පාසලේදී හිරිහැරවලට ලක්වීම නිසා දැඩි කම්පනයකට පත්ව සිටි වයස අවුරුදු නවයක ඔස්ට්‍රේලියානු පිරිමි දරුවෙකුගේ වීඩියෝවක් සමාජජාල තුළ පැතිර යාමත් සමග ලොව නන්දෙසින් එම දරුවාට සහාය පළ වී තිබේ.
කුරුබව හේතුවෙන් පාසලේදී වෙනස්කම්වලට මුහුණ දුන් සිය පුතු ක්වාඩෙන්ගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාල වෙත මුදා හැරීමට යාරාකා බෙයිල් වන ඔහුගේ මව ක්‍රියා කළාය.
"මේ හිරිහැරවලට ලක්වීමේ ප්රතිඵලයි" යැයි ඇය එම වීඩියෝවේ පවසන අතර, එම දරුවා තම ජීවිතය අවසන් කර ගැනීමට අවශ්‍ය බව එහි පවසයි.
මෙම වීඩියෝව මිලියන 19කට වඩා වැඩි වාර ගණනක් නරඹා ඇති අතර, ලොව නන් දෙසින් සහාය ගලා එන්නට විය. එමෙන්ම, #WeStandWithQuaden යන හෑෂ් ටැගය යටතේ විවිධ පණිවිඩ පළ වී තිබිණි.
රංගන ශිල්පී හියු ජැක්මන් සහ පැසිපන්දු ක්‍රීඩක එනෙස් කාන්ටර් ඇතුළු සුප්‍රසිද්ධ පුද්ගලයන් මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති අතර, සමාජ මාධ්‍ය ජාල ඔස්සේ බොහෝ රටවල දෙමාපියන් මෙම වීඩියෝව හුවමාරු කරගෙන තිබිණි.
"ඔබට තේරෙන තරමට වඩා ඔබ ශක්තිමත්, යහළුවා" යැයි ක්වාඩෙන් වෙත පැවසූ හියු ජැක්මන් "කරුණාවන්ත වෙන්න" යැයි සියලු දෙනාගෙන් ඉල්ලීමක් කළේය.
සෑම දිනකම සිය පුතු අත්විඳින හිරිහැර ගැන පසුගියදා පළ කරන ලද මිනිත්තු 6ක වීඩියෝ පටය තුළ ක්වාඩෙන්ගේ මව එය විස්තර කරන අතර, ඔස්ට්‍රේලියානු අබොර්ජිනී පවුලක් වන ඔවුහු ක්වීන්ස්ලන්ඩ්හි දිවි ගෙවති.
"මේ දැන් මගේ පුතාව පාසලෙන් අරගත්තා, ඔහුට හිරිහැර කරනවා. විදුහල්පතිතුමාට කතා කළා. දෙමව්පියන්, අධ්‍යාපනඥයන්, ගුරුවරුන් දැනගන්න අවශ්‍යයි මේ තමයි හිරිහැර කිරීමෙන් ඇති වූ බලපෑම කියලා" යාරාකා බෙයිල් පවසන්නේ සිය පුතු ඉකිබිඳින අතරය.
"සෑම දිනකම යම් දෙයක් සිදුවෙනවා. තවත් සිද්ධියක්, තවත් හිරිහැර කිරීමක්, තවත් නින්දා කිරීමක්, තවත් නම් පටබැඳීමක්. කරුණාකර ඔබේ දරුවන්, ඔබේ පවුල්, මිතුරන් මේ ගැන දැනුවත් කළ හැකිද?" ඇය ඉල්ලා සිටින්නීය.