. ඔක්කොම කියන්න ඕනද? ඇත්ත කතා කරන විට ගැරඬියාට භූමි තෙල් ගෑවෙනවා වගේ ඔබතුමාට අහගෙන ඉන්න බැහැ. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සොරකම්, පොඩි මිනිහගේ මහජන දේපළ අවභාවිතය හොඳට සිද්ධවෙලා තිබෙනවා. ජාතික නිවාස අධිකාරියේ 35 වැනි සංවත්සරයට රටෙන්ම මුදල් එකතු කළා. ලක්ෂ 5ක් හොරා කෑවා. ඉන්ධනවලට කියලා තොරතුරු සහකාර නිලධාරියා 40,000ක් ගසා කෑවා. ඒ කාලේ ඔක්කොම පවුල් ගහට සැලකුවා. අපි සලකන්නේ පොඩි මිනිහට. තමන්ගේ පවුල්වලට, රජ පවුල්වලට, ඥාති සංග්‍රහවලට සලකන එක හොඳයි. මාලිගාවත්තේ නිවාසයක් රජයේ තක්සේරුව නොසලකා පන්ලක්ෂ හතළිස් නවදාහට දුන්නා. ජාතික නිවාස අධිකාරියේ රජපොකුණ නාන ළිඳෙනුත් ගසා කෑවා. ඇල්විටිගල 117 වත්තේ ඉඩම් කැබලි අවුරුදු තිහකට එක්ලක්ෂ අසූදහසකට දුන්නා. කෝ මේව අහන්න හිටපු ලොක්කා නැහැ. ඇම්බැට්ටයෝ එවනවා. ඇහැටුල්ලෝ එවනවා. මම අහියෝග කරනවා විරවංශ ලොක්කට එන්න කියන්න මගෙත් එකක් විවාදයකට. මේවා ගැන මම හොඳට කියලා දෙන්නම්. මම මේ ගැන කියන්න නෙවේ හිටියේ. ඔබතුමා මට මඩ ගහන්න ආපු නිසයි කිව්වේ’
මේ අතර නැගී සිටි මන්ත්‍රී නලීන් බණ්ඩාර ජයමහ තවත් කාරණයක් සජිත්ගෙන් විමසීය.
‘ඇමතිතුමා කොළඹ උතුර ප්‍රදේශයේ කඩ කාමරයක් මිලියන හතක් වටිනවා. නමුත් වඳ කළ නොහැකි කූඹි ඉන්නවා කියලා පන්ලක්ෂ ගාණකට දීලා. දීලා තිබෙන්නේ අනූෂා නිරෝෂනී කියන කෙනෙකුට. මේ අනූෂා නිරෝෂනි කියන්නේ කවුද කියලා කියන්න පුළුවන්ද ඇමතිතුමා’
සජිත් එයට පිළිතුරු දුන්නේ සිහනහ වෙමිනි.
‘ඒක සත්‍යයක් මන්ත්‍රීතුමා. සම්පූර්ණ ඇත්ත. අමාත්‍යාංශ, දෙපාර්තමේන්තුවලින් මුදල් එකතු කරලා ලක්ෂ 150ක් ගැහුවා. අපි සල්ලි හොරකම් කරලා ඩයරි ගහන්නෙ නැහැ. මේවා මිනිස්සුන්ගේ සල්ලි. නොම්බර එකේ පට්ට හොරු. සෙවණ අරමුදලෙනුත් ගැහුවා. සෙවණ අරමුදලේ ලොතරැයිය එළිදැක්වීමට ලක්ෂ 43ක් වැය කරලා. 2016 දී අපි සෙවණ එළිදැක්වූවා. අපට ගියේ 80,000යි. දේශානුරාගයේ වස්ත්‍රය ඇඳගෙන පාර්ලිමේන්තු එන්න එපා කියන්න. ඉඩම් හොරා කෑවා. මධ්‍යම පාන්තිකයන්ට ඉඩම් දෙනවා කියල කුණුකොල්ලයට ඥාතීන්ට සැලකුවා. මිහිඳුපුර, කවිඳුපුර, හන්තානවත්ත හිතූ හිතූ මතේට බෙදා දුන්නා. මේ අයගේ කටින් කනින් ඩොලර් එනවා. ගල්කඩුවත්ත, රත්නපුර, ජල්තර නිවාස යෝජනා ගෙනාවා. ඒ වුණට අද එක නිවසක් නැහැ’ යැයි සජිත් නොනවත්වා කියාගෙන යන විට ජයන්ත සමරවීරද සභාගැබෙන් ඉවතට ගියේය.
