තමා අත්වැරැද්දකින් වැරදි දේශපාලන පක්ෂයට ඡන්දය භාවිත කළේ යැයි පවසමින් ඉන්දියානුවෙක් සිය දබරැඟිල්ල තමා විසින්ම කපාගත් සිදුවීමක් වාර්තා වෙයි.
සමාජ වෙබ් අඩවි ඔස්සේ ව්‍යාප්ත වූ වීඩියෝවක දැක්වෙන්නේ, පවන් කුමාර් නමැති මෙම තැනැත්තා තමා අත්වැරදීමකින් භාරතීය ජනතා පක්ෂයට ඡන්දය ලබාදුන් බව පැවසූ පුවතකි.
තමාට උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ප්‍රාදේශීය වශයෙන් ප්‍රබල දේශපාලන පක්ෂයකට ඡන්දය ලබාදීමට අවශ්‍යව තිබුණත්, ඡන්ද ප්‍රකාශ කිරීමේ යන්ත්‍රයේ පැවති පක්ෂ සලකුණු රාශිය නිසා ඔහු ව්‍යාකූලත්වයට පත්ව ඇත.
ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව සෑම ඡන්ද දායකයෙකුගේම දබරැගිල්ලේ මැකීමට අපහසු තීන්ත සලකුණක් තබන අතර, මෙම තීන්ත සලකුණු නැතිකර ගැනීමට ඔහු ඇඟිල්ල කපාගෙන ඇත.
පවන් කුමාර් පසුගියදා ඡන්දය භාවිත කර ඇත්තේ, උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ බුලන්ද්ෂාර් ප්‍රදේශයේදීය. ඉන්දීය මහ මැතිවරණ ඡන්ද විමසීමේ දෙවැනි අදියර යටතේ එහි ඡන්ද විමසීම සිදුකර තිබුණි.
"මට ඕන වුණේ අලියාට ඡන්දය දෙන්න, ඒත් වැරදිලා මම ඡන්දය දුන්නේ මලට" යැයි ඔහු පවසා තිබේ.
කෙසේ වෙතත්, ඉන්දියාවේ දේශපාලන උණ බොහෝ දෙනෙකුට පවතින බව සත්‍යයක් වුවත්, මෙම සිදුවීම පිටුපස කිසියම් දේශපාලන පක්ෂයක ප්රචාරක වැඩසටහනක් ක්‍රියාත්මක වන බවටද මතයක් පවතී. මන්දයත්, භාරතීය ජනතා පක්ෂයට ඡන්දය දීම ඇඟිල්ල කපා ගැනීමක් බව ගම්‍ය කිරීමට මෙය යොදාගත්තේ යැයි ඇතැම්හු පවසති.
ඉන්දීය මහ මැතිවරණය අදියර 7ක් යටතේ පැවැත්වෙන අතර, ඡන්ද ගණනය කිරීම මැයි 23දා සිදුවේ. ලොව ප්රජාතන්ත්රවාදී රාජ්‍යයක පැවැත්වෙන විශාලතම මැතිවරණය සඳහා මිලියන 900ක ඡන්ද දායකයන් පිරිසක් සිටිති.