පිලිපීනයේ, සේබූ පළාතේ, නාගා කඳුකර ප්‍රදේශයෙහි ගම්මාන ද්විත්වයක් සම්පූර්ණයෙන්ම පාහේ නායයෑමෙන් පුද්ගලයන් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පිරිසක් අතුරුදන්ව සිටිති.
මැන්ග්ඛුට් සුළි කුණාටුව පිලිපීනයට කඩා වැදී පුද්ගලයන් 80කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූ ස්වභාවික විපතින් දින කිහිපයකට පසුව මෙම ව්‍යසනය වාර්තා විය.
මෙම සේබූ පළාත වෙත මැන්ග්ඛුට් සුළි කුණාටුව සෘජුවම බලපෑම් නොකළත්, ඒ හේතුවෙන් ඇති වූ දැඩි වර්ෂාපතනයෙන් මෙම පළාත වෙත බලපෑම් කර තිබුණේ රට පුරාම නායයෑමේ අවධානමක් ඇති කරමිනි.
ජනතාව නිවාස ඉදි කරගෙන සිටින නිම්න රැසක් සම්පූර්ණයෙන්ම පාහේ වසා ගනිමින් මෙම නායයෑම් සිදුව තිබුණේ මහා භූ කම්පනයක් ඇති වන ස්වරූපයෙනි.
මුදාගැනීමේ කණ්ඩායම් දිවාරෑ නොබලා සහන කටයුතුවල නිරත වන අතර, පොළොව අභ්‍යන්තරයේ සිරවුණු ඇතැම් පුද්ගලයන් තමන් බේරාගන්නා ලෙස ඉල්ලා කෙටි පණිවුඩ පවා එවා තිබූ බව සහන සේවකයෝ පවසති.