පුද්ගලයන් 188 දෙනෙකු රැගත් ලයන් එයාර් ගුවන් යානයක් ඉන්දුනීසියාවේ ජකාර්තා නුවරින් ගුවන්ගත වී විනාඩි කිහිපයකින් සාගරයට කඩා වැටී තිබේ.
JT-610 දරණ මෙම යානය පැන්ග්කාල් පිනැන්ග් වෙත ගමන් කිරීම ආරම්භ කිරීමත් සමග මෙම අනතුර සිදුව ඇති අතර, යානය අවසන් වරට උදෑසන 6.33ට පමණ පාලක මැදිරිය වෙත කතා කර තිබේ.
එමෙන්ම, යානය යළිත් ගුවන් තොටුපොළ වෙත හරවාගෙන ඒමටද නියමුවා පාලක මැදිරියෙන් විමසීමක් කර ඇති අතර, ගුවන්ගත වී විනාඩි 13කින් මෙම අනතුර සිදුව තිබේ.
එහිදී, යානය යළි හරවාගෙන ඒමට අවසර ලබාදී තිබුණත්, ඉන් මොහොතකට පසුව යානය රේඩාර් තිරයෙන් අතුරුදන්වූ බව පාලක මැදිරිය කියයි.
කෙසේ වෙතත්, මෙම අනතුරට හේතුව මෙතෙක් නොදන්නා අතර, යානය අලුත් යානයක් බවත්, නියමුවා පළපුරුදු නියමුවෙකු බවත් කියයි.
අනතුරින් පසුව යානයේ සුන්බුන් මුහුදේ විසිරී තිබුණු අතර, මුදාගැනීමේ කණ්ඩායම් ජීවිත මෙහෙයුම් සිදුකරමින් සිටින බව විදෙස් වාර්තා පවසයි.