පැරිස් නගරයේ සංකේතයක් ලෙස සැලකෙන මධ්‍යතන යුගයට අයත් ජේසුස් වහන්සේගේ කටු ඔටුන්න තැන්පත්ව ඇතැයි පැවසෙන නොත්‍ර දාම් හි ඓතිහාසක දේවස්ථානයේ කොටසක් පසුගියදා ඇති වූ ගින්නකින් සම්පූර්ණයෙන්ම විනාශයට පත්විය.
ගොතික් සම්ප්‍රදායට සැකසුසුණු වසර 850ක් පැරණි මෙම ඓතිහාසික ගොඩනැගිල්ලේ දැවැන්ත කුලුණු දෙකක් ඇතුළු ප්‍රධාන හෛලමය සැකිල්ල ආරක්ෂා කරගැනීමට ගිනි නිවන හමුදාව සමත් වුවත්, මුදුනත වූ පිරමීඩාකාර කොටස සම්පූර්ණයෙන් විනාශයට පත්විය.
කෙසේ වෙතත්, ගින්න සම්පූර්ණයෙන් පාලනය කර තිබුණේ ගින්න හටගෙන පැය 9කට අධික කාලයක් ගතවූ පසුවය.
දේවස්ථානයේ සිදුකරමින් පැවති ප්‍රතිසංස්කරණ කටයුත්තක් ගින්නට හේතු වී ඇති අතර, මෙය අනතුරක් ලෙස සලකමින් විමර්ශන ආරම්භ කර තිබුණි.
සඳුදා රාත්‍රියේ ගින්නෙන් දැවුණු දේවස්ථානය වෙත පැමිණි ප්‍රංශ ජනපති මැක්රෝන් පැවසුවේ, දේවස්ථානයේ ප්‍රධාන සැකිල්ල ආරක්ෂා කිරීම නිසා නරකම තත්ත්වය වැළැක්වී ඇති බවය. දේවස්ථානය යළි යථාතත්ත්වයට පත් කිරීම සඳහා ප්‍රතිපාදන රැස් කිරීමේ ජාත්‍යන්තර ව්‍යාපෘතියක් අරඹන බවද ඔහු අවධාරණය කළේය.
එමෙන්ම, දේවස්ථානය තුළ තිබූ කලා නිර්මාණ සහ ආගමික වස්තු බේරාගැනීමටද ගිනි නිවන භටයින් සමත් වී තිබේ. ජේසුස් වහන්සේ කුරුසයේ තබා ඇණ ගැසීමට පෙර පැළඳ සිටි 'කටු ඔටුන්න' ලෙස සැලකෙන ඔටුන්න ද නිරූපද්‍රිතව බේරා ගැනීමට මෙහිදී හැකි වී තිබේ.