ලොව පුරා වෙසෙන කිතුණු බැතිමතුන්ට දිගින් දිගටම එල්ල කෙරෙන හිරිහැර මගින් ඔවුන් සමූලඝාතනය කෙරෙන තරම් අවදානම් සහගත තත්ත්වයක් පවතින බව එක්සත් රාජධානියේ විදේශ ලේකම් ජෙරමි හන්ට්ගේ නියෝගයක් අනුව සැකසූ වාර්තාවක් මගින් පෙන්වා දී තිබේ.
බී.බී.සී.ය වාර්තා කරන ආකාරයට, බ්‍රිතාන්‍යයේ ට්රුරෝ ප්‍රදේශයේ රදගුරු අති උතුම් පිලිප් මවුන්ස්ටීවන්ගේ නායකත්වයෙන් සිදුකෙරුණු අධීක්ෂණයකදී ඇස්තමේන්තු කර ඇත්තේ සෑම පුද්ගලයන් තිදෙනෙකුගෙන් එක් අයෙකු ආගමික හිරිහැරවලට ලක්වන බවය.
ඒ අතරින් වැඩිම හිරිහැරයට ලක්වන්නේ ක්‍රිස්තියානි භක්තිකයන් බව එම වාර්තාව පෙන්වා දී ඇති බවත්, දේශපාලන නිරවද්‍යතාව රඳවා ගැනීමට දරණ උත්සාහය හේතුවෙන් මෙතෙක් ඉහත කී තත්වය සම්බන්ධයෙන් අභියෝග එල්ල කර නොමැති බවත් විදේශ ලේකම් ජෙරමි හන්ට් පවසා ඇත.
ඒ අනුව, ක්‍රිස්තියානි භක්තිකයන් සමූලඝාතනය කිරීමේ ක්රියාවලියෙහි ප්‍රතිඵලයක් ලෙස ඇතැම් මැදපෙරදිග රටවලින් ඔවුන් මකා දැමීමේ මෙහෙයුමක් සිදුවෙමින් පවතින බවද තවත් අතුරු වාර්තාවක දැක්වෙන බව බී.බී.සී.ය පවසයි.
ඒ අනුව, භූගෝලීය වශයෙන් ක්‍රිස්තියානි ආගමට එල්ලවන පීඩනය පමණක් නොව, එල්ල වෙමින් පවතින හිරිහැරවල දරුණුකම ගැනත් සාක්ෂි ඇති බව රදගුරු අති උතුම් පිලිප් මවුන්ස්ටීවන් සඳහන් කර තිබේ.
සමූලඝාතනය යන්න එක්සත් ජාතීන්ගේ සංගමය විසින් නිර්වචනය කරනු ලැබ ඇති ආකාරයට ආසන්න මට්ටමක පීඩනයක් සමහර කලාපවල දැකගත හැකි යැයි කිතුනු ආගමික නායකයන් වැඩිදුරටත් පවසා තිබේ.
2018 වසරේ පාකිස්තානයේ ක්‍රිස්තියානි කාන්තාවක් ඉස්ලාම් ආගමට අපහාස කළ බවට චෝදනා කරමින් ඇයට මරණීය තර්ජන එල්ල කිරීමේ සිද්ධිය කෙරෙහිද අවධානය යොමු කරන ලෙස බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරයා ඉල්ලා තිබුණි. කෙසේ වෙතත්, ඇයට මේ වනවිට කැනඩාවේ දේශපාලන රැකවරණය හිමිව තිබේ.
මීට අමතරව, පුද්ගලයන් 250කට අධික ප්‍රමාණයකට මරු කැඳවමින් තවත් 500කට පමණ තුවාල සිදු කරමින් පාස්කු ඉරිදා දින ශ්‍රී ලංකාවේ එල්ල කෙරුණ ප්‍රහාරයෙන් පසුව ඉහත කී වාර්තාව සැකසීමට අදාළ අධීක්ෂණ කටයුතු ආරම්භ කොට ඇති බවද බී.බී.සී.ය වැඩිදුරටත් සඳහන් කරයි.
ක්‍රිස්තියානි භක්තිකයන්ට සිදුවන හිරිහැර හමුවේ ලොව වටා රටවල ආණ්ඩු නිද්‍රාශීලී පිළිවෙතක් අනුගමනය කරන්නේ යැයි තමන් සිතන බවත් බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරයා පවසා තිබේ. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ සිදු වූ ප්‍රහාර සහ මේ වාර්තාව මගින් සියල්ලෝම දැඩි කම්පනයකට පත්කර අවදි කර තිබෙන බව ඔහු පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, තවමත් අවසන් නොවූ මෙම සම්පූර්ණ වාර්තාව ඉදිරි මාස කිහිපය තුළ සිදු කිරීමට නියමිත අවසාන අධීක්ෂණ කටයුතුවලින් පසු එළිදැක්වීමට නියමිත බව වැඩිදුරටත් සඳහන් වෙයි.