අන්න සර් ලොක්කා පළු හැලෙන්න සර්ට බැන්නා
නව ව්‍යවස්ථාවක් සැකසීම සඳහා මහජන අදහස් ලබාගැනීමේ කමිටුව පත්කර කටයුතු ආරම්භකර වසර දෙකකට ආසන්න කාලයක් ගතවීමෙන් පසුව, ව්‍යවස්ථා සම්පාදන මෙහෙයුම් කමිටුවේ වැඩකටයුතු ආරම්භ කළ පසුව, රටට නව ව්‍යවස්ථාවක් සම්පාදනය නොකරන ලෙස මහා නායක හිමිවරුන් රජයට කළ ප්‍රකාශය මේ දිනවල දැඩි අවධානයට යොමුවී ඇත.
එතැනින් නැවතී රජයේ බොහෝ කාර්යයන් සම්බන්ධයෙන් අස්ගිරි පාර්ශ්වය විවිධ ප්‍රකාශ නිකුත් කිරීමටද පසුගිය දින කිහිපය තුළ කටයුතු කළේය.
එක්වරම අස්ගිරි පාර්ශ්වය මෙලෙස රජයට සිය විරෝධය දැක්වීමට හේතුව කුමක්ද යන්න පිළිබඳව ආණ්ඩු පක්ෂයේ විවිධ පිරිස් සාකච්ඡා කරන්නට විය.
ව්‍යවස්ථාව හදන්නේ බල බලා ඉන්නද?
එම ප්‍රකාශයට පිළිතුරක් ලෙස සතියේ කැබිනට් මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක ඇමති රාජිත පැවසුවේ ව්‍යවස්ථාව හදන්නේ ගේන්න නැතුව බල බලා ඉන්නද? යැයි ප්‍රශ්න කරමිනි. ආණ්ඩුවට බහුතරයක් බලයක් ලැබුණ අතර, ආණ්ඩුව කටයුතු කරන්නේ ඒ අනුව බවත්, එයට භික්ෂූන් වහන්සේලා පූජකවරුන් ඇතුළු සියල්ලෝම ඇතුළත් බවත් ඇමති රාජිත කිව්වේය.
''ඉස්සරලා ව්‍යවස්ථාව මොකද්ද කියල බලන්න. ජේ. ආර්ගේ ව්‍යවස්ථාව හකුළා ගනිව් කියලා 78 ඉඳලා පෙළපාළි ගියා. දැන් කියනවා ජේ. ආර්ගේ ව්‍යවස්ථාව 'සංසාර චක්‍රය' පුරාම ගෙනියන්න කියලා. ලෝකෙ තියෙන හැම ව්‍යවස්ථාවක්ම වෙනස් වෙනවා. ඒ වෙනස් වෙනකොට ගේන්න යන ව්‍යවස්ථාව පිළිබඳ සාකච්ඡා කරලා හෙළිදරව් කරපුවාම ඒක හොඳද නැද්ද කියලා බලන්න ඕන. හොඳ නම් ගන්නවා, හොඳ නැතිනම් ගන්නෙ නැහැ. ඒකටනේ 225ක් ඉන්න පාර්ලිමේන්තුවක් පත්කරලා තියෙන්නේ.
ව්‍යස්ථාව හදලා තුනෙන් දෙකක බහුතරයක් අරගෙන ජනමත විචාරයට යනවා. එතකොට මේ හැමෝම ඇවිත් ජනමත විචාරණයට අදහස් දක්වන්න. බහුතර ජනතාවගේ මතය උඩයි ඒ ව්‍යවස්ථාව හරිද වැරදිද කියලා තීරණය කරන්නේ. එහෙම නැතුව එක එක සංවිධානවල මතය නෙවෙයි. හැමෝම ජනමත විචාරණයේදී අදහස් දක්වන්න.''
ව්‍යවස්ථාව සම්බන්ධයෙන් රටට කරුණු කීමට බෞද්ධ මහා සම්මේලනයද ප්‍රධාන භික්ෂූන් වහන්සේලා රැසක් සහභාගි කරවා ගනිමින් මාධ්‍ය හමුවක් අද දිනයේදී පැවැත්වීමට නියමිත අතර, රටට ව්‍යවස්ථාවක් අවශ්‍ය ඇයිදැයි මෙහිදී පැහැදිලි කිරීමට නියමිතය.
