ඉන්දීය මහ මැතිවරණයේ ප්‍රථම අදියර සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම අද (11දා) ආරම්භ වී ඇති අතර, මෙය ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පිළිබඳ ජනමත විචාරණයක් බඳු ඡන්දයක් යැයි දේශපාලන විචාරකයෝ පවසති.
ඉන්දියාවේ ප්‍රාන්ත සහ ඒකාබද්ධ පළාත් 20ක ජීවත් වන මිලියන 900ක ඡන්දදායකයන් පිරිසක් මෙවර ඡන්ද පාවිච්චි කරන අතර, ඔවුන් ඡන්ද කොට්ඨාස 91ක, ඡන්ද පොළ මිලියනයකදී සිය ඡන්දය ප්‍රකාශ කරමින් සිටියි.
අදියර 7ක් යටතේ පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණය ලබන මැයි මස 19දා දක්වා පැවැත්වෙන අතර, ඡන්ද ගණන් කිරීම් මැයි මස 23දා ආරම්භ වෙයි.
මිලියන 900ක ලියාපදිංචි ඡන්දදායකයන් පිරිසක් මෙවර මැතිවරණය වෙනුවෙන් සිය ඡන්දය ප්‍රකාශ කිරීමට සූදානමින් සිටින නිසා මෙය ප්රජාතන්ත්රවාදී රාජ්‍යයක පැවැත්වෙන ලොව දැවැන්තම මැතිවරණය ලෙස හැඳින්වීමේ වරදක් නැත.
2014 වසරේ අවසන් වරට පැවති මහ මැතිවරණයෙන් වත්මන් අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය දැවැන්ත ජයග්‍රහණයක් ලැබීය.
ලොක් සභාව හෙවත් ඉන්දීය පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය සඳහා වූ ආසන 543ක් වෙනුවෙන් මෙම දැවැන්ත මැතිවරණය පැවැත්වෙන අතර, එය ජයග්‍රහණය කර රජයක් පිහිටුවීමට නම් කිසියම් පක්ෂයකට හෝ සන්ධානයකට ආසන 272ක බලයක් අවශ්‍ය වෙයි.
කොංග්‍රසය නියෝජනය කරමින් රාහුල් ගාන්ධි සමග ඔහුගේ සොහොයුරිය ප්‍රියාංකා ගාන්ධි දේශපාලනයට පිවිස මෙවර ඡන්ද සටනට පැමිණ සිටියත් ඔවුන්ට තනි බලයක් ලබාගැනීම පහසු නොවනු ඇති බව දේශපාලන විචාරකයෝ පවසති.