රුසියානු පාලනයේ පවතින ක්රිමියානු අර්ධද්වීපයේ පිහිටි පාසලක් තුළ ඊයේ (17දා) හටගත් විවෘත වෙඩි තැබීමකින් සහ පිපිරිමකින් එහි සිටි සිසුන් ඇතුළු 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
වයස අවුරුදු 18ක එම විද්‍යාලයේම ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකු ස්වයංක්‍රීය ගිනි අවියක් රැගෙන පාසල වෙත ඇතුළුව දිගට හරහට වෙඩි තබා ඇති අතර, පසුව ඔහුද වෙඩි තබාගනිමින් සියදිවි හානි කරගෙන තිබේ.
ක්‍රිමියාවේ කර්ච්හි පිහිටි තාක්ෂණික විද්‍යාලයේ සිදුවූ මෙම වෙඩි තැබීමට පෙර යම් පිපිරීමක්ද වාර්තා වූ බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.
මෙහිදී තුවාල ලැබූවන් 50 ඉක්මවා ඇති අතර, හඳුනා නොගත් උපකරණයක් යොදා ගනිමින් මෙම පිපිරීම සිදුකර ඇති බවද කියැවෙයි.
වර්ෂ 2014 දී රුසියාව විසින් යුක්රේනයට අයත්ව පැවති ක්‍රිමියා අර්ධද්වීපය සිය ග්‍රහණයට නතු කරගනු ලැබීය.
එතැන් සිට මේ දක්වා ක්රිමියාව පාලනය කරනු ලබන්නේ රුසියාවේ සහාය ලබන කැරලිකරුවන් විසිනි.
මේ සිදුවීම සම්බන්ධයෙන් දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරන බව ක්රිමියානු බලධාරීන් පියවර ගෙන ඇත.