අපි සාමයට කැමති සාමය රකින ජන කොටසක්
රට තුළ මතුව තිබූ අන්තවාදී ක්‍රියාකාරකම් සම්බන්ධව පසුගිය කෙටි කාලය තුළ සමාජයේ කතාබහක් ඇතිවිය. එවැනි ක්‍රියාවල යෙදෙන පුද්ගලයන්ට දැඩි දඬුවම් පමුණුවන බවට රජය දැනුම්දීමෙන් පසුව එම තත්ත්වය පහව ගොස් තිබේ.
මෙවැනි කණ්ඩායම් සම්බන්ධයෙන් රජයක් වශයෙන් ගෙන ඇති තීරණ සහ තවත් කරුණු කිහිපයක් ගැන දැනගැනීම සඳහා තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් මහතා 'අද'ට සම්බන්ධ කර ගතිමු.
Q ජාතිවාදී, ආගම්වාදී ගැටුම් ඇතිවෙනවා කියලා පසුගිය කෙටි කාලය තුළ ලොකු කතාබහක් ඇතිවුණා. මේ වනවිට රජය එම තත්ත්වය පාලනය කර තිබෙනවාද?
ජාතිවාදී කෝලාහල ඇතුළු එම සිද්ධීන් මැඬපවත්වා තියෙනවා. ජනාධිපතිතුමා හා අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් එක ප්‍රකාශයක් කළා එවැනි තත්ත්වයන් මතුවුණොත් තදින් නීතිය ක්‍රියාත්මක කළ යුතු බව.
පසුගිය නොම්බි කාලයේ තමයි ගොඩක් සිදුවීම් ඇතිවුණේ. දැන් එම සිදුවීම්වල අඩුවීමක් දකින්නට ලැබෙනවා. රජය නිතරම පවසන දෙයක් තමයි සංහිඳියාවෙන් යුක්තව ජාතීන් අතර සමගියෙන් ජීවත්විය යුතු බව.
Q මොකද්ද මේ සඳහා රජය අනුගමනය කරන වැඩපිළිවෙළ?
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජාතික සමගිය උදෙසා කමිටුවක් පත්කළා. එම කමිටුවේ ආගමික නායකයන්, ඇමතිවරුන් සමග රැස්වීම් පවත්වලා මේ ගැන සාකච්ඡා කළා. ජාතිවාදී, ආගම්වාදී ප්‍රශ්නයක් මතුවුණොත් මෙම කමිටුව රැස්වෙලා මේ සම්බන්ධව කටයුතු කළ යුතු බවටත්, යම් කණ්ඩායමක් හෝ පුද්ගලයෙකු ජාතීන් අතර භේදයක් ඇතිකළොත් නීතිය තදින් ක්‍රියාත්මක කළ යුතු බවටත් එහිදී තීරණය කළා.
Q සිංහල හා මුස්ලිම් ජනතාව අතීතයේ සිට සහයෝගයෙන් ජීවත්වුණා. මේ සුහදත්ව බිඳින්න කිසියම පිරිසකට අවශ්‍ය වී ඇතැයි කියා ඔබ සිතනවාද?
මේ රටේ බහුතර ජනතාව සිංහල ජනතාව. මුස්ලිම් ජනතාව සුළුතර ජනතාවක්. මේ ජනකොටස් දෙක හැමකාලෙම ජීවත් වුණේ ඉතාමත් සහෝදරත්වයෙන්. අතීතයේ විශාල කෝලාහලයක් ඇතිවෙලා තිබුණට මෑත කාලයේ එවැනි තත්ත්වයක් ඇතිවුණේ නෑ. මෑත කාලයේ සිට බෞද්ධ කුඩා කණ්ඩායමක් ජාතීන් අතර ගැටුමක් ඇතිකරන්න උත්සාහයක් ගනිමින් සිටිනවා.
