15 හැවිරිදි හරිත් මන්සූර් පාසල් යාම වෙනුවට යේමනයේ සනා හි කුඩා සාප්පුවක ගනුදෙනුකරුවන් සඳහා කුකුළන්ගේ බෙල්ල මිරිකමින්, පිහාටු නෙලමින් සහ ඔවුන්ට නැවුම් මස් ලබා ගනිමින් සිය කාලය ගත කරයි.
වසර හයක යුද්ධයෙන් දුගීභාවයට පත් යේමනයේ බොහෝ පාසල් යන වයසේ දරුවන්ට අත්ව ඇති ඉරණම මෙයයි. ඔවුන්ට ඉගෙනීමට වඩා තම පවුල පෝෂණය කිරීම හා සෙසු අය රැකගැනීම සඳහා වෙනත් විකල්පයක් නැත.
"මගේ පියාට ගෙදර වියදම් තනිවම පියවා ගත නොහැකි නිසා මට මේ රැකියාව කරන්න වුණා. පාසලට හෝ වෙනත් දේ සඳහා අපට මුදල් නෑ" 8 වැනි පන්තියෙන් සිය ඉගෙනීම නැවැත්වූ මන්සූර් පැවසීය.
15 හැවිරිදි අබ්දෝ මුහම්මද් ජමාල්ස් අගනුවර වෙනත් තැනක, තමා සේවය කරන යකඩ වැඩපළට අවශ්‍ය වානේ බට කපමින් සිටියි.
බටහිර යේමනයේ පිහිටි ඔහුගේ උපන් නගරය වන හොඩෙයිඩා හිදී වසර දෙකකට පෙර ඇති වූ ගැටුම්වලදී සිය දෙමාපියන් සහ සහෝදර සහෝදරියන් අට දෙනෙකු අසල්වැසි ගම්බද ප්‍රදේශවලට අවතැන් විය. ඔහුගේ පියා අසනීප වී රැකියාවක් කිරීමට නොහැකි වීමත් සමග ජමාල්ස් සහ ඔහුගේ සහෝදරයා සමග සානා වෙත පදිංචියට ගියහ.
ජමාලේස් දිනකට රියාල් 3,000-4,000 (ඩොලර් 6-7) උපයන නමුත් ඉන් අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් ආහාර සහ නවාතැන් සඳහා යන බැවින් ගෙදර යැවීමට ඉතිරි වන්නේ සොච්චම් මුදලකි.
මෙවැනි පාසල් යන වයසේ දරුවන්ගේ අසුන්දර හා දුක්බර කතා රැසක් යේමනයෙන් වාර්තා වන අතර, යුද ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස බොහෝ දරුවන්ගේ අධ්‍යාපනය අතරමග කඩාකප්පල් වී ඇත.