පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇලහැර බකමූණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි සිරි කඳුයාය ප්‍රාථමික විදුහලේ අධ්‍යාපනය ලබන දරු දැරියන් සියලු දෙනාටම සති ගණනාවක සිට ගස් යට අකුරු කිරීමට සිදුව තිබේ.මීට හේතුවී ඇත්තේ විද්‍යාලය සතුව තිබෙන එකම ගොඩනැගිල්ල කඩාවැටීමේ අවදානමට පත්ව තිබීමයි.
මේ පිළිබඳව විදුහල්පතිවරයා සහ දෙමවුපියන් උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ සිට වගකිය යුතු සියලුම නිලධාරීන්ට ලිඛිතව හා වාචිකව දැනුම් දී ඇතත් මේ වන තුරු විසඳුමක් ලැබී නොමැති බවට වාර්තාවේ.
තම දරුවන් අපහසුතා මධ්‍යයේ ගස් යට අව්වට වේලෙමින්, වැස්සට තෙමෙමින් ඉතා අපහසුතා මධ්‍යයේ අධ්‍යාපන කටයුතු වල නිරතවීම තවදුරටත් බලා සිටීමට නොහැකි තැන තමන් මේ බව මාධ්‍ය මගින් රටට හෙළිදරව් කිරීමට තීරණය කළ බවද දෙමව්පියෝ පවසති.
ඒ අනුව ඊයේ (21දා) එම සිද්ධිය වාර්තා කිරීමේ අරමුණින් සිරි කඳුයාය විද්‍යාලයට ගිය මාධ්‍ය කණ්ඩායමට විද්‍යාලයට ඇතුළු වීමට පවා අවසර නොලැබුණි.
මාධ්‍ය කණ්ඩායමක් පාසලට පැමිණෙන බව කලින්ම දැන ගැනීමට ලැබීම නිසා විදුහල්පතිවරයා විසින් පාසලේ ගේට්ටුව ඉබි යතුරු දමා වසා දැමූ බව එහි ගුරුවරු පැවසූහ.
එහිදී අදහස් දැක්වූ විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරිය බව හඳුන්වා දුන් ගුරුවරියක කියා සිටියේ විදුහල්පතිවරයා තමන්ට දැනුම් දී සිටියේ මධ්‍යවේදීන් එන බවට ලැබුණු තොරතුරක් මත ගේට්ටු වසා දැමූ බවත් මාධ්‍යවේදීන්ට පාසලට ඇතුළුවීමට ඉඩ නොදෙන ලෙසත්ය.
එසේම අබලන්ව ඇති විද්‍යාලයේ ගොඩනැගිල්ල අලුත්වැඩියා කරන බවට විදුහල්පතිවරයා තමන් වෙත දැනුම් දුන් බවද නියෝජ්‍ය විදුහල්පතිවරිය ලෙස නම් නම කියූ ගුරුවරිය අප සමග පවසා සිටියාය.
මෙම විද්‍යාලයේ සිසු සිසුවියන් හැත්තෑපස් දෙනෙකු අධ්‍යාපනය ගන්නා බවත් විද්‍යාලයේ ගුරුවරුන් අට දෙනකු සිටින බවත් අප විසින් ඇයගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු ලබා දෙමින් පැවසුවාය.
විද්‍යාලයට ඇතුළුවීමට අවස්ථාව නොමැති නිසා එහි පිටතට සිට දරුවන් ඉතා අපහසුතා මධ්‍යයේ අකුරු කරන ආකාරය අපගේ කැමරා කාචවල සටහන කර ගැනීමට සිදු විය.
කෙසේ වෙතත් මේ පිළිබඳ මාධ්‍යවේදීන්ට තොරතුරු ලබාදුන් දෙමවුපියන් සියලු දෙනාම මේ අවස්ථාව වන විට විද්‍යාලය ඉදිරිපිටට පැමිණ සිටීම ද විශේෂත්වයක් විය. එහිදී අදහස් දැක්වූ ඔවුන් කියා සිටියේ සති දෙකක පමණ කාලයක සිට තම දරුවන් මේ ආකාරයෙන් ගස් යට සිට අධ්‍යාපනය ලබන බවයි. මේ නිසා ඔවුන් දැඩි අසීරුතාවකට පත්ව සිටින බවද ඔවුහු වැඩිදුරටත් පවසා සිටියහ.
මීට වසර දෙකකට ඉහත දී විද්‍යාලයේ ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කොට සංවර්ධනය කළ බවද ඒ සඳහා විශාල මුදලක් රජය මගින් වියදම් කළ බවද දෙමවුපියෝ සඳහන් කර සිටිති.
මෙම කොන්ත්‍රාත්තුව නිසියාකාරව සිදු නොවීම නිසා නැවතත් වසර දෙකක් යන්නට මත්තෙන් ගොඩනැගිල්ල කඩා වැටීමේ අවදානමට පත්ව ඇති බවද ඔවුහු පවසති.
මේ තත්ත්වය විදුහල්පතිවරයා විසින් මාධ්‍යයට සිද්ධිය වසන් කිරීමේ උත්සාහයක නිරතවන බවද දෙමවුපියෝ වැඩිදුරටත් චෝදනා කරති.
උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව විද්‍යාලයේ විදුහල්පති ආර්.එම්.රත්නසූරිය මහතාගෙන් විමසීමට නියෝජ්‍ය විදුහල්පතිවරිය යැයි පවසන ගුරුවරියගෙන් විදුහල්පතිවරයාගේ දුරකථන අංකය ඉල්ලා සිටි අවස්ථාවේ ඇය පවසා සිටියේ තමන්ට විදුහල්පතිවරයාගේ නම හෝ දුරකථන අංකය ලබාදිය නොහැකි බවයි.