දකුණු කොරියාවේ ශ්‍රී ලාංකිකයන් බහුලව වාසය කරන තේගු නගරය මෙන්ම තවත් නගරයක් ආශ්‍රිතව කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය පැතිරීම ඉහළ යෑම නිසා එය අවධානම් කලාපයක් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
මේ තත්ත්වයත් සමග චීනයෙන් පිටත නව කොරෝනා වෛරසයේ පැතිර යාම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍යය සංවිධානයේ අවධානය යොමුව ඇති බව විදෙස් වාර්තා පවසයි.
චීන බලධාරීන්ට අනුව එරට තුළ කොරෝනා ආසාදිතයන් සැලකිය යුතු ලෙස අඩුවෙමින්, සුවය ලැබූවන්ද 20,000 ඉක්මවා තිබුණද, දකුණු කොරියාව, ඉතාලිය, ඉරානය ආදී චීනයට පිටත රටවල කොරෝනා ආසාදිතයන් වැඩිවීම තුළ මෙම අවධානය යොමුව ඇත.
ඒ අනුව, චීනයෙන් පිටත මේ වනවිට කොරෝනා ආසාදිතයන් පිරිස 1,200ක් පමණ වන අතර, මේ වනවිට රාජ්‍යයන් 26කින් නව කොරෝනා වෛරස ආසාදිතයන් හමුවී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.