ජීවිත 157ක් බිලි ගනිමින් පසුගිය මාසයේදී අනතුරට පත් ඉතියෝපියානු ගුවන් සේවයට අයත් බෝයිං 737 මැක්ස් 8 වර්ගයේ යානය බිමට පතිත වීමට පෙර අවස්ථා කිහිපයකදීම ලම්බාකාරව පහත්වී ඇති බව යානයේ අනතුර සම්බන්ධ මූලික වාර්තාව පවසයි.
එමෙන්ම, අනතුර වළක්වා ගැනීම සඳහා යානයේ නියමුවා අවස්ථා කිහිපයකදීම බෝයිං සමාගම විසින් ලබාදී ඇති නිවැරදි ක්‍රමවේද අනුගමනය කර ඇති බවද අනාවරණය වෙයි.
නමුත්, නියමුවන්ගේ එම උත්සාහයන්ද ව්‍යර්ථ වෙමින්, ඔවුන්ට ගුවන් යානය පාලනය කරගැනීමට නොහැකිව බිමට පතිත වී ඇති බව ඉතියෝපියානු ප්‍රවාහන අමාත්‍ය ඩග්මාවිට් මෝගේස් පවසයි.
අඩ්ඩිස් අබාබා නුවරින් ගුවන්ගතව විනාඩි කිහිපයකට පසුව මෙම යානය කඩා වැටුණු අතර, එම අනතුරින් යානයේ කාර්ය මණ්ඩලය හා මගීන් සියලු දෙනා ජීවිතක්ෂයට පත්වූහ.
මෙය මාස පහක කාලයක් තුළ ඇමෙරිකානු බෝයිං සමාගමේ 737 මැක්ස් 8 යානයක් කඩා වැටුණු දෙවැනි අවස්ථාව වන අතර, මීට පෙර ලයන් එයාර් යානයක් මේ ආකාරයෙන්ම කඩා වැටී මිනිස් ජීවිත 189ක් අහිමි කර තිබුණි.