මධ්‍යම සංස්කෘතික අරමුදලට දෙන්නේ නැහැ
රංගිරි දඹුලු රජමහා විහාරයේ විහාර පාර්ශ්වය සහ අධ්‍යාපන අමාත්‍යාංශය අතර එකඟතාවකට පැමිණිමට නොහැකි වීම තුළ මේ වන විට රංගිිිරි දඹුලු ලෙන් විහාරයේ සංරක්ෂණ කටයුතු පවා ඇනහිට තිබේ. පසුගිය කාලසීමාව තුළ දඹුලු ලෙන් විහාරයේ විදේශිකයන්ට ප්‍රවේශපත්‍ර අලෙවි කිරීමෙන් ලබාගත් මුදල් අක්‍රමිකතාවක් සිදුවී ඇති බවත් ඒ පිළිබඳ විමර්ශනයන් කරන ලෙස එහි වත්මන් විහාරාධිපති ගොඩගම මංගල හිමි පෙබරවාරි 21 දින අධ්‍යාපන අමාත්‍යවරයාට ලිපි යොමුකර තිබේ.
එම ලිපියෙන් පසුව දඹුල්ල විහාරධිපති හිමියන් ඇතුළු සියළු පාර්ශ්වයන් සමග සාකච්ඡා කර අදාළ සංරක්ෂණ කටයුතු සහ විමර්ශන කටයුතු ආරම්භ කළ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් පසුගිදා ප්‍රකාශ කළේ අදාළ ලිපියද ප්‍රසිද්ධියට පත්කරමිනි.
එසේ වුවද මංගල හිමියන් පවසන්නේ අධ්‍යාපන අමාත්‍යවරයා සමග පැවැත්වූ සාකච්ඡාවෙන් පසුව අදාළ ලිපිය යොමුකළ බවය. අදාළ ලිපිය පෙබරවාරි 21දා යොමු කළ බවද මංගල හිමියෝ ප්‍රතික්ෂේප කරයි.
දඹුලු විහාරයේ ඉදිරි කටයුතු පිළිබඳ පෙබරවාරි 16 දින අමාත්‍යාංශයේදී රැස්වීමක් පැවැත්වුවා. ඒ අවස්ථාවේදී අජිත් ජයසුන්දර පැවසුවා පසුගිය කාලයේ මුදල් අවභාවිත වෙලා තියෙනවා කියල. ඒ නිසා මම ඒ අවස්ථාවේද ඇමතිතුමාට යෝජනා කළා මෙවැනි මුදල් අවභාවිතයක් වෙලා තියෙනවා නම් විධිමත් පරීක්ෂණයක් පවත්වන්න කියා.
විහාර සංරක්ෂණය සම්බන්ධයෙන් ලිපි යොමු කරමිනිනුත් මේ බව කිව්වා. මාර්තු මස 11දා ලිපියකින් ප්‍රවේශපත්‍ර අලෙවි කරනවා නම් විහාර සංවර්ධන අරමුදලට බැර කරගෙන ලෙස ඉල්ලා සිටියා යැයි මංගල හිමියෝ පැවසූහ.
මේ අතර එහි භාරකාර හිමිවන අඹගස්වැව රාහුල හිමියන් පවසන්නේ රංගිරි දඹුලු විහාරය කිසිසේත්ම මධ්‍යම සංස්කෘතික අරමුදලට ලබානොදෙන බවයි.
සයිටම් ගැන ආණ්ඩුවෙන් එක මතයක්
ආණ්ඩු පක්ෂයේ රැස්වීමක් අරලියගහ මන්දිරයේදී පැවැත්වූයේ ජනාධිපති මෛත්‍රී හා අගමැති රනිල්ගේ ප්‍රධානත්වයෙනි. ආණ්ඩුවේ එජාප කණ්ඩායම එයට සහභාගී වුවද ශ්‍රීලනිප කණ්ඩායමේ කිහිපදෙනෙකු පමණක් රැස්වීමට එක්ව සිටියහ. කුණු ප්රශ්නය විසඳීම ඇමති පාඨලීට භාරදීමද මෙහිදී සිදුවිය.
ආණ්ඩු පක්ෂයේ රැස්වීමේදී නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා සයිටම් ප්‍රශ්න පිළිබඳ මතුකළ අතර, එහිදී ඔහු පවසා ඇත්තේ මෙය නීතිමය තත්ත්වයකට එහා ගිය බරපතළ දේශපාලන අර්බුදයකට ගොස් ඇති බවයි. මේ නිසා කඩිනමින් අවධාන යොමුකර විසඳිය යුතු බව කරුණු සහිතව පෙන්වා දෙන්නට විය. ඔහුගේ යෝජනාව සිදුකළ පසු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අත්පොළසන් දෙමින් එය අනුමත කරන්නට විය.
