සිරියාවේ කාන්තාර ප්‍රදේශවල පසුගිය දින කිහිපය තුළ සිදුවූ IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන්ගේ ප්‍රහාරවලින් එරට රජයට පක්ෂපාතී හමුදාවන්ගේ සෙබලු 35 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
බ්‍රිතාන්‍ය කේන්ද්‍ර කරගත් නිරීක්ෂණ කණ්ඩායම් පවසා සිටියේ හොම්ස් සහ ඩයර් අල්සෝර් පළාත්වලදී මෙම ප්‍රහාර එල්ල වී ඇති බවයි.
IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන්ගේ පුවත් වාර්තා මෙම ප්‍රහාර තහවුරු කර තිබුණත්, සිරියානු රජය මෙම ප්‍රහාර තවම සනාථ කර නැත.
සිරියාවේ ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් සතුවූ අවසන් බලකොටුව ලෙස සැලකෙන බගූස් ඔවුන්ට අහිමිවීමත් සමග ඇතැම් ත්රස්තයන් කාන්තාර ප්‍රදේශවලට පළාගිය බව පසුගිය කාලයේදී වාර්තා විය.
පසුගිය මාර්තු 23දා කුර්දි සටන්කාමීන් ඇතුළු සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා පවසා සිටියේ ඔවුන් සිරියාවේ සම්පූර්ණ ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත බලකොටු බිඳ දැමූ බවයි.
මෙය ඉස්ලාම් රාජ්‍ය සිහිනය බිඳ වැටීමක් ලෙස ඔවුන් සඳහන් කළද, යුද විශේෂඥයන් පවසා තිබුණේ, මෙම ම්ලේච්ඡ ජිහාඩ් ත්රස්තවාදීන් සම්පූර්ණයෙන් අවසන් වූ බව මින් ගම්‍ය නොවන බවයි. ඔවුන්ගේ මතවාදය තවදුරටත් ඔවුන් විවිධ සමාජ තලවල දිගහරිමින් සිටින බව එම අනතුරු ඇඟවීම්වල සඳහන් වී තිබේ.