හදිසි ගින්නකින් විනාශයට පත්වූ නොත්‍ර දාම් දේවස්ථානය පැවතියාටත් වඩා ඉතා ආකර්ෂණීය ලෙස වසර 5ක් තුළ ප්‍රතිසංස්කරණය කරන බව ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන් පවසයි.
ගොතික් සම්ප්‍රදායට අයත් මෙම ගොඩනැගිල්ල වසර 850ක් පමණ පැරණි වන අතර, පසුගිය 15දා එහි හදිසියේ ඇති වූ ගින්නකින් මෙම ඓතිහාසික ගොඩනැගිල්ලට දැඩි හානි සිදුවිය.
දේවස්ථානයේ මුදුනත ගිනිබත් වී කඩා වැටුණු අතර, වහළයේ බොහෝ කොටසක් ගින්නෙන් විනාශ විය. ගින්න නිසා තව සුළු මොහොතක් පමා වූයේ නම් දේවස්ථානය සම්පූර්ණයෙන් විනාශ වීමට පවා ඉඩ තිබූ බව නිලධාරීහු පවසති.
කෙසේ වෙතත්, විශේෂඥයන් පවසන්නේ ප්‍රංශ ජනාධිපතිවරයා කවරක් කීවද, මෙම දැවැන්ත ප්‍රතිසංස්කරණ කාර්යය සඳහා වසර 10ක් පමණ ගතවිය හැකි බවය.
මෙම ගින්නට හේතු සෙවීම සඳහා 50 දෙනෙකු පත්කර ඇති අතර, මෙය එහි දැනටමත් සිදුවෙමින් පැවති ප්‍රතිසංස්කරණ අතරතුර සිදුවූ අනතුරක් විය හැකි බව විශ්වාස කෙරෙයි.
එමෙන්ම, යුනෙස්කෝ ලෝක උරුමයක් වන මෙම ගොඩනැගිල්ල යළි ගොඩනැගීම සඳහා ප්‍රංශයේ විවිධ සමාගම් සහ ධනවතුන් අති විශාල ධනස්කන්ධයක් ලබාදීමට දැනටමත් පොරොන්දු වී ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.