අපවත් වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ගිහි පැවිදි පිරිස් දහස් ගණනින් කෝට්ටේ ශ්‍රී නාග විහාරයට පැමිණෙමින් සිටිති.
සිංගප්පූරුවේ සිට පෙරේදා (08දා) රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපළට වැඩම කරවන ලද උන්වහන්සේගේ ශ්‍රී දේහය ඊයේ පෙරවරු කාලය දක්වා බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තිබිණි.
අනතුරුව ඊයේ පෙරවරු 8.00 ට පැමිණි රිය පෙරහරකින් කෝට්ටේ ශ්‍රී නාග විහාරයට රැගෙන ආ ශ්‍රී දේහය සෝභිත හිමියන්ගේ කුටිය තුළ පැයක් පමණ වැඩම කර තැබීය. පෙරවරු 9.00 ට පමණ මහජන ප්‍රදර්ශනය සඳහා ප්‍රධාන ධර්ම ශාලාවේ තැන්පත් කළ ශ්‍රී දේශය දැක බලාගැනීමට දහස් ගණනින් පිරිස් පැමිණියහ.
අපවත්වී වදාළ අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහයෙන් පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව ආදාහන පූජෝත්සවය සඳහා වූ සියලු වියදම් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් දැරීමට තීරණය කළ බව ඊයේ (09දා) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබුණු බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේදී ලබන 12 වැනිදා ආදාහන පූජෝත්සවය පවත්වන බැවින් එදින මත්පැන් අලෙවිය, මස් පිණිස සතුන් ඝාතනය කිරීම හා මස් අලෙවිය තහනම් කර ඇතැයි අබේවර්ධන මහතා අවධාරණය කළේය.
එසේම කොළඹ දිස්ත්‍රික්කය තුළ පිහිටි සියලු සිනමාශාලා එදිනට වසා තැබීමට තීරණය කළ බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
12 වැනිදා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙන බවත්, සෝභිත හිමියන්ට සිදුකරන ගෞරවයක් වශයෙන් රජයේ සෑම ආයතනයකට සහ සෑම නිවසකම කහ වර්ණ ධජයක් ඔසවා ශෝකය ප්‍රකාශ කරන්නැයි මහජනතාවගෙන් ඉල්ලා සිටින බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.
මේ අතර, පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය වෙනුවෙන් අනිද්දා (12දා) දින බස්නාහිර පළාතේ සියලුම පිරිවෙන් සඳහා නිවාඩු ලබාදීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. අදාළ නිවාඩු දිනය වෙනුවෙන් නොවැම්බර් මස 28 වැනි සෙනසුරාදා දිනයේ හිලව් සැසියක් පැවැත්වෙන බවද අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
ඡායාරූප ක්‍රිෂාන් රණසිංහ