ආගමික වශයෙන් ඒ අය බැණවදිනවා. මුස්ලිම් අයගේ කඩවල් ගිනි තියනවා. පල්ලිවලට යම්යම් දේවල් කරනවා. මේවා පිටුපස දේශපාලන අරමුණක් තියෙනවා වෙන්න පුළුවන්. මේ ආණ්ඩුව පත්කරන්න මුස්ලිම් ජනතාව විශාල දායකත්වයක් ලබාදුන්නා. ඒක රහසක් නෙමෙයි, කවුරුත් දන්නවා. මුස්ලිම් දෙමළ සුළුතර ජනතාව මේ ආණ්ඩුවට උපරිම සහාය ලබාදීලා තියෙනවා.
ජාතික සමගියක් නැතිව පසුගිය ආණ්ඩුව කරගෙන ගිය නිසා ඒ ආණ්ඩුව පරාජය වුණා. බේරුවල ප්‍රදේශයේ මුස්ලිම් ජනතාවට එල්ල වූ ප්‍රහාරය ඇතුළු සිදුවීම් තමයි පසුගිය ආණ්ඩුව පෙරළෙන්න හේතුවුණේ. නමුත් වර්තමාන ආණ්ඩුව සිංහල, මුස්ලිම් පමණක් නොවෙයි, හැම ජාතියකටම, හැම ආගමකටම ගරුකරන ආණ්ඩුවක්. ආගම් අතර සමගියක් ඇතිකරන්න විශාල උත්සාහයක් ගන්නවා.
Q මුස්ලිම් සමාජය කොහොමද මේ වනවිට සිංහල සමාජය දෙස බලන්නෙ. සහෝදරත්වයකින් බලනවාද? එසේත් නැතිනම් වෛරයකින් බලනවාද?
මුස්ලිම් ජනතාව ගොඩක් ඉවසීමෙන් කටයුතු කරන ජනකොටසක්. පසුගිය රාමසාන් උපවාස කාලයේ සිද්ධීන් ගණනාවක් සිදුවුණා. මුස්ලිම් ජාතීන් ඉවසීමෙන් කටයුතු කළ නිසා ලොකු ප්‍රශ්නයක් ඇතිවුණේ නැහැ. නමුත් මුස්ලිම් ජාතිකයන්ට විශාල පාඩුවක් සිදුවුණා.
අල්හා දෙවියන්ගේ නියමය අනුව යම් සහනයක් අත්වේවි කියන විශ්වාසයෙන් ඉවසීමෙන් කටයුතු කළා. ජනාධිපතිතුමාට සහ අගමැතිතුමාට මේ ගැන අපි හැමෝම වගේ කියා සිටියා. එතුමන්ලා හොඳ ප්‍රතිචාරයක් අපට ලබාදුන්නා. ඔවුන්ගේ උපරිම සහාය දෙනවා කිව්වා. නීතිය හැමෝටම එකහා සමානව ක්‍රියාත්මක කරනවා කියපු එක ඉතා හොඳ දෙයක්.
ඒ පොරොන්දුවෙන් පසුව තමයි මේක අඩුවුණේ. ජාතීන් අතර සමගියක් ඇතිවෙන්න ඕන කියන මතයේ ජනාධිපතිතුමා සහ අගමැතිතුමා සිටින නිසා මේ ප්රශ්නය ගොඩක් දුරට මැඬපැවැත්විලා තියෙනවා.
Q මුස්ලිම් කටයුතු ඇමතිවරයා වශයෙන් මුස්ලිම් ජනතාව වෙනුවෙන් මොනවද ඔබගේ අමාත්‍යාංශ හරහා කරලා තියෙන්නේ?
දැනට මුස්ලිම් ජාතීන් මිලියන 2.5ක් පමණ ලංකාවේ සිටිනවා. සිකුරාදා දේවමෙහෙය කරන පල්ලි 2000ක් පමණ තියෙනවා. තවත් පල්ලි තිබෙනවා. පල්ලිවලත් විවිධ වර්ගයේ ඒවා තිබෙනවා. බොහෝ පල්ලි ලියාපදිංචි කරලා තියෙනවා. නමුත් සමහර පල්ලි ලියාපදිංචි නොවී පවත්වා ගෙන යන අවස්ථා තිබෙනවා. අපේ අමාත්‍යාංශය විසින් හජ් වන්දනා සම්බන්ධව සංවිධාන වැඩ සියල්ල කරනවා.
