"අපිට මුහුණු වහාගෙන ඉන්න වෙනවා. අපිට කරන්න තියෙන්නෙ උයන්න විතරයි, හරියට වහල්ලු වගේ. අපිට තවත් මේ ජීවිතය ගෙවන්න බෑ. අපිට අපේ කියල ජීවිතයක් අවශ්‍යයයි." මෙසේ පවසා තිබුණේ සෞදි අරාබියෙන් පළා ආ තවත් යුවතියකි.
25 හැවිරිදි වෆා අල්-සබේයි සහ ඇගේ සහෝදරිය වන 28 හැවිරිදි මහා අල්-සබේයි මේ වනවිට ජෝර්ජියාවේ එරට රාජ්‍ය ආරක්ෂාව මධ්‍යයේ තාවකාලිකව රැඳී සිටියි.
ඔවුන් මේ වනවිට ජාත්‍යන්තරයේ පිහිට ඔවුන් වෙනුවෙන් ඉල්ලා සිටින්නේ වඩාත් සාමකාමීව ජීවත්වීම සඳහා ඔවුන්ට නිදහස් රටක් ලබාදෙන ලෙසය.
ඒ වෙනුවෙන් ඔවුන් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන්ද ඉල්ලීමක් කර ඇති අතර, මෙය සෞදි අරාබියෙන් තරුණියන් අලුත් ජීවිතයක් බලාපොරොත්තුවෙන් පළා ආ පළමු අවස්ථාව නොවීය.
ඔවුන් සෞදි ගමන් බලපත්‍රය යොදාගෙන ජෝර්ජියාවට පැමිණ ඇති අතර, එරටට පැමිණීමට ඔවුන්ට වීසා අවශ්‍ය නොවෙයි.
ජෝර්ජියාවේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙම සහෝදරියන් පවසා සිටියේ ජෝර්ජියාව තමන්ට ජීවත්වීමට ආරක්ෂිත ස්ථානයක් ලෙස තමන් නොසලකන බවයි.
මන්දයත්, වීසා නිදහස සමග ඔවුන්ගේ ඥාතීන්ට, විශේෂයෙන්ම පුරුෂ පක්ෂයට ඉතා පහසුවෙන් ඔවුන් සොයා පැමිණීමට හැකි බව ඔවුන් සඳහන් කර ඇත.
එහිදී, ඔවුන්ට සෞදි අරාබිය අනාරක්ෂිත බව හැඟෙන්නේ ඇයිදැයි මාධ්‍ය ප්‍රශ්න කළ අවස්ථාවේදී මෙම තරුණියන් පවසා ඇත්තේ, ඔවුන් කාන්තාවන් නිසා සෞදිය අනාරක්ෂිත බවයි.
ඔවුන්ගේ පවුලේ උදවිය සෑම දිනකම ඔවුන්ට තර්ජනය කරන බවත්, එරට පුරුෂාධිපත්‍ය විසින් උපතේ සිට මරණය දක්වාම කාන්තාවගේ ජීවිතය ඔවුන්ට අවශ්‍ය ලෙස පාලනය කරන බවත් මෙම යුවතියන් පවසා තිබේ.