කෙසේ වෙතත් සයිටම් සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ සියලු දෙනා එක් මතයකට පැමිණිය යුතු බවද මෙහිදී තීරණයකට පැමිණ තිබේ. මෙම හමුවෙන් පසුව සයිටම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා රජයේ නීති විශාරදයන්ගෙන් නීතිමය තත්ත්වයද පැහැදිලි කරගත්තේ මෙම ප්රශ්නය කඩිනමින් විසඳීමේ අරමුණෙනි.
ජනාධිපති කියන විශේෂ දේ මොකද්ද
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට විශේෂ කාරණයක් පැවසීමට ඇති බව ප්‍රකාශ කරමින් ජනාධිපති මෛත්‍රී ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීමක් කැඳවා තිබුණි. එසේ වුවද එදින මන්ත්‍රීවරුන් සියල්ලෝම පැමිණ නැති බව පවසමින් එම විශේෂ කරුණු පැවසීම ජනාධිපතිවරයා කල් දැමුවේය.
සඳුදා දිනයේදී පැවති කණ්ඩායම් රැස්වීමට ජනාධිපතිවරයා පැවසුවේ විශේෂ කාරණයක් පැවසීමට ඇති බව කියමිනි. කෙසේ හෝ රැස්වීම අවසන් වනතුරුම ජනාධිපතිවරයා එය ප්‍රකාශ නොකළ අතර වෙනත් දිනයකදී එය පවසන බව කියමින් ජනාධිපතිවරයා පිටව ගියේය.
ජනාධිපතිවරයා මේ කියන්නට හදන්නේ මොකද්ද කියා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර කසුකුසු නිර්මාණය වී ඇති අතර, දෙවරක්ම එය කල් දැමුවේ ඇයිද යන්නත් ඔවුන්ට ප්‍රශ්නයක් වී ඇත.
දඹදෙණියේ දේශපාලන පෙරළියක්?
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග වැදුණ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට දඹදෙණිය ආසනයේ මැතිවරණ කටයුතු සඳහා පූර්ණ සහයෝගය ලබාදුන්නේ අලව්ව ප්‍රදේශීය සභාවේ හිටපු සභාපති සුමිත් රාජපක්ෂයි.
එසේ වුවද ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් දඹදෙණිය ආසන සංවිධායක ධුරය සඳහා ඉදිරි මැතිවරණයේදී අපේක්ෂකත්වය රණවිරු සේවා අධිකාරියේ හිටපු සභාපති පද්මා වැත්තෑවට ලබාදීමට මහින්ද රාජපක්ෂ තීරණය කිරීමත් සමග සුමිත් රාජපක්ෂ දැඩි කලකිරීමට පත්ව සිටියි.
පසුගිය දිනක දඹදෙණිය රාජ මහා විහාරයට හිටපු ජනාධිපති මහින්ද පැමිණියද සුමිත් රාජපක්ෂ එම අවස්ථාවට සහභාගී නොවූයේ එම තීරණයට විරෝධය පෑමක් ලෙසිනි.
මේ නිසාම සුමිත් රාජපක්ෂ කුරුණෑගල එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම් නායක අමාත්‍ය අකිල හමුවීමට ගොස් තිබුණේ එක්සත් ජාතික පක්ෂයට එක්ව දඹදෙණිය එජාප සංවිධායකකම ලබාගැනීමටයට. එදින අමාත්‍ය අකිල හමුවීමට නොහැකි වීම නිසාවෙන් එම අවස්ථාවද සුමිත්ට අහිමි වී තිබේ.
මොරගහකන්ද නිසා මාතලේට ජල හිඟයක්
ජනාධිපති මෛත්‍රීගේ දැඩි උවමනාව මත නිම වූ මොරගහකන්ද ජලාශයට මේ වන විට ජලය පිරෙමින් පවතී. එම ජලාශයට ජලය පිරිමෙන් පවතින අතර, මාතලේ දිස්ත්‍රික්කයේ ජනතාවට ජලය අහිමි වෙමින් පවතින්නේද මොරගහකන්ද නිසා යැයි ජනතාව චෝදනා කරයි.
මාතලේ දිස්ත්‍රික්යේ ගොවීන් චෝදනා කරන්නේ ගොවිතැනට පවා ජලය අහිමි වී ඇති බවය. කණ්ඩලම ජලාශයේද ජලය භාගයකට වඩා අඩුවී ඇති අතර, මේ හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ දේශපාලඥයන්ට පවා චෝදනා කරමින් සිටියි. මෙම ප්රශ්නය විසඳුමක් ලබාදෙන ලෙසද ඔවුන් ප්‍රසිද්ධියේ ඉල්ලීය.