පල්ලිවල කටයුතු ගැන සොයා බලලා නීත්‍යානුකූල පැත්ත හා ලියාපදිංචි කිරීමේ වැඩ කරනවා. පල්ලි අතර සහ පරිපාලන සභා අතර ඇතිවන ප්‍රශ්න විසඳීමට මැදිහත් වෙනවා. නෝම්බ් කාලයේ වැඩකටයුතු කිහිපයක් සිදුකරනවා. සෞදියෙන් පරිත්‍යාග ලෙස රජයට ලැබෙන රටඉඳි පල්ලිවලට බෙදා හරිනවා.
Q බොදුබල සේනා සංවිධානය සම්බන්ධව රජයේ මැති ඇමතිවරුන් පවා විවිධ අදහස් පළකරන ආකාරය අපි දුටුවා. මුස්ලිම් ජාතිකයෙකු වශයෙන් ඔබතුමා එම සංවිධානය දකින්නේ කොහොමද?
බොදු බල සේනාව අන්තවාදී ලෙස කටයුතු කරන්නෙ. මම කියන්නෑ අපේ පැත්තෙනුත් එහෙම කරන්නෑ කියලා. අපේ පැත්තෙනුත් එවැනි අන්තවාදී කොටස් ඉන්නවා. ඒ නිසා තමයි මේ ප්‍රශ්න වැඩිවෙලා තියෙන්නෙ. අපි කියන්නේ ඕන ප්‍රශ්නයක් අපිත් එක්ක සාකච්ඡා කරන්න. පැහැදිලි කිරීමක් අවශ්‍ය නම්, අපට කරන්න පුළුවන්. අපට ජමිත් උලමා කියලා සභාවක් තියෙනවා.
ඕනම දෙයකට ඒ සභාව විවෘතයි. අපේ ආගම සම්බන්ධව යම් සැකයක් තිබෙනවානම්, දැනගන්න ඕනනම් ඒ අය විවෘතයි ඕනෑම වේලාවක කතාකරලා ප්‍රශ්න විසඳන්න. බොදු බල සේනාවේ අපේ ඥානසාර හාමුදුරුවෝ කුරාණයේ යම්යම් දේවල් ගැන සඳහන් කළා. ඒවා ගැන පැහැදිලි නැත්නම් අපේ කණ්ඩායම ඉන්නවා අහන්න පුළුවන්. මව්ලවිතුමන්ලා, උගත් පිරිසක් එතැන ඉන්නවා. අපි සාමයට කැමති, සාමය රකින ජන කොටසක්.
Q ඥානසාර හාමුදුරුවො මතුකරන කාරණයක් තමයි උතුරු නැගෙනහිර පළාත්වල තියෙන බෞද්ධ සිද්ධස්ථාන විනාශ කිරීමේ ව්‍යාපෘතියක මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් යෙදී ඉන්නව කියන එක. මුස්ලිම් කටයුතු ඇමතිවරයා වශයෙන් ඔබ මේ ගැන සොයාබැලීමක් කළාද?
අපි ජනාධිපතිතුමාට පැමිණිලි කළා, ඒ ගැන පරීක්ෂණයක් පවත්වන්න කියලා. ජනාධිපතිතුමා පසුව නියෝගයක් ලබාදුන්නා. සමහර ස්ථාන මුස්ලිම් අය කියනවා ඒ අයට අයිතියි කියලා. බෞද්ධ අය කියනවා ඒ අයට අයිතියි කියලා. ඒ සම්බන්ධව සොයාබැලීමක් කරලා නීත්‍යානුකූල පැත්තෙන් විසඳාගත යුතුයි. අපි රණ්ඩු වෙලා ප්‍රකාශ නිකුත් කරනවාට වඩා සාකච්ඡාවෙන් විසඳාගත යුතු ප්‍රශ්න මේවා.
Q බෞද්ධ සිද්ධස්ථාන විනාශ කරන්න මුස්ලිම් ජාතිකයන්ට වුවමනාවක් තියෙනවාද? අනෙකුත් ආගම් හා ජාතීන් සම්බන්ධව ඉස්ලාම් අගමෙන් උගන්වා ඇත්තේ කෙසේද?
