එප්පාවල පොලිස් වසමෙහි නල්ලමුදාව බොරවැව ප්රදේශයේ වළකට වැටී සිටි වන අලියෙකු එම ගම්වාසීහු එක්ව ඊයේ (06දා) ගොඩ ගත්හ.
එප්පාවල නල්ලමුදාව බොරවැව වැවෙහි ජලය ලබාගැනීමට කැපූ අඩි 8 ක් පමණ ගැඹුරුවළකට මෙම වන අලියා වැටී සිටිනු ගම්වාසීන් ඊයේ (06දා) අලුයම දැක ඇත. මෙම වන අලියා දැක ගැනීමට විශාල පිරිසක් එම ස්ථානයට පැමිණ සිටියහ.
ගම්වාසීහු එක්ව අලියා වැටී සිටි වළට ලී කොට දමමින්, එම වළෙහි බැම්මෙහි පස් කපමින් මහත් පරිශ්රමයක් යොදා අලියා ගොඩට ගැනීමෙහි නිරත වූහ.මේ අතර ගම්වාසීන් පිරිසක් වළට වැටුණු අලියා ගොඩට ගැනීමට උත්සාහ දරද්දී තවත් පිරිසක් වළට වැටුණු අලියාගේ නැට්ටෙහි කෙඳි ගැලවීමෙහි නිරත වූයේ අසරණව සිටි වන අලියාට සරදම් කරන්නාක් මෙනි. ඔවුන් කිහිප දෙනෙක්ම අසරණව සිටි වන අලියාගේ නැට්ටෙහි කෙඳි කීපයක් ගලවා ගත්හ.කෙසේ වෙතත් ගම්වාසීන් එක්ව මහත් පරිශ්රමයක් දරා වළේ වැටී සිටි වන අලියා ගොඩට ගත් අතර, තමන්ට ගොඩ ඒමට කළ උපකාරයට ගම්වාසීන්ට ස්තූති කරන්නාක් මෙන් ගොඩට පැමිණි වන අලියා හොඬවැල උස්සා කැළයට දිව ගියේය.