උණු වඩේ දුන් ඇමතිට මහින්දගෙන් තුති
ඌව පළාත් හිටපු මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ විසින් ඉරිදා දිනයේදී මොනරාගල විහාරස්ථාන කිහිපයක සංවිධානය කර තිබූ රැස්වීම් කිහිපයකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහභාගි විය. විහාරස්ථානයක පැවැති උත්සවයකට පද්ම උදය ශාන්ත පැමිණ සිටියේ රතුලූනු කිලෝවක්ද අතැතිවය.
“බලන්න සර් දැන්නම් බඩු මිල සෑහෙන ගණන්. මං පොළට ගිහින් ලූනූ ගද්දි පොඩි මිනිහා කොහොම ගන්නවා ඇතිදැයි හිතුණා'' උදයශාන්ත කීවේය.
මේ ආණ්ඩුව කරන දේවල්වල හැටියට ඉස්සරහට ලූනු නෙවෙයි ලූනූ බිකක්වත් කන්න ලැබෙන එකක් නැහැ ''මහින්ද එවිට පැවසීය. එම රැස්වීමට රතුගල ආදිවාසීහු පිරිසක්ද පැමිණ සිටියහ. “මට පද්ම උදය ශාන්ත මන්ත්‍රීතුමා එන්න කියලා ආරාධනා කළා. ඒත් මට ආරාධනා කළේ නැතත්, සර් එනවා කියලා ආරංචි වුණාම එන්න තමයි හිටියේ. අපට ගෙවල් දීලා ජීවිතය ගෙනියන්න ඔබතුමා උදවු කළ හැටි අපට මතකයි'' රතුගල නායකයා කීවේය.
විමලවීර දිසානායක, මහින්දානන්ද අලුත්ගමගේ, පද්ම උදයශාන්ත ඇතුළු පිරිසක් ත්‍රිකුණාමලයේදී සඳුදා පැවැති ඒකාබද්ධ විපක්ෂයේ 'නැගෙනහිර ඇරඹුම' රැස්වීමට එක්විය. එහි සංවිධාන කටයුතුවල යෙදී සිටියදී කන්තලේ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා පැවසුවේ,
''අපි කන්තලේට මේ රැස්වීම ඉල්ලුවේ. ඒත් දුන්නේ ත්‍රිකුණාමලයට. කන්තලේට දුන්නා නම්, අපට සංවිධාන කටයුතුවලට පහසුයි සර්'' කියා පැවසීය.
එහිදී සී.බී. රත්නායක කීවේ එම රැස්වීම ත්‍රිකුණාමලයට දුන්නේ මුස්ලිම් දෙමළ ජනතාවගෙන් ඉල්ලීමක් තිබුණු නිසා බවයි. මේ අතර සුවිශේෂී සිද්ධියක් වූයේ රැස්වීමේ සංවිධාන කටයුතු කරන පිරිසට ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරයෙකුගෙන් උණුඋණු වඩේ පාර්සලයක් ලැබීමයි. එම ඇමතිවරයා නැගෙනහිර රැස්වීමට පිටුපස සිට උපරිම සහාය ලබාදී තිබිණි.
එම ඇමතිවරයාගෙන් ලැබුණු සහාය හේතුවෙන් රැස්වීමේ කටයුතුවලට විශාල ශක්තියක් වූ බව රැස්වීමේ මූලිකත්වය ගෙන කටයුතු කළ විමලවීර එවිට පැවසීය. කොළඹ සිට මහින්ද මෙම රැලියට සහභාගි වීමට පැමිණියේ සැහැල්ලු ගුවන් යානයකිනි.
රැස්වීමෙන් පසුව අසල හෝටලයකට මහින්ද සමග මන්ත්‍රී පිරිස ගිය අතර, මහින්ද තේ එකක් බොන ගමන් රැස්වීමට උදවු කළ ඇමතිවරයාට දුරකථන ඇමතුමක් ගෙන ස්තුති කළේය. ''අපට උදවු කළාට බොහොම ස්තුතියි. අපි ඕවා අමතක කරන්නෙ නැහැ'' මහින්ද කිව්වේ සිනහවෙමිනි.