සජිත්ගේ ආඩම්බරම දවස
පසුගිය සති අන්තයේ දිනක උදෑසන ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඇමතූ සජිත් ප්‍රේමදාස ඇමතිවරයා කීවේ ‘අද මගේ ජීවිතයේ ආඩම්බරම දවසයි’ කියාය. ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයා ‘ඒ ඇයි’ කියා කුතුහලයෙන් අසද්දී සජිත් කීවේ ‘අද මම 500 වැනි උදා ගම්මානයට මුල්ගල් තියලා වැඩ ආරම්භ කරනවා’ කියාය. ‘මම දන්නවනේ ඔයා දක්ෂයා කියලා. බොහොම හොඳයි. මටත් ආඩම්බරයි’ යැයි ජනාධිපතිවරයාගේ පිළිතුර විය. අගමැතිවරයා කීවේ ‘ඔයා හොඳට වැඩ කරන නිසානේ, මේ පාර වැඩිපුර සල්ලි වෙන්කරලා දීලා තියෙන්නේ’ කියාය.
උදා ගම්මානයට මුල්ගල් තැබීම සඳහා හම්බන්තොට, සිරිබෝපුර ප්‍ර‘දේශයට සිය මෝටර් රථයෙන් යමින් සිටියදී සජිත් කල්පනා කළේ ඊට තබන නම කුමක්ද කියාය. එහිදී සජිත්ට එකවරම සිහිපත් වුණේ කුඩා කලදී දිනක් සිය පියා තමන් වෙත පොත් පිංචක් තෑගි කරමින් ‘මේක කියවන්න. දුටුගැමුණු රජ්ජුරුවෝ මේ රට රැකගන්න ක්‍රියා කරපු ආකාරය තමයි මේකේ තියෙන්නේ’ යනුවෙන් පැවසූ ආකාරයයි.
සජිත් ඒ මොහොතේම අරිසෙන් අහුබුදු ශූරීන්ගේ පරපුරේ කෙනෙකුට දුරකථනයෙන් කතා කර ඇසුවේ %සිරි ගැමුණු රජගම’ යන්න ඊට සුදුසුද කියාය. පිළිතුර වූයේ %හොඳයි’ යන්නයි. මේ වසරේ දෙසැම්බර් ආරම්භය වන විටම ගම්මාන 500ක ඉලක්කය සැපිරීමට හැකිවීම පිළිබඳ සජිත් සඳුදා පාර්ලිමේන්තුවේ පැවැති සිය අමාත්‍යාංශ වැය ශීර්ෂය පිළිබඳ සාකච්ඡා වාරයේදී සඳහන් කළ අතර, එදින පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි වූ ජනාධිපතිවරයා සිය කතාවේදී සඳහන් කළේ ‘සජිත් ප්‍රේමදාස කියන්නේ ඉලක්ක සපුරන ඇමතිවරයෙක්’ කියාය.
පොහොට්ටුවේ මංගල රැලිය
එළඹෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කළ මංගල රැලිය පසුගිය සඳුදා හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල වීල්ස් පාක් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. රැස්වීමේ සංවිධාන කටයුතු භාර වී තිබුණේ ඒකාබද්ධ විපක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් නායකයා ලෙස කටයුතු කරන කුමාර වෙල්ගමට සහ තේනුක විදානගමගේටය.
රැස්වීමේ සංවිධාන කටයුතු සූදානම් කරමින් පවතින අතරතුර තේනුකට දැනගන්නට ලැබුණේ එක්සත් ජාතික පක්ෂයේ ඌව පළාත් සභා මන්ත්‍රී තිස්ස කුට්ටිආරචිචි මේ දිනවල හරින් ප්‍රනාන්දු නිසා පක්ෂය ගැන කලකිරීමකින් සිටින බවය. වහාම ක්‍රියාත්මක වූ තේනුක තමන්ට ලැබුණු ආරංචිය සම්බන්ධයෙන් මහින්ද දැනුවත් කරන්නට කටයුතු කළේය.