එහෙම අදහසක් කිසිසේත්ම නැහැ. වෙනත් ආගමික මධ්‍යස්ථාන විනාශ කරන්න, අනෙකුත් ආගමිකයන්ට අගරු කරන්න කියලා අපේ අාගමේ කියලා නැහැ. නබිනායකතුමන්ගේ කාලයේ වුණත් එතුමාට විරුද්ධව ගිය අයට ගරුකරලා ඔවුන් සමග සමගියෙන් සිටි අවස්ථා ඕනතරම් තිබෙනවා.
අනෙකුත් ආගමිකයන් සහ ජාතිකයන් සමග සහයෝගයෙන් කටයුතු කරන්න කියලා තමයි අපේ ආගමෙන් කියන්නෙ. අනෙකුත් ජාතිකයන් වෙනත් ජනකොටසක් හැටියට අපි කිසිදෙනෙක දකින්නෑ. අපේම සහෝදර පිරිසක් හැටියටයි අපි සලකන්නෙ. එහෙමයි අපට ආගම උගන්වලා තියෙන්නෙ. මුස්ලිම් ජනතාව රජය සමග තිබෙන සම්බන්ධතාව ඈත්කරන්න පසුගිය කාලයේ යම්යම් සිදුවීම් කළා වෙන්න පුළුවන්.
මුස්ලිම් ජනතාව කාවදාවත් නිකන් රණ්ඩුවලට ගියේ නැහැ. අපි හැමවිටම පල්ලිවල උපදෙස් දෙන්නේ ඉවසීමෙන් කටයුතු කරන්න කියලා. අපි මේ රටේ ඉන්න සුළු ජාතීන්. ඒ නිසා කවුරු මොනවා කිව්වත් අපි ඒ ගැන කලබල වෙන්න අවශ්‍ය නැහැ.
ඥානසාර හාමුරුවෝ කිව්වා කියලා අසාද් සාලි වගේ අය උත්තර දෙන්න ගියාට මම ඇමතිවෙලා උත්තර දෙන්න ගියේ නැහැ. ඥානාසාර හාමුදුරුවන්ට උත්තර දෙන්න ගියාම උන්වහන්සේ තවත් මොනවා හරි කියනවා.
එතකොට තමයි ප්‍රශ්න වැඩිවෙන්නේ. රණ්ඩු වෙන්න කියලා අපේ ආගමේ කියලා නැහැ. මම නැවත වරක් ඥානසාර හාමුදුරුවන්ට ආරාධනා කරනවා අපේ ආගම ගැන යම් පැහැදිලි කිරීමක් අවශ්‍ය නම්, වැරදි මතයක් තිබෙනවා නම් ඇවිත් කතා කරන්න කියලා.
Q සිංහලයන් වඳ කිරීමට නොයෙකුත් උපක්‍රම සිදුවෙමින් තිබෙන බව බොදු බල සේනාව නිතර මතුකරන කාරණයක්. මුස්ලිම් අයට එවැනි අවශ්‍යතාවක් තිබෙනවාද?
අපි මොකටද එවැනි උත්සාහයක් දරන්නේ. අපට එවැනි අවශ්‍යතාවක් නැහැ. ඒක බොරු චෝදනාවක්. එහෙම එකක් නැහැ. එහෙම කළා කියලා අපට මොන වාසියද ලැබෙන්නේ. ඒ චෝදනාව මම ප්‍රතික්ෂේප කරනවා.
Q මුස්ලිම් සමාජයේ සිටින අන්තවාදී කොටස් පාලනය කරන්න වැඩපිළිවෙළක් නැද්ද?
හැම ආගමකම සිටිනවා ඔය වගේ අන්තවාදී සුළු කොටසක්. මුස්ලිම් අය අතරත් ඉන්නවා ඉතාමත් සුළු පිරිසක්. මම නෑ කියන්නේ නෑ. මම නම් එහෙම නැහැ. මම ඉන්නේ සිංහලයන් බහුතරයක් ඉන්න හාරිස්පත්තුව ආසනයේ. අන්තවාදී කණ්ඩායම් පාලනය කරන්න දැනට රටේ පවතින නීතිය ප්‍රමාණවත්. ඒ සඳහා අලුත් නීති අවශ්‍ය නැහැ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