ව්‍යවස්ථාදායක කමිටුවෙන් ඉවත් වෙන්න තියෙන හොඳම අවස්ථාව මේක තමයි
අඟහරුවාදා උදෑසන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්විණි. ඒකාබද්ධ විපක්ෂයට ආණ්ඩුව සලකන ආකාරය ගැන මෙහිදී මන්ත්‍රීවරුන් පැවසුවේ චෝදනා මුඛයෙනි. ව්‍යවස්ථාදායක කමිටුවෙන් ඉවත් වීමටද මෙහිදී තීරණයක් ගත්තේය.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග වෙනස් කර ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවේ නගන හඬ යටපත් කිරීමේ වෑයමක යෙදී සිටින බව මන්ත්‍රී තාරක බාලසූරිය පෙන්වා දුන්නේය. ඒ අනුව දිනේෂ්, සිසිර ජයකොඩි, තාරක ඇතුළු පිරිසක් කථානායකවරයා හමුවූහ.
එහිදී කථානායක කරු ජයසූරිය කීවේ, එවැනි සූදානමක් නැති බවයි. අනතුරුව එදින රාත්රියේදී මහින්ද රාජපක්ෂගේ නිල නිවසේදී යළිත් මන්ත්‍රී කණ්ඩායම රැස්වූහ. ''මහා සංඝරත්නය පවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට විරෝධය පළකරලා තියෙනවා.
එම තීරණයේ තවදුරටත් ඒකාබද්ධ විපක්ෂය සිටිය යුතුයි ''මහින්ද කීවේය. ව්‍යස්ථාදායක කමිටුවෙන් ඉවත් වෙන්න තියෙන අවස්ථාව මේක තමයි. තවත් කල්මැරිය යුතු නැහැ'' ප්‍රසන්න රණතුංග අනතුරුව පැවසීය.
මහින්දට ගොටු අල්ලන ඇමතිවරු
අඟහරුවාදා පැවැති කැබිනට් රැස්වීමේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපති මහින්දට දැඩි ලෙස දෝෂාරෝපණය කරමින් කතා කළේය. මහින්දට ගොටු අල්ලන ඇමතිවරුන් කැබිනට් මණ්ඩලයේ සිටින බවද මෛත්‍රී එහිදී කීවේය. වැඩි වේලාවක් යෑමට පෙර මහින්ද මෙය දැනගත්තේය.
''අන්න සර්, ලොක්කා පළු හැලෙන්න සර්ට බැන්නා. මාස තුනක් කල් ඉල්ලනවා ඇමතිවරුන්ගෙන්, සර්ට දඬුවම් කරන්න. අද නම් හොඳටම මළ පැනලා හිටියෙ. ශ්‍රී ලංකා එකේ ඇමතිවරු ඉලක්ක කරගෙන තමයි බැන්නෙ'' කැබිනට් රැස්වීම පැවැති ශාලාවෙන් පිටතට පැමිණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරයෙකු දුරකථනයෙන් මහින්දට කීවේය.
කැබිනට් රැස්වීමේ උණුසුම පහව යන්නට පෙර තවත් ඇමතිවරුන් දෙතුන් දෙනෙක්ම මහින්දට කතාකර විස්තර පැවසීය. මහින්ද එම ඇමතිවරුන්ට කීවේ “වෙන මොකවත් නෙවෙයි තනිකරම වෛරයක් තියෙන්නෙ. රටේ ලොකු විරෝධතා රැල්ලක් යන හින්දා මිනිහට දරාගන්න බැරුව ඇති. මං ඒවා පිටුපස්සෙ ඉන්නවා කියලා මිනිහා හිතනවා ඇති'' කියාය.
මේ ගැන මහින්ද ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන්ට පැවසූ අවස්ථාවේදී ‘ආයතන තුනක බලය මාස තුනකට එයාට දෙන්න කියලා කියන එක තරම් විහිළුවක් තවත් නෑ සර්‘ ප්‍රසන්න කීවේ අසල සිටි මන්ත්‍රී පිරිසද සිනහ ගන්වමිනි.
තාත්තලාට වඩා එකක් හරි වැඩියෙන් හදමු
33 වැනි 'උදාගම්මානය' වන 'කණ්ඨාරභරණගම' විවෘත කෙරුණේ කැකිරාව මැතිවරණ කොට්ඨාසයේ පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පැල්බැදියාවේදීය. ඇමති සජිත් ප්‍රේමදාස එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ සමග සෑම නිවසකම පීත්ත පටි කපමින් එම නිවෙස් සියල්ල විවෘත කළේය.
