ලොව විශාලතම ජන සහභාගීත්වය සහිත උත්සවය ලෙස පිළිගැනෙන කුම්භ මේලා සැණකෙළිය මෙවරත් ඉන්දියාවේ අලහබාද් නගරයේදී ආරම්භ වී තිබේ.
ජනවාරි දෙවැනි සතියේ සිට මාර්තු දක්වා මිලියන 120ක් පමණ වන්දනාකරුවන්, ගංගා, යමුනා සහ පුරාවෘතයේ සඳහන් සරස්වතී ගංගාවන්ට සංගම් නදිය එක් වන ස්ථානයේ ස්නානය කරමින් මෙම උත්සවයට සහභාගී වෙයි.
එසේ ස්නානය කිරීම මගින් තමන්ගේ පව් සේදී, ඉපදීමෙන් සහ මරණයෙන් මිදුණු ස්වර්ගය උදාකර ගත හැකි බව හින්දු බැතිමත්හු විශ්වාස කරති.
සෑම වසර 12කට වරක්ම කුම්භ මේලා සැණකෙළිය පැවැත්වෙන්නේ, අලහබාද් ලෙස කලින් හැඳින්වූ මෑතකදී ප්රයග්රාජ් ලෙස හඳුන්වන උතුරු ඉන්දියාවට අයත් නගරයේය.
අද (15දා) සැණකෙළිය සාම්ප්රදායික ලෙස ඇරඹීමත් සමග ම මිලියන 15 - 20 ත් අතර ජනකායක් පැමිණෙනු ඇතැයි සංවිධායකයෝ අපේක්ෂා කරති.
නමුත් පෙබරවාරි 04 වන දිනට යෙදෙන ස්නානය සඳහා වන හොඳම නැකත් දිනයට මිලියන 30ක ජනයා සහභාගි වනු ඇතැයි අපේක්ෂා කෙරෙයි. ඒ අනුව, කුම්භ මේලා සැණකෙළිය මාර්තු 04 වන දින අවසන් වීමට නියමිතය.
මෙවර පැවැත්වෙන කුම්භ මේලා උත්සවය "අර්ධ් කුම්භ්" ලෙස හැඳින්වෙන අතර, එය පූර්ණ කුම්භ මේලා උත්සව දෙකක් අතර මැද පැවැත්වෙන උත්සවයකි. අවසන් වරට පූර්ණ කුම්භ උත්සවයක් උදා වූයේ, 2013 වසරේදීය.