"සර්, තිස්ස කුට්ටිආරච්චි එක්සත් ජාතික පක්ෂය ගැන කලකිරීමකින් ඉන්නේ. අපේ පැත්තට ගන්න පුළුවන්. මොකද අපි කරන්නේ? තේනුක ඇසුවේය.
"එන්න කැමැති නම් ප්‍රශ්නයක් නැහැ" මහින්ද උත්තර දුන්නේය.
අනතුරුව වෙල්ගමද ඒ සම්බන්ධයෙන් දැනුවත් කළ තේනුක බදුල්ල රැලියේ දී තිස්ස කුට්ටිආරච්චි ඒකාබද්ධ විපක්ෂ වේදිකාවට නංවාගැනීමට කපුකම කළේය. තේනුකත්, තිස්සත් මිත්‍රයන් වීම මෙම කටයුතු වඩාත් පහසු කරවන්නට හේතු විය. ඒ අනුව සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්වුණු අතර, ආණ්ඩුවක් තිබියදීත් පාක්ෂිකයන්ට නොසැලකීම සම්බන්ධයෙන් කලකිරීමකින් සිටි තිස්ස ගලවාගැනීම සාර්ථක විය.
ඉරිදා රාත්‍රියේ සිට බදුල්ලේ නතරව සිටි මහින්ද සඳුදා උදෑසන බදුල්ල දිස්ත්‍රික් පළාත් පාලන නියෝජිතයන් මුණගැසුණේය. එහිදී පළාත් පාලන නියෝජිතයන් සියලු දෙනාම මහින්දගෙන් ඇසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සමග එකතු වෙනවාද කියාය. මහින්ද ඊට පිළිතුරු වශයෙන් කීවේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම ඒ ගැන තීන්දුවක් ගනු ඇති බවයි.
අනතුරුව මන්ත්‍රිවරුන් සියලුදෙනාම පාහේ එකතු වෙන්න නම් එපා කියා මහින්දගෙන් ඉල්ලා සිටි අතර මහින්ද සිනාසෙමින් පිළිතුරු දුන්නේ "ඔයාලා බය වෙන්න එපා. අපි ඔයාලට අසාධාරණයක් වෙන්න ඉඩ තියන්නේ නැහැ" කියාය.
සඳුදා උදෑසන ප්‍රසන්න රණතුංග බදුල්ල බලා යමින් සිටින අතරතුර මහින්දගෙන් ඇමතුමක් ලැබුණි.
"ප්‍රසන්න කොහෙද ඉන්නේ?’ මහින්ද ඇසුවේය.
"සර්, මම බදුල්ලට එන ගමන් ඉන්නේ" ප්‍රසන්න පිළිතුරු දුන්නේය.
"එහෙනම් ආපු ගමන් මාව මුණගැහෙන්න. මට ඔයාට විශේෂ දෙයක් කියන්න තියෙනවා" කී මහින්ද දුරකථනය විසන්ධි කළේය.
ඒ අනුව බදුල්ලට පැමිණි වහාම ප්‍රසන්න කෙළින්ම ගියේ මහින්ද නතරව සිටි ස්ථානය කරාය.
"එන්න එන්න ප්‍රසන්න. මම මේ ඔයාට එන්න කිව්වේ විශේෂ කාරණයක් කියන්න. අද රැස්වීමේදී ඔයා අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනේ" ප්‍රසන්න දුටු වහාම මහින්ද කීවේය.
"අනේ සර්, මට වඩා ජ්‍යෙෂ්ඨයෝ ඕනේ තරම් ඉන්නවානේ. ඒ අයට අවස්ථාව දෙන්න. මගේ ප්‍රශ්නයක් නැහැ" ප්‍රසන්න කීවේය.
"ඔයා කියන එක ඇත්ත. සීනියෝරිටි එකට මුල්තැන දෙන්න ඕනේ තමයි. හැබැයි මෙතැනදි සීනියෝරිටි එකට වඩා මට ජනතාව ගැන ඔයා තියන් ඉන්න ලෝයල්ටි එක වටිනවා. ඒ හින්දා අද ඔයා කතා කරන්නම ඕනේ" මහින්ද පැවසීය.
"සර් කියනවා නම් මම කතා කරන්නම්" කී ප්‍රසන්න එතැනින් පිටත්ව රැස්වීමේ අවසන් සංවිධාන කටයුතු ගැන සොයා බලන්නට ගියේය.