උත්සව වේදිකාවේ අසුන් ගෙන සිටිද්දී සජිත් චන්දිමගෙන් හදිසියේම ඇසුවේ,
''අපේ තාත්තයි, ඔයාගෙ තාත්තා මහින්දසෝම ඇමතිතුමයි එකතු වෙලා මෙහේ කොච්චර උදාගම්මාන හදලා තියෙනවාද?'' කියාය. චන්දිමගේ පිළිතුර වුණේ, “ගොඩක් හදල තියෙනවා. ගණන් නම් හරියට කියන්න දන්නේ නෑ'' යනුවෙනි. සජිත් එවෙලේම සිය නිලධාරීන්ට පැවසුවේ, එම ගම්මාන පිළිබඳ සංගණයක් කර නිවැරදි සංඛ්‍යාව ඉක්මනින්ම ලබාදෙන ලෙසයි.
සජිත් අනතුරුව චන්දිමට කීවේ ''අපේ තාත්තයි ඔයාගේ තාත්තයි හදල තියෙන ගම්මාන ගාණට 1ක් හරි වැඩියෙන් අපි දෙන්න එකතුවෙලා හදමු'' කියාය.
මොළේ පෑදෙන්න ගියපු කාලය
රට තුළ උද්ගත වී ඇති තත්ත්වය සම්බන්ධයෙන් සහ දේශපාලඥයන්ගේ වැරදි සම්බන්ධයෙන් කැබිනට් හමුවේදී අදහස් දක්වමින් ඇමති රාජිත විශේෂ කාරණයක් කිව්වේය. එය මෙසේය.
''සිංහල භාෂාව සමග දෙමළ භාෂාවට තැන දෙන්න කියලා කිව්වාම මෙහෙ මිනිස්සු කිව්වා දෙමළ භාෂාවට සාධාරණ තැන දුන්නොත් සිංහල භාෂාව විනාශ වෙනවා කියලා ඒ 1958. එතකොට 1998 මොකද කළේ. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය දෙමළ භාෂාව රටේ රාජ්‍ය භාෂාව කරනවා. තාත්තා ඉරනවා, දුව ඉරපු එක ඊටත් වඩා එහාට ගිහින් දෙනවා.
58 දි කරන්න තිබුණ දේ ගැන මොළේ පෑදෙන්න අවුරුදු 40ක් ගියා. රට ගිනි තියලා, විනාශ කරලා යුද්ධයකට ආවට පස්සෙ තමයි අපේ අයගෙ මොළේ පෑදෙන්නෙ දෙමළ රාජ්‍ය භාෂාව කළ යුතුයි කියලා. බලය බෙදීමත් එහෙමයි. බලය බෙදනකොට ඔක්කොම කෑගැහුවා. කෑගහලා මිනීමැරුවා. අපේ නායකයො කීදෙනෙක් මරාගත්තද?. මරාගත්ත අය පළාත් සභාවට ගියෙ නැද්ද? එයාලා පළාත් සභාවේ වාඩිවෙලා ලැජ්ජා නැතිව කියනවා පළාත් සභාවේ රිමෝට් කන්ට්‍රෝල් එක එයාලා කියලා.
එයාලා රිමෝට් කොන්ට්‍රෝල් වුණාම පළාත් සභා හොදයි. ඊළඟට තව මනුස්සයෙක් පක්ෂෙකින් ඇවිත් ප්රඥප්තියක් ගහලා ඇමති බලතලත් අරගත්තා. ඒ විතරක් නෙවෙයි නෝනා පුද්ගලික ලේකම් කරගත්තා. මෙහෙම තමයි මේ රටේ සියලු දේශපාලන ප්‍රශ්න විසඳලා තියෙන්නේ.
රට ගැන හිතලා නෙවෙයි බලයට තියෙන කෑදරකම නිසා මෙහෙම වෙලා තියෙන්නේ. මේවා ජාතික ප්‍රශ්න කරලා සිංහල දෙමළ තරුණයෝ ලක්ෂයක් මරපු එකේ පාපකර්මය තියෙන්නේ ප්‍රධාන වශයෙන් දේශපාලඥයන්ට. දෙවැනි වශයෙන් මාධ්‍යවේදීන්ට.
මේ එංගලන්තය නෙවෙයි ලංකාව
පාර්ලිමේන්තුවේ ප්‍රධාන ඇගයීම් සඳහා කාලය වැඩි වශයෙන් යොදවන බවත්, ප්‍රධාන කටයුතුවලට ඉඩක් නොමැති බවත් යන ප්රශ්නය බදාදා දිනයේ යොමු විය. එහිදී අගමැති රනිල් කියා සිටියේ එංගලන්තයේ මෙලෙස නොවන අතර, ලොතරැයි ක්‍රමයට ප්‍රශ්න තෝරා ඒවා ඉදිරිපත් කරන බවත්, අපිත් එසේ විය යුතු බවත්ය.
