ඉදිරි වසර දෙක යනකොට රටේ සංවර්ධනය හා වැරදිකරුවන්ට දඬුවම් දීම බලාගන්න පුළුවන්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලියට සහභාගි නොවන එම පක්ෂයේ පිරිස් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ වැඩි අවධානයක් යොමුව තිබේ. ඒ සම්බන්ධයෙන් සහ වත්මන් දේශපාලන වාතාවරණය පිළිබඳ මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සමග කළ සංවාද සටහනකි මේ.
Q මැයි දිනයට සහභාගි නොවන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන්ට, මන්ත්‍රීවරුන්ට විනය ක්‍රියාමාර්ග ගන්නා බව පැවසෙනවා. එය ඇත්තක්ද?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තමයි එය ක්‍රියාත්මක කරන්නෙ, අපි නෙමෙයි. ඉදිරියේදී බලාගන්න පුළුවන්වෙයි ඒ සම්බන්ධව ගන්නා ක්‍රියාමාර්ග ගැන.
Q ගිය වසරෙත් පක්ෂ මහලේකම්වරයා මෙහෙම කිව්වා. නමුත් ගත්තු විනය ක්‍රියාමාර්ගයක් නැහැ නේද?
දැන් ඔය ආසන සංවිධායකවරු අයින් කරලා තියෙන්නේ. මන්ත්‍රීවරු ඉවත් කරලා තියෙන්නේ. ඒවා තමයි ගත්ත විනය ක්‍රියාමාර්ග. ඒවා ටික ටික තමයි ක්‍රියාත්මක වෙන්නේ. මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගෙ ක්‍රමය තමයි පුළුවන් තරම් ඉවසලා අවසාන මොහාතේ තීන්දු තීරණ ගැනීම.
Q අද වනවිට මැයි දිනය කම්කරුවාගෙන් ඈත් වී දේශපාලනඥයන්ගේ දිනයක් බවට පත්වෙමින් තිබෙනවා නේද?
මැයි දිනයට ඉන්න කම්කරුවා මොකක්හරි දේශපාලන පක්ෂයක ඉන්නවා. එතකොට මේ දෙකම එකයි. මැයි දිනය කියන්නෙ කම්කරුවන්ගේ දිනය තමයි, නමුත් කම්කරු දිනය කොහොමත් දේශපාලන පක්ෂවලට සම්බන්ධයි.
ඒ නිසා මැයි දිනයයි දේශපාලන පක්ෂයි එකයි. මොකදමේ රටේ හැම පුරවැසියෙක්ම එක දේශපාලන පක්ෂයකට සම්බන්ධයි. නැත්නම් අඩුම ගානේ හිතින්වත් හිතනවා මම මේ අයට ජන්දය දෙනවා කියලා.එතකොට ඒ අය සම්බන්ධයි.
Q සරත් ෆොන්සේකාට නව තනතුරක් පිරිනැමීමට යන බවට පැතිරෙන කතාබහේ සත්‍ය අසත්‍යතාව මොකක්ද?
එතුමාට කැබිනට් මණ්ඩලයෙදි තීන්දුවක් දීලා තියෙනවා අත්‍යවශ්‍යසේවා කළමනාකරණය කිරීම සඳහා යම්බළකායක් නිර්මාණය කිරීමට. එහිදී ක්ෂණික සාකච්ජා, ක්ෂණික පහසුකම් සැපයීම, ක්ෂණික පුහුණුව ලබාදීමවැනි දේ අන්තර්ගතව තියෙනවා. මං හිතන්නෙ ෆොන්සේකා භීතිය මගඇරිලා යයි ගැසට් එක ආවහම.එතුමාට තියෙන කාර්යභාරය ඒ ගැසට් එකේ තියෙනවා.
Q නමුත් සමහර ඇමතිවරුන් කියන්නේ මෙය ජනාධිපතිවරයා ෆොන්සේකාට කළ විහිළුවක් පමණයි කියලා?
මම දන්නෙ නැහැ ඇමතිවරු කියන ඒවා ගැන.අනික ඒ අය කියන ඒවා ගැන මම යමක් ප්‍රකාශ කරන එකත් හොඳ නැහැ. නමුත් ජනාධිපතිතුමා මෙය ඇත්තට පැවසූ දෙයක්.
Q එහෙත් ඒකාබද්ධ විපක්ෂය පවසන්නේත්රිවිධ හමුදාව ෆොන්සේකාට බාර දීමේ සූදානමක් පවතින බව නේද?
මොන බොරුවක්ද ඒක. ත්‍රිවිධ හමුදාව ඇයි ෆොන්සේකා මහත්තයට දෙන්නෙ? ඒකට හමුදාපතිවරු, පොලිස්පතිවරු ඉන්නවා. මේක වෙන මතයකට හරවන්න හුඟක් අය උත්සාහ ගන්නවා. ජනතාවට අපි කියන්නෙ ඒවට රැවටෙන්න එපා කියලයි .
Q ශ්‍රී ලකා නිදහස් පක්ෂයේ පැරණි ආසන සංවිධායකවරුන් ඉවත් කිරීම හා නවකයන් පත් කිරීම ගැන ඔබේ අදහස කුමක්ද?
