ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර නිවසක් නොමැති වැඩිහිටි පුද්ගලයෙකු විසින් සුරතලයට ඇති කළ මීයෙකු පොලීසියේ මැදිහත්වීමෙන් මසකට පමණ පසුව යළිත් සොයා දී තිබේ.
ක්‍රිස් නමැති 59 හැවිදිරි මෙම තැනැත්තා සිය සුරතල් මීයාට ලුසී ලෙස නම් තබා තිබූ අතර, සිඩ්නි නුවර මොවුන් දෙදෙනා පිළිබඳ නොදන්නා අයෙකු නොමැති තරම් යැයි කීම මූසාවක් නොවේ.
සිඩ්නි වැසියන්ගෙන් ලැබෙන ආධාරයෙන් ජීවත් වන ක්‍රිස්, දිනක් තමා ඉදිරියේ වූ පෙට්ටියේ මෙම ලුසී සුරතලා බහා, අසල කැසිකිලියකට ගිය අවස්ථාවේදී ඌ අතුරුදන්ව ඇත.
මෙම සිදුවීමෙන් පසු ලුසී ලැගුම් ගන්නා හිස් පෙට්ටියේ ලුසී නැවත සොයාදෙන ලෙස ආයාචනාත්මක වදන් පෙළක් ඔහු ලියා තබා ඇති අතර, මේ සම්බන්ධයෙන් සිඩ්නි පොලීසියේ මෙන්ම, ජනතාවගේද අවධානය යොමුව ඇත්තේ ඒ අනුවය.
අනතුරුව, ලුසී සම්බන්ධයෙන් දන්නා අයෙකු වෙතොත් තොරතුරු දන්වන ලෙස පොලීසිය මහජනතාවට දන්වා ඇති අතර, සමාජමාධ්‍ය තුළින්ද ඒ සම්බන්ධයෙන් විශාල ප්‍රසිද්ධියක් ලබාදී තිබේ.
අවසානයේදී එක් කාන්තාවක මෙම සුරතල් මීයා යළි පොලීසියට ගෙනැවිත් භාරදී ඇති අතර, මහමග පෙට්ටියක සිටි මෙම මී සුරතලාට අයිතිකරුවෙකු නොමැති බව සිතා ඌ රැකබලා ගැනීමට නිවසට රැගෙන ගිය බව ඇය පවසා තිබේ.
කෙසේ වෙතත්, අවසානයේදී ක්‍රිස් පොලීසියට කැඳවා ඔහුගේ පැරණි සුරතලා නැවතත් ඔහුට ලබාදී ඇති අතර, මෙය තමා වඩාත් සතුටට පත්වන අවස්ථාවක් බව එහිදී ක්‍රිස් පවසා තිබේ.
එමෙන්ම, මේ කාර්යයේදී පොලීසිය මෙන්ම ජනතාව දැක්වූ සහයෝගයට ඔහු කෘතඥ වී ඇති අතර, ඒ වෙනුවෙන් කරදරවීම ගැන සමාව ඉල්ලීමටද මෙම අහිංසක මිනිසා කටයුතු කර ඇත.