එහිදී සිනහසෙමින් මන්ත්‍රීවරු කීවේ, මේ එංගලන්තය නොව ලංකාව බවයි.
කසළ කළමනාකරණය ගැන පාර්ලිමේන්තුවේ ප්රශ්නය මතු කළ අවස්ථාවේ ඊට පිළිතුරු ලබාදෙමින් අගමැති රනිල් කියා සිටියේ රාජපක්ෂවරුන් රටට ඉතිරි කර ගියේ කුණු හා ණය කන්දක් පමණක් බවයි. නමුත් මේ ආණ්ඩුව රාජපක්ෂවරුන් වගේ නොව, රට ණය බරින් මෙන්ම කුණු බරිනුත් නිදහස් කරන බව කියා සිටියේය.
තරහ ඉවරද?
චන්දිම වීරක්කොඩි ඇමතිවරයා සහ එජාපයේ විජේපාල හෙට්ටිආරච්චි මන්ත්‍රීවරයා කසළ බැහැර කිරීම සම්බන්ධව පසුගිය සතියේදී ගාල්ලේ පැවැති රැස්වීමකදී එකිනෙකාට චෝදනා කරගත්හ. එහෙත් මේ සතියේ සඳුදා පැවැති බද්දෙගම ශාන්ත අන්තෝනි විද්‍යාලයේ සියවැනි සැමරුම් උත්සවයට ඔවුන් දෙදෙනා එක්ව සුහදව කතාබස් කරමින් සිටින ආකාරය දැකිය හැකි විය.
මෙදින ප්‍රධාන ආරාධිතයා වූයේ චන්දිමය. පැයක පමණ කාලයක් දෙදෙනා සිසුන්ගේ ප්‍රදර්ශන කුටි නැරඹිමටද සහභාගි වූහ. ඔවුන් දෙදෙනා දෙස බොහෝ දෙනා විමසිල්ලෙන් බලා සිටියේ ''පසුගිය සතියෙ බැණගත් දෙන්නා දැන් යහළුවෝ වගේ සිටිනවා'' යැයි පවසමිනි. චන්දිමගෙන් හා විජේපාලගෙන් ජනතාව විමසා සිටියේ සර්ලාගේ තරහ දැන් ඉවරද කියාය. ''ඔව් ඔව් ඒවා ඔක්කොම ඉවරයි'' දෙදෙනාම පිළිතුරු දුන්හ.
කොළඹ විශ්වවිද්‍යාලය ප්‍රතිපාදන කොමිසමෙන් ගැලවීමේ උත්සාහයක්?
කොළඹ විශ්වවිද්‍යාලය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතේ ක්‍රියාත්මක වීමේ පටිපාටිය වෙනස් කර එම විශ්වවිද්‍යාලයට ස්වාධීන තීරණ ගැනීමේ අයිතිය ලබාදීමට යන බවට ආරංචියක්. ජවිපෙ මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්සට දැනගන්නට ලැබුණේ මාසයකට පමණ ඉහතදීය. මේ සම්බන්ධව ජවිපෙ මන්ත්‍රී කණ්ඩායම තුළ සාකච්ඡාවට ලක්විය.
''මේ කරන්න යන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේත් පාඨමාලා විකුණන්න. දේශපාලඥයන්ට ඕන විදියට විශ්වවිද්‍යාලය හසුරුවන්න ක්‍රමයක් හදාගන්නයි මේ උත්සාහ කරන්නේ” වෛද්‍ය නලින්ද ජයතිස්ස කියා සිටියේය. “මේක යූඑන්පී මන්ත්‍රීවරයෙක්ගේ මැදිහත්වීමෙන් තමයි කෙරෙන්නේ. ආණ්ඩුව කරන්න ඕනෑ විශ්වවිද්‍යාල අලුතෙන් හදන එක. නමුත් දැන් කරන්න යන්නේ තියෙන ඒවත් නිදහස් අධ්‍යාපනයෙන් ගලවන එක” බිමල් රත්නායක කීවේය.
''ඔව්, විශ්වවිද්‍යාල ප්රතිපාදනෙන් ගැලෙව්වාම කොළඹ විශ්වවිද්‍යාලයට ස්වාධීන තීරණ ගන්න පුළුවන්. තමන්ට කැමති විදියට සිසුන් තෝරගන්න. පාඨමාලා හදලා විකුණන්න පුළුවන්. බටහිර රටවල් කරන දේවල් අපේ රටට ගෙඩිය පිටින් ගේන්න හදන්නේ. ඒක කරන්න දෙන්න හොඳ නැහැ. මේකෙන් වෙන්නේ තවත් නිදහස් අධ්‍යාපන කප්පාදුවක්” සුනිල් හඳුන්නෙත්ති කීවේය.
