නවසීලන්තයේ දකුණුදිග ගම්මානයක් වූ ඔමාඋයි ගම්මානයේ කුඩා වනජීවීන් ආරක්ෂා කරගැනීමේ එක් පියවරක් ලෙස එහි වෙසෙන ජනතාවට බළලුන් ඇතිකිරීම තහනම් කිරීමට සූදානම් වෙයි.
දකුණුදිග පාරිසරික වැඩසටහන යටතේ එම ගම්මානය තුළ දැනට ජීවත්වන බළලුන් වන්ධ්‍යකරණ සැත්කමකට භාජනය කළ යුතු බවත්, ඉදිරියේදී වර්ගයා බෝ වීම වැළැක්වීම මෙහි පරමාර්ථය බවත් සඳහන් කරයි.
එමෙන්ම, එම බළලාගේ සියලු තොරතුරු සමග අදාළ පළාත් පාලන ආයතනයේ බළලා ලියාපදිංචි කිරීමටද සිදුවෙයි.
කුඩා පක්ෂීන්ගේ සහ ක්ෂීරපායින්ගේ මරණවලට බළලුන් වගකිව යුතු බව පවසමින් මෙම කරුණ ගෙනහැර දක්වා ඇතත්, මෙය බළලුන්ගේ වරදක් නොව එම බළලුන් ඇති කරන පුද්ගලයන්ගේ වරදක් බවටද ඇතමුන් හුවා දක්වති.
මෙම තහනම පැනවීමට පෙර ප්‍රදේශයේ කැමරා පද්ධතියක් සවිකර බළලුන්ගේ චර්යාවන් වීඩියෝගත කර ඇති අතර, එහිදී, බළලුන් විසින් කුඩා කුරුල්ලන්, කෘමීන් මෙන්ම උරගයින් ද සිය ගොදුරු බවට පත්කර ගන්නා බව අනාවරණය වී තිබේ.
නමුත්, උපතින්ම දඩයක්කාරයෙකු වූ බළලාද මේ පරිසර පද්ධතියේම කොටසක් බැවින් ඌ එම පරිසරයෙන් ඉවත්කිරීම හෝ බළලුන් ඇති කිරීම තහනම් කිරීම හෝ මීට සැබෑ විසඳුම නොවන බව පවසන පිරිස්ද වෙති.
කෙසේ වෙතත් මෙම සැලසුම්වලට අනුගත නොවන පුද්ගලයන්ට මුලින් දැනුම්දීමක් කෙරෙනු අතර, අවසන් නිවේදනය ලෙස බලධාරීන් පැමිණ එම සතුන් ඉවත්කිරීම සිදුකරන බව නවසීලන්තයෙන් වාර්තා වෙයි.