ජපානය පුරා පවතින කම්කරු හිඟයට පිළියමක් ලෙස විදෙස් ශ්‍රමිකයන්ට දහස් ගණනකට එරට තුළ රැකියා කිරීමේ අවස්ථාව උදා කරන විවාදාත්මක පනතකට ජපාන පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව, ලබන අප්‍රේල් මාසයේ සිට ජපානයේ ඉදිකිරීම්, ගොවිතැන් සහ හෙද වෘත්තීන් සඳහා විදෙස් ශ්‍රමිකයන්ට අයදුම් කිරීමේ අවස්ථාව උදාවනු ඇත.
ජපානය සාම්ප්රදායිකවම සංක්‍රමණ සඳහා දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කළද මේ වනවිට අධික වයස්ගත ජනගහනයක් එරට සිටින නිසා විදෙස් ශ්‍රමිකයන්ගේ අවශ්‍යතාව තදින්ම දැනෙන බව ජපාන බලධාරීහු පවසති.
කෙසේ වෙතත්, ජපානයේ විරුද්ධ පක්ෂ මේ සඳහා තදින්ම විරුද්ධව ඇති අතර, ඔවුන් පවසන්නේ ජපාන සම්ප්‍රදායන් මෙම සංක්‍රමණිකයන් නිසා විනාශ වීමේ අවදානමක් පවතින බවයි.
මෙම නව නීතියට අනුව ශ්‍රමිකයන් ලක්ෂ 3කට ජපානය වෙත ඇතුළු වීමේ අවස්ථාව නව වීසා ප්‍රවර්ග දෙකක් යටතේ හිමිවනු ඇත. එහි පළමු ප්රවර්ගයේදී යම් මට්ටමක වෘත්තීය සුදුසුකම් සහ ජපාන භාෂාව ප්‍රගුණ පිරිස් වෙත වසර පහක වීසා හිමිවන අතර, ඉහළ වෘත්තීය සුදුසුකම් සහ ජපාන භාෂාව ප්‍රගුණ පිරිස් වෙත දෙවැනි ප්‍රවර්ගය යටතේ වීසා හිමිවනු ඇත. එමෙන්ම, මෙම දෙවැනි ප්‍රවර්ගය යටතේ පිරිස් වෙත ජපානයේ ස්ථිර පදිංචියටද අයැදුම් කිරීමේ හැකියාව පවතින බව කියයි.