අතිසාර්ථක ලෙස බදුල්ල රැස්වීම පැවැත්වීමට වෙල්ගම ඇතුළු පිරිස සමත්ව තිබිණි. වීල්ස් පාක් ක්‍රීඩාංගණය පිරී ඉතිරී යන තරමට ජනතාව රැස්වීමට පැමිණ සිටි අතර, මහින්ද රැස්වීම අමතන විට රාත්‍රී අටද පසුව තිබිණි.
විශේෂත්වය වූයේ රාත්රියේදී බදුල්ලේ අත්විඳින්නට වන අධික සීතලද නොතකා ජනතාව මහින්ද කතා කරන තුරුම රැස්වීමේ රැඳී සිටීමය.
ආණ්ඩුවෙන් අයින් වෙලා එන්න
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඒකාබද්ධ විපක්ෂයත් අතර සමගි සාකච්ඡා පසුගිය සතියේ නිමා කෙරුණේ අවසන් තීන්දුවක් නොමැතිවය. ඊට හේතු වී තිබුණේ සාකච්ඡා ඉදිරියට පවත්වාගෙන යාමට නම් ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවට ඒකාබද්ධ විපක්ෂය පාර්ශ්වයෙන් දැමූ කොන්දේසිය ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශ්වයට අවසන් තීන්දුවක් ගැනීමට නොහැකි වීමය.
ඒ වනවිට ජනාධිපතිවරයා දකුණු කොරියාවේ සංචාරයක නිරතව සිටි බැවින් නිමල් සිරිපාල ද සිල්වා ඒකාබද්ධ විපක්ෂ නියෝජිතයන්ට දැනුම් දී තිබුණේ ජනාධිපතිවරයා ආපසු පැමිණි පසු තමන්ගේ තීන්දුව දැනුම් දෙන බවය. මේ අතර පසුගිය සතියේ සී.බී. රත්නායකට ඩිලාන් පෙරේරාගෙන් දුරකථන ඇමතුමක් ලැබුණි. යළිත් වරක් සාකච්ඡා කරන්නට පුළුවන්දැයි ඩිලාන් සී.බී.ගෙන් ඇසුවේය.
"අපි එදා කිව්වනේ කතා කරන්න ඉස්සර ආණ්ඩුවෙන් අයින් වෙන්න කියලා" සී. බී. උත්තර දුන්නේය.
"නෑ නෑ, අපි මේ ගැන ආයෙත් කතා කරමු" ඩිලාන් ඉල්ලා සිටියේය.
"මට ඒ ගැන මොකුත් කියන්න බෑ. මං මහින්ද මහත්තයාගෙන් අහලා බලන්නම්" සී. බී. කීවේය. පසුව මහින්දට දුරකථනයෙන් ඇමතූ සී.බී. ඩිලාන්ගේ යෝජනාව ගැන දැනුම් දුන්නේය. මහින්ද කීවේ පක්ෂ නායක රැස්වීමේදී ඒ ගැන වැඩිදුරටත් කතා කරමු කියාය.
කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්තගේ පියා පසුගිය සතියේ අභාවප්‍රාප්ත විය. පසුගිය අඟහරුවාදා මහින්ද එම දේහයට අවසන් ගෞරව දැක්වීමට ගියේය. ඒ වනවිට නිර්මල කොතලාවලද අවමඟුලට සහභාගි වීමට පැමිණ සිටියේය.
මහින්ද එන බව දැනගන්නට ලැබුණු නිර්මල ආපසු නොගොස් මහින්ද එනතුරුම සිටියේය. එහිදී නිර්මල මහින්දගෙන් ඇසුවේ "මොකක්ද සර් එකතු වෙන එක?’ කියාය.
"අපිට නම් පණිවුඩ පිට පණිවුඩ එනවා එකතු වෙමු කියලා. හැබැයි අපේ අය එකතු වෙන්න කැමැති නැහැ" මහින්ද පැවසීය.
"දැන් නම් මේ ආණ්ඩුවේ තත්ත්වය හොඳ නැහැ" නිර්මල පැවසීය.
"ඔව් ඔව් මේ ආණ්ඩුව දැන් යන්නේ අවරෙට" මහින්දද කීවේය.
වෙන්වීම ස්ථීරයි
ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීම අඟහරුවාදා පැවැත්වුණේ මහින්දගේ විජේරාම පෙදෙසේ පිහිටි නිල නිවසේදීය. මෙම හමුවට බැසිල් රාජපක්ෂ ද පැමිණ සිටියේය. ඒ පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් යෝජනා හතරක්ද රැගෙනය.