එය පක්ෂයේ නායකත්වය ගත් තීන්දුවක්. යම් යම් විනය ක්‍රියාමාර්ග හෝ වෙන දෙයක් හෝ වේවා එසේ ඉවත් කරන්නේ තවත් කාලයකදි නැවත පත් කරන්නෙ පක්ෂය ඉදිරියට රැගෙන යන්නයි. දේශපාලනයෙදි හැමවිටම සදාකාලික සතුරොත් නෑ, සදාකාලික මිතුරොත් නැහැ.
Q නමුත් හිටපු ජනාධිපතිවරයා ලිපියක් මගින් පසුගියදා දන්වා සිටියා එසේ ආසන සංවිධායකවරුන් ඉවත් කිරීමෙන් වාසි අත්වන්නේ එ.ජා.ප.යට බව?
හැම නායකයෙක්ම එක් එක් වෙලාවට අවශ්‍ය තීන්දු තීරණ ගන්නවා. අරගොල්ලන්ට වාසි මේගොල්ලන්ට වාසි කියලා බලන්නෙ නැහැ. මහින්ද මහත්තයගේ කාලයෙත් එහෙම අයින් කරානේ. ඒවා ගැනත් හිතලා කල්පනා කරලා බලන්න ඕන. මෛත්‍රීපාල ජනධිපතිවරයාට නිදහසක් තියෙනවා අවශ්‍ය දේ නිසි ලෙස කරන්න. එතුමා වැඩ කරන්නෙ පක්ෂය ගැන හිතලා, රට ගැන හිතලා එයයි වෙනස.
Q මීතොටමුල්ල ඛේදවාචකය ගැන ඔබේ අදහස?
මේකට හැම දේශපාලන පක්ෂයක්ම, පැවැති හැම රජයක්ම වගකියන්න ඕන. දේශපාලඥයන් මේවෙලාවේ දෙපැත්තට අදින්නැතුව හරියට බලන්න ඕන ඉදිරි අවුරුදු දෙක තුළ මේක විසඳන්නෙ කොහොමද කියලා.
දැන් ජපන් කණ්ඩායමක් ඇවිත් තාක්ෂණය දෙන්න සූදානම් වෙලා ඉන්නවා. ඒ තාක්ෂණය මුළු රටටම ගෙනියන්න ඕන. කොරියාවෙන් ගෙනා ක්‍රමයක් තියෙනවා, එයත් අධ්‍යයනය කරන්න ඔින. ඒ නිසා මේ කුණු ඉවත් කිරීම බලයට පත්වුණු හැම රජයකම වගකීමක්.
Q ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කසළ කළමනාකරණ වැඩපිළිවෙළක්රියාත්මක කිරීමට රජය සූදානම් වන බවට මත පළ වෙනවා? මේක ඇත්තද?
හොඳ වැඩක් නම් කවුරු කළත් හොඳ වැඩක්. ඒක ගෝඨාභය මහත්තයා කළත් එකයි, වෙන කෙනෙක් කළත් එකයි. ඉතිහාසය තුළ හිටිය නායකයන්ගේ යම් දර්ශනයක් තිබුණා.ඒ දර්ශනයට පක්ෂයක් නැහැ.ඒ වගේ හොඳ දෙයක් නම් අපි එය බාරගන්නවා. අරයද මෙයාද කියලා බලන්නෙ නැහැ.
Q කොහොම වුණත් තාමත් කසළ බැහැර කිරීම සම්බන්ධයෙන් රටපුරා විරෝධතා පැවැත්වෙනවා නේද?
පාරට බැහැලා කසළ ප්රශ්නය විසඳන්න බැහැ. කසළ ප්රශ්නය විසඳන්න නම් අවශ්‍ය වෙන්නෙ සාකච්ඡාමය තීන්දු තීරණක්රියාත්මක කිරීමයි. පාරට බහින එකේ තියෙන්නෙ දේශපාලනයක්. ඒ නිසා දේශපාලනඥයන්ට අපි කියන්නේ මිනිස්සු පාරට බස්සලා වැඩක් නැහැ. මෙයට සියලු දෙනා එකතු වෙලා කටයුතු කළ යුතුයි කියලයි මගේ අදහස.
Q වත්මන් ආණ්ඩුවේ සංවර්ධන වැඩපිළිවෙළ ගැන ඔබේ අදහස කුමක්ද?
ඇත්ත වශයෙන්ම ගිය වර්ෂයට වඩා විධිමත් විදියට මේ වර්ෂයේ සංවර්ධනය ආරම්භ කරලා තියෙනවාවගේම ඉදිරියටත් කරන්න තව තියෙනවා. ඒවා නිසි කලට කෙරේවි.
Q එහෙත් ඒකාබද්ධ විපක්ෂය පවසන්නේ රටේ කිසිදු සංවර්ධනයක් නොවන බවක් නේ?
මෙහෙමනේ, රටේසංවර්ධනයක් වෙනවා කියලා කිවුවොත් ඒ අයට අලාභයක්නේ. ඒ නිසා කියන්නෙ නැහැ. මේ යහපාලන ආණ්ඩුව වැරදිකරුවන්ට දඬුවම් දෙනවා වගේම රටේ සංවර්ධනයත් ක්‍රියාත්මක කරනවා. මෙය ඉදිරි වර්ෂ දෙක යනකොට බලාගන්න පුළුවන් හැමෝටම.
Q කැබිනටි සංශෝධනයක් ළඟදිම සිදු වේවිද?
ඒක ජනාධිපතිතුමා තමයි කරන්නේ. මට කියන්න බැහැ කොහොම කෙරෙයිද කියලා, එතුමා හොඳ විදියට කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

