අගමැති බොරිස් ජොන්සන් විසින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අත්හිටුවනු ලැබීම නීතියට පටහැනි බව ස්කොට්ලන්තයේ ඉහළම සිවිල් අධිකරණය (11දා) තීන්දු කර තිබේ.
අගමැති බොරිස් ජොන්සන් විසින් පාර්ලිමේන්තුව සති පහකට අත්හිටුවනු ලැබීමට එරෙහිව බ්‍රිතාන්‍ය දේශපාලන පක්ෂ කිහිපයකට අයත් කණ්ඩායමක්, ස්කොට්ලන්තයේ ඉහළම සිවිල් අධිකරණය ඉදිරියට ගිය අතර, එම නෛතික අභියෝගය විභාගයට ගත් ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය අගමැතිවරයාගේ ක්‍රියාව නීතියට පටහැනි බව පිළිගනිමින් සිය තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.
බ්‍රිතාන්‍ය යුරෝපා හවුලෙන් ඉවත්වීමේ ක්‍රියාවලිය හෙවත්, බ්‍රෙක්සිට් ක්‍රියාවලිය ඉදිරියේ තිබියදී ආණ්ඩුව පාර්ලිමේන්තුවට වගකීමේ බැඳීම වැළැක්වීමේ අටියෙන් එවැනි පියවරක් ගෙන ඇති බව අධිකරණයේ නිගමනය වී තිබේ.
වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තුව අත්හිටුවීම නීති විරෝධී බව ප්‍රකාශයට පත්කරන ලෙස ඉල්ලා සිටිමින් පෙත්සම්කරුවන් 79 දෙනෙකු ස්කොට්ලන්ත අධිකරණය ඉදිරියේ පෙත්සම් ගොනුකර තිබූ අතර, ඔවුන්ගෙන් 78 දෙනෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ය.
බ්‍රිතාන්‍ය යුරෝපා හවුලෙන් ඉවත්වීම සම්බන්ධයෙන් විධිමත් සලකා බැලීමක් සඳහා අවශ්‍ය කාලය ලබාගැනීම වළක්වාලමින්, ආණ්ඩුව පාර්ලිමේන්තුව අත්හිටුවන ලෙස රැජිනට උපදෙස් දීම නෛතික වලංගුභාවයක් නොමැති පියවරක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස එම පෙත්සම්කරුවන් සිය පෙත්සම් මගින් අධිකරණයෙන් ඉල්ලා තිබේ.
එම ඉල්ලීමට එකඟවෙමින් ස්කොට්ලන්තයේ ඉහළම සිවිල් අධිකරණය විසින් ලබාදෙන ලද තීන්දුවට එරෙහිව බ්‍රිතාන්‍ය උපරිමාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන බව බ්‍රිතාන්‍ය ආණ්ඩුව පවසයි.
පාර්ලිමේන්තුව අත්හිටුවීම නීති විරෝධී වන බව පවසමින් ස්කොට්ලන්ත අධිකරණයකට තවත් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණත් අගමැති ජොන්සන් නීතිය උල්ලංඝනය කර නොමැති බව එම අධිකරණයේ තීන්දුව වීමද විශේෂත්වයකි.