ඉන්දියාවේ ප්‍රථම වරට සොයාගත් B.1.617 කොවිඩ්-19 ප්‍රභේදය අවම වශයෙන් එක් අප්‍රිකානු රටක වාර්තා වී ඇති අතර, දකුණු අප්‍රිකාවේ ප්‍රථම වරට හමුවූ B1.351 ප්‍රභේදය අප්‍රිකානු රටවල් 23ක ව්‍යාප්ත වෙමින් පවතින අතර, එක්සත් රාජධානියෙන් මුලින්ම සොයාගත් B1.1.7 ප්‍රභේදය අප්‍රිකානු රටවල් 20කින් සොයාගෙන ඇති බව කියයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අප්‍රිකානු කාර්යාංශය අනතුරු ඇඟවූයේ එන්නත් කඩිනමින් ලබාදීම සම්බන්ධයෙන් මහාද්වීපයට සෙසු ලෝකය සමග සම්බන්ධ වීමට සිදුව ඇති බවයි. නව ප්රභේදයන් මතුවීම යන්නෙන් අදහස් වන්නේ නව ආසාදන රැල්ලක අවදානම ඉතා ඉහළ මට්ටමක පවතින බව යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.
සමහර අප්‍රිකානු රටවල් එන්නත් ලබාදීමේදී ආදර්ශවත් වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එසේ තිබියදීත්, අප්‍රිකාවට මෙතෙක් ලබා දී ඇත්තේ එන්නත් මාත්‍රාවන් මිලියන 37න් අඩක් පමණක් බවද පෙන්වා දෙයි.
"අපි එන්නත් සමානාත්මතාව ඉල්ලා සිටින අතරම, අප්‍රිකාවද මේ අවස්ථාවේ අප සතුව ඇති දේවලින් උපරිම ප්‍රයෝජන ගත යුතුයි. අප සතුව ඇති සියලුම මාත්‍රාවන් මිනිසුන්ගේ අතට පත් කළ යුතුයි" යනුවෙන් අප්‍රිකාවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාපීය අධ්යක්ෂ මැට්ෂිඩිසෝ මොයිටි පැවසීය.
අප්‍රිකාවේ එන්නත් කිරීමේ අනුපාතය ලෝකයේ අඩුම අගයයි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ගෝලීය වශයෙන් සාමාන්‍යයෙන් පුද්ගලයින් 1,000කට එන්නත් මාත්‍රාවන් 150ක් ලබා දී ඇත. නමුත් සහරා අප්‍රිකානු කලාපයේ එය දහසකට මාත්‍රා 8ක් පමණි.
COVAX යෝජනා ක්‍රමය යටතේ අප්‍රිකානු රටවල් 41කට පළමු එන්නත ලබාදීම මාර්තු මාසයේ ආරම්භ වූ නමුත් රටවල් 9ක් මේ දක්වා ලබාදී ඇත්තේ මාත්‍රාවෙන් හතරෙන් එකක් පමණි. රටවල් 15ක් ඔවුන්ගේ ප්‍රතිපාදනවලින් අඩකටත් වඩා අඩු ප්‍රමාණයක් භාවිත කර ඇත.
"ඉන්දියාවේ ඛේදවාචකය අප්‍රිකාවේ සිදුවිය යුතු නැහැ. නමුත් අප සැවොම හැකි උපරිමයෙන් සෝදිසියෙන් සිටිය යුතුයි" යනුවෙන් මොයිටි පැවසීය. වෛද්‍ය ඔක්සිජන් ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ සැපයීම සහ දරුණු ලෙස රෝගාතුර වූ රෝගීන් සඳහා ප්‍රමාණවත් තරම් ඇඳන් ඇති බව සහතික කිරීම වැදගත් බවද හෙතෙම සඳහන් කළේය.