කුණාටු සහිත අයහපත් කාලගුණයක් මැද ඇමෙරිකාවේ ෆ්ලොරීඩාහි ගුවන් තොටුපලකට ගොඩබට ගුවන් යානයක් ගුවන් පථයෙන් ලිස්සා ගොස් අසල පිහිටි ගංගාවක නතර වී තිබේ.
බෝයිං 737 වර්ගයට අයත් ගුවන් යානයේ සිටි මගීන් 143 දෙනාගෙන් කිසිවෙකුටත් මෙම සිද්ධියෙන් බරපතල තුවාල සිදුව නොමැති වුවත්, පුද්ගලයන් 20 දෙනෙකුට සුළු තුවාල සිදුව තිබේ.
මයාමි එයාර් ඉන්ටර්නැෂනල් සමාගමට අයත් මෙම යානය කියුබාවේ ගුවන්තනාමෝ බේ සිට ඇමරිකාවේ ජැක්සන්විල් හි හමුදා කඳවුරක් බලා පියාසර කරමින් තිබිණි.
සිකුරාදා රාත්රියේ ගුවන් යානය ගොඩබාන විට කුණාටු තත්ත්වයක් පැවතුණු අතර, එය ගුවන් පථයෙන් ඉවත ගොස් අසළ පිහිටි ශාන්ත ජෝන්ස් ගංගාවට ලිස්සා ගිය බව මගීහු පැවසූහ.