එහි පළමු කරුණ වූයේ නාමයෝජනා අත්සන් තැබීමය. දෙවැන්න මැතිවරණයට තරග කළ නොහැකි ක්ෂේත්‍ර නිලධාරීන් සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමය. තුන්වැන්න වූයේ සුදුසුකම් නොමැති අපේක්ෂකයන් පිළිබඳ කටයුතු කිරීම ගැන තීන්දුවක් ගැනීමය. හතරවැන්න ඒකාබද්ධ පොදුජන පෙරමුණ යටතේ තරග කිරීමය.
බැසිල්ගේ යෝජනාවට පක්ෂ නායකයන්ගේ අනුමැතිය හිමි විය. අනතුරුව මහින්ද පක්ෂ නායකයන් හමුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනා සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළේය.
"අපට ආයෙමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් යෝජනා වගයක් ඇවිත් තියෙනවා. අපි මේ ගැන කතා කරලා තීන්දුවක් ගමු. සී.බී. මේ අයට කියන්නකෝ මොනවද එයාලා කියන්නේ කියලා" මහින්ද කතාව ආරම්භ කරමින් පැවසීය.
"ඩිලාන් කියනවා ඒකාබද්ධ විපක්ෂයට වාසි තැන්වල වෙනම ඉල්ලලා එක්සත් ජාතික පක්ෂයට වාසි තැන්වල එකට ඉල්ලමු කියලා. එයා කිව්වා මෛත්‍රීපාල ජනාධිපතිවරයත් මේකට කැමතියි කියලා" සී. බී. කීවේය.
"මොකද ඒකට කියන්නේ?’ මහින්ද ඇසුවේය.
"මේක ගැන අපි තීන්දුවක් ගන්න ඕනේ. නැත්නම් මේක හෝද හෝද මඩේ දානවා වගේ වැඩක් වෙනවා. අපි එයාලට කිව්වා ආණ්ඩුවෙන් අයින් වෙන්නේ නැත්නම් සාකච්ඡා කරන්නේ නැහැ කියලා. ඒක නොකර සාකච්ඡා කරලා වැඩක් නැහැ" පුසන්න පැවසීය.
"ඒක හරි. අපි මන්ත්‍රි කණ්ඩායමෙත් අදහස අහමු" මහින්ද කීවේය.
"මම නම් මේකට එක හෙළාම විරුද්ධයි. මට මේකට එකඟ වෙන්න බැහැ" ප්‍රසන්න පැවසීය.
"ඔව්, මටත් මේකට එකඟ වෙන්න බැහැ" වෙල්ගම ද පැවසීය.
ඒ අනුව තීන්දු කෙරුණේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම වහාම කැඳවා මේ ගැන තීන්දුවක් ගැනීමටය.
පහුවදා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ සාකච්ඡාවක් මහින්දගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මන්ත්‍රීවරුන්ට කරුණු පැහැදිලි කරමින් මහින්ද කීවේ "ආයෙත් පාරක් අපට යෝජනා වගයක් ඇවිත් තියෙනවා. ඒ අය එකතු වෙමු කියනවා. මොකද ඔයාලා කියන්නේ? කියාය.
"ඒකාබද්ධ විපක්ෂයට වාසි තැන්වල වෙනම ඉල්ලලා එක්සත් ජාතික පක්ෂයට වාසි තැන්වල නිදහස් පක්ෂයත් එක්ක එකතු වෙලා පුටුව ලකුණෙන් ඉල්ලන්න කියලා තමයි මේ පාර යෝජනා කරලා තියෙන්නේ" සී. බී පැහැදිලි කළේය.
"මේක පුදුම කතාවක්නෙ. දැන් හිතමුකො එක ප්‍රාදේශීය සභාවකට අපි තනියෙන් තරග කරනවා කියලා. එතැනට ගිහින් මහින්ද මහත්තයා ආණ්ඩුවට බැනලා ඡන්දෙ ඉල්ලනවා. අනෙක් ප්‍රාදේශීය සභාවක එකට එකතු වෙලා තරග කරනකොට ආණ්ඩුවට නොබැන ඉන්නවා. එහෙම කරන්නේ කොහොමද?’ සනත් නිශාන්ත ඇසුවේය.
