වයඹදිග ෆ්ලොරීඩාව වෙත එදාමෙදා තුර බලපෑ දරුණුතම සුළි කුණාටුව නිසා වෙරළබඩ නගර රැසක් ජලයෙන් යටවී ගස් කඩා වැටීම් හා වේගවත් සුළං නිසා බොහෝ නිවාසවලට අලාභානි සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි.
ගොඩබිම වෙත ඇතුළු වනවිට තුන්වැනි ප්‍රවර්ගයේ සුළි කුණාටුවක් ලෙස මයිකල් සුළි කුණාටුව ෆ්ලොරීඩාවට ඇතුළු වී ඇති අතර, ඒ වනවිටත් පැයට කිලෝමීටර් 200 ඉක්මවන සුළං ඉන් ලැබී තිබේ.
ෆ්ලොරීඩා බලධාරීන් පවසන පරිදි ගස් කඩා වැටීම නිසා එක් පුද්ගලයෙකු මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.
මෙම සුළි කුණාටුව මෙතරම් ප්‍රබලත්වයකින් නොවුණත්. ඉදිරියේදී ඇලබාමා සහ ජෝර්ජියා යන ප්‍රාන්ත වෙතද ප්‍රබල බලපෑමක් ඇති කරනු ඇති බව කාලගුණ විද්‍යා අංශ පවසයි.
ක්ෂණිකව ඇති වූ මෙම සුළි කුණාටු තත්ත්වය බොහෝ දෙනෙකු විමතියට පත්වූ අවස්ථාවක් බවද කියැවේ.
මෙක්සිකෝ බොක්ක ආශ්‍රිතව මුහුදේ පවතින අසාමාන්‍ය උෂ්ණ ජලය මෙම සුළි කුණාටුව ඇති කර තිබෙන බවද කාලගුණ විද්‍යා අංශ පෙන්වා දෙයි.
මෙම මයිකල් සුළි කුණාටුව හේතුවෙන්ම මධ්‍යම ඇමෙරිකාවේ හොන්ඩුරාස් රාජ්‍යයේ පුද්ගල මරණ 6ක්, නිකරගුවාවේ 4ක් සහ එල් සැල්වදෝරයේ 3ක් වාර්තා වෙයි.
ෆ්ලොරීඩාවේ ජීවත් වන 370,000ක පමණ ජනතාවකට ඉවත්වන ලෙසත්, හැකිතරම් උස් භූමීන් හි රැඳී සිටින ලෙසත් බලධාරීන් උපදෙස් ලබාදී තිබුණි.