තායිලන්තයේ මහා වජිරාලොන්ග්කෝන් රජු ඔටුනු පැළඳූ මෞලි මංගල්‍යය සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර සමග මහත් උත්සවශ්‍රීයෙන් අද (04දා) පැවැත්විණි.
දින තුනක් පැවැත්වෙන මෙම උත්සව මාලාවේ වඩාත් ආරක්ෂණීයම ඔටුනු පැළඳීමේ උත්සවයට පෙර රජු පවිත්‍ර ජලයෙන් නා පිරිසුදු වීම සිදුවිය.
රජු මෙම අභිෂේකය ලැබීමට දින කිහිපයක් තිබියදී සරණපාවා ගත් සිතුදා රැජින ඇතුළු රාජකීය පවුලේ සියලු කුමාරිකාවන් මෙම අවස්ථාවට එක්විය.
භූම්බෝල් අදුල්යාදේව් රජුගේ අභාවෙන් පසුව තායිලන්තයේ සිහසුන මහා වජිරාලොන්ග්කෝර්න් රජු වෙත පැවරුණු අතර, නිල වශයෙන් රජු අභිෂේක ලැබීම අද ආරම්භ විය.
ව්‍යවස්ථාපිත රාජාණ්ඩුවක් තායිලන්තය තුළ පැවතියත්, එරට රජ පවුලට රටේ ජනතාව තුළ මහත් වූ භක්තියක් පවතී. එමෙන්ම, රටේ දේශපාලන බලයේද සැලකිය යුතු කොටසක් රජුට හිමිවෙයි.
පසුගිය මාර්තු මාසයේදී පැවති තායිලන්ත මහ මැතිවණයෙන් තවමත් පැහැදිලි ආණුඩවක් පිහිටුවා ගැනීමට නොහැකි යම් දේශපාලන අර්බුදයක් පවතින තත්ත්වයක මෙම මෞලිමංගල්‍යය පැවතියත්, වසර 70කින් පසුව එලැඹි මෙම සුවිශේෂී උත්සවය දෙස ජනතාව උනන්දුවෙන් බලා සිටින බව වාර්තා වෙයි.
මහා වජිරාලොන්ග්කෝර්න්
66 වියෙහි පසුවන අභිනව රජු, භූමිබෝල් රජුගේ දෙවැනි පුත්‍රයාය. එමෙන්ම, සිර්කිත් රැජිනගේ සහ රජුගේ පළමු වැනි පුත්‍රයාය.
බ්‍රිතාන්‍යයේදී සහ ඔස්ට්‍රේලියාවේදී වැඩිදුර අධ්‍යාපනය ලබා ඇති ඔහු කැන්බරා රාජකීය හමුදා පාසලෙන්ද අධ්‍යාපන ලබා ඇත. තායි හමුදා නිලධාරියෙකු, සිවිල් සහ ප්‍රහාරක ගුවන් යානා නියමුවෙකු ලෙසද ඔහු සුදුසුකම් ලබා ඇත.
1972 දී රාජකීය කුමරා සහ ඔටුන්න හිමි කුමරා ලෙස නිල වශයෙන් ඔහු නම් කරනු ලැබිණි.
මෑතකදී ඔහු අතගත් සුතිදා රැජින ඔහුගේ සිව්වැනි බිරිඳයි. මීට පෙර අවස්ථා තුනකදී විවාහ වූ මහා වජිරාලොන්ග්කෝර්න් රජු ඔවුන්ගෙන් දික්කසාද වී සිටින අතර, ඔහුට එම විවාහවලින් දරුවන් හත් දෙනෙකු වෙති.
කෙසේ වෙතත්, කුමාර අවධියේදී අතිශය සෙල්ලක්කාර දිවියක් ගත කළ වත්මන් රජු, සිය රාජ්‍යත්වයත් සමග යම් පරිණතබවක් පෙන්නු ඇති බව විචාරකයෝ විශ්වාසය පළ කරති.
මෞලි මංගල්‍යය
තායිලන්ත වේලාවෙන් පෙ.ව.10.09ට යෙදුණු සුබ මොහොතින් රජු රට පුරා ස්ථාන 100කින් ගෙනෙන ලද පිරිසුදු ජලයෙන් පවිත්‍රත්වයට පත්ව අභිෂේක මංගල්‍යය සඳහා සූදානම් විය.
එමෙන්ම, රාජ කකුධ හෙවත් රාජ්‍යත්වය සංකේතවත් කරන රාජ භාණ්ඩ 5ක් රජතුමා වෙත පිරිනැමෙනයි.
රජතුමාගේ ප්‍රධානත්වයෙන් මහා සංඝරත්නය වෙත දානය පිළිගැන්වීමේ මහා දන් පූජාවක්ද පැවැත්වීමට නියමිතය.
මෙම සමස්ත අභිෂේක මංගල්‍යය දින තුනක් පුරා පැවැත්වෙන උත්සව මාලාවකින් සමන්විතය.