"එහෙම කරන්න බැහැ. එහෙම වුණොත් ආණ්ඩු විරෝධී ඡන්ද ටික ගන්න අපට බැරි වෙනවා. ඒ හින්දා අපි මේ ගැන තීන්දුවක් ගන්න ඕනේ" ප්‍රසන්න පැවසීය.
"මේ විදියට ගියොත් අපටත් ගමට යන්න බැරි වෙනවා. දැනටමත් මිනිස්සු බනිනවා එකතු වෙලා නම් ගමට එන්න එපා කියලා" ශෙහාන් සේමසිංහ පෙන්වා දුන්නේය.
"මෙයාලා හදන්නේ එකතු වෙමු කියලා බොරුවට පෙන්නලා අපේ සංවිධාන කටයුතු ටික කඩාකප්පල් කරන්නයි. අපි මේකට රැවටෙන්න හොඳ නැහැ" ජොන්ස්ටන් පැවසීය.
"මිනිස්සුන්ට ඕනේ මහින්ද මහත්තයාවයි. මිනිස්සු ආදරේ කරන්නෙත් මහින්ද මහත්තයටයි. ඒ හින්දා සර් කියන්න සර්ගෙ මතය මොකක්ද කියලා" පියල් ඇසුවේය.
"මම මේකට මොකුත් කියන්නේ නැහැ. මට වැදගත් වෙන්නේ ඔයාලගේ මතය මිසක් මගේ මතය නෙමෙයි. ඒ හින්දා මන්ත්‍රීවරු එකතු වෙලා ගන්න තීන්දුවකට මම එකඟයි" මහින්ද පැවසීය.
"මට නඩු 11 ක් දාලා තියෙනවා. නඩු 11 ක් නෙමෙයි 1000 ක් දැම්මත් මම නම් එකතු වෙන්න කැමති නැහැ" ජොන්ස්ටන් කීවේය.
"මමත් ලැහැස්ති නැහැ එකතු වෙන්න. ඊට වඩා අයින් වෙලා ගෙදර යන එක හොඳයි" කාංචන පැවසීය.
"ජනාධිපතිවරයාට විරුද්ධව මෙච්චර වැඩ කරලා අපි එකතු වුණොත් මට පොළොන්නරුවට යන්න වෙන්නේ නැහැ. ඒ හින්දා එකතු වුණොත් මටත් වෙන්නේ දේශපාලනයෙන් සමුගන්නයි" රොෂාන් කීවේය.
"මම නම් කියන්නේ මේ සාකච්ඡා කළා හොඳටම ඇති. මේ සාකච්ඡා නිසා සී. බී, පවිත්‍රා, මහින්ද යාපා වගේ අපේ ජ්‍යෙෂ්ඨයන්ට ගම්වලට යන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ" සනත් පෙන්වා දුන්නේය.
"මම සී.බී. මිසක් එස්.බී නෙමෙයි. මම සාකච්ඡාවලට ගියේ මහින්ද මහත්තයා ඉල්ලීමක් කරපු නිසා මිසක් ඕවට තියෙන කැමැත්තකට නෙමෙයි" සී.බී. කීවේය.
"මම මේ තුන්දෙනා නම් කළේ හේතු තුනක් නිසයි. පවිත්‍රා නම්‍යශීලියි. සී.බී. අපිට ඉන්න ජ්‍යෙෂ්ඨයෙක්. ඒ වගේම මහින්ද යාපා කියන්නෙත් ඕනෙම දෙයක් බැලන්ස් එකේ දෙයක් කතා කරන්න පුළුවන් කෙනෙක්. ඒ අය ගියේ මගේ ඉල්ලීම නිසයි. ඒ හින්දා කාටවත් ඒ අයට වරදක් කියන්න බැහැ" මහින්ද පැහැදිලි කළේය.
"අපි තවදුරටත් මේ ගැන සාකච්ඡා කිරීමෙන් පලක් නැහැ. ඒ හින්දා අපි තීන්දුවක් ගමු. අපි ඒ අයට කියපු විදියට ආණ්ඩුවෙන් අයින් වෙන්න සූදානම් නැත්නම් අපි මේ සාකච්ඡා නවත්තමු" ප්‍රසන්න කළ යෝජනාවට සියලු මන්ත්‍රීවරු එකඟතාව පළ කළහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