මේ අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් සොයා බැලීමට ක්‍රමයක් යොදාගත යුතු බව තීරණය විය. ඒ අනුව කොළඹ විශ්වවිද්‍යාල පරිපාලනය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම කෝප් කමිටුවට කැඳවා මේ පිළිබඳව විමර්ශනයක් කළ යුතු බව යෝජනා විය. පසුගිය හතරවෙනිදා එම කෝප් කමිටු රැස්වීම පැවැත්වූ අතර, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමද එවැනි උත්සාහයක් තිබෙන බව පිළිගත්තේය.
“කොළඹ කැම්පස් එක රටේ විවිධ පර්යේෂණවලට මැදිහත් වෙන විශ්වවිද්‍යාලයක්. අපිට වටිනා සම්පතක්. ඒක රැකගන්න ඕනෑ. ඒ වගේම විශ්වවිද්‍යාලයෙන් කරන පර්යේෂණ කටයුතු ජනතාවට දැනගන්න ක්‍රමයක් වගේම ඒවායේ ප්‍රතිඵලවලින් ජනතාවට වැඩක් ගන්නේ කොහොමද කියලා වැඩපිළිවෙළක් හදන්න ඕනෑ” කෝකෝ සභාපති සුනිල් හඳුන්නෙත්ති යෝජනා කළ අතර, නිලධාරීන්ගෙන් එයට යහපත් ප්‍රතිචාර ලැබිණි.
මුතුරාජවෙලට කුණු දාන එක බිස්නස්කාරයන්ගෙයි ඇමතිගෙයි වැඩක්...
මුතුරාජවෙල අභය භූමියට කසළ දැමීමට ආණ්ඩුව ගත් තීරණයත් සමග අවට ප්‍රදේශයේ ජනතාවගෙන් විශාල විරෝධයක් එල්ල විය. මේ පිළිබඳව ජනතාවගේ ඉල්ලීම පරිදි විජිත හේරත් මන්ත්‍රීවරයාද එම ප්‍රදේශය නිරීක්ෂණය කිරීමට ගියේය. ඒ අවස්ථාවට ප්‍රදේශයේ පියතුමන්ලා ඇතුළු පූජ්‍ය පක්ෂයද, ප්‍රදේශවාසීහුද විශාල ප්‍රමාණයක් එක්වූහ. “මන්ත්‍රීතුමා කොළඹ කුණු අපිට එපා කියන්න. මීතොටමුල්ලට කරපු වැඩේ මුතුරාජවෙලටත් කරන්න යනවා” ප්රදේශවාසියෙක් කීවේය.
“බර වාහන පාරේ යනකොට අපේ ගෙවල් ඉරි තලලා. ඒවට වන්දි දෙන්නේ කවුද? ආණ්ඩුවට කිසිම දේකට හරි උත්තරයක් නැහැ. ආණ්ඩුව කරන හැමදේකින්ම දුක්විඳින්නේ අපි වගේ අසරණ මිනිස්සු” තවත් කාන්තාවක් විජිත හේරත් සමග කීවේය. “මේක අභය භූමියක්. දැන් ආණ්ඩුව තමයි වැරැද්ද කරන්නේ. ආණ්ඩුව ජනතාවට කියනවා කසළ වෙන්කරලා දෙන්න කියලා.
නමුත් කොළඹ නගර සභාව කිසිදු වෙන්කිරීමක් නැතුව අභය භූමියට කුණු ගෙනත් දානවා. ආණ්ඩුවට තමයි නඩු දාන්න වෙලා තියෙන්නේ. මෙතන තව ජාවාරමක් තියෙනවා. මේ ප්‍රදේශයේ ඉඩම් අයිති බිස්නස්කාරයින් කිහිපදෙනෙක් ඉන්නවා. එයාලට ඕන වෙලා තියෙනවා තමන්ගේ ඉඩම් ටික ගොඩ කරගන්න. කුණු ප්රශ්නය පාවිච්චි කරලා ඇමතිලයි බිස්නස්කාරයෝ ටිකයි එකතුවෙලා ඉඩම් ගොඩකරගන්න මේක පාවිච්චි කරනවා.” විජිත හේරත් අවධාරණය කර සිටියේය.
දියවන්නාරාළ විසිනි
[email protected]
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

