ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවති පසුගිය ජනාධිපතිවරණයේදී වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ජයග්‍රහණය වෙනුවෙන් රුසියාවේ සහාය ලබාගෙන නොමැති බව එම මැතිවරණය සම්බන්ධයෙන් පැවති මුලර් වාර්තාව පවසයි.
කෙසේ වෙතත්, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ප්රචාරක ව්‍යාපාරය සහ රුසියානු බලධාරීන් අතර සමීප සම්බන්ධයක් පැවතියේද යන්න පිළිබඳව පැවැත්වුණු පරීක්ෂණයේ සම්පුර්ණ වාර්තාව කොංග්රස් මණ්ඩලයට ලබාදෙන ලෙස එරට කොංග්රස් සභාවේ අධිකරණ කමිටුවේ සභාපති ජෙරී නැඩ්ලර් නියෝග කර තිබේ.
FBI ආයතනය හෙවත්, ඇමෙරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන රොබට් මුලර් අදාළ විමර්ශන කටයුතුවල ප්‍රධානියා ලෙස කටයුතු කරමින් සිදුකළ මෙම විමර්ශනයේ සංක්ෂිප්ත වාර්තාව පසුගිය 18දා එළිදක්වනු ලැබීය.
ජනාධිපති ට්‍රම්ප් විසින් රුසියාව සමඟ එක් වී වංචාවක් කරනු ලැබ ඇතැයි ඔහුගේ පරීක්ෂණයෙන් ඔප්පු වී නැතත්, එම පරීක්ෂණයට ඔහු බාධා පැමිණ වූ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් නිශ්චිත නිගමනයකට එම වාර්තාවෙන් එලඹ නැති බව කියැවෙයි. ඒ අනුව, යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට ජනාධිපති ට්‍රම්ප් විසින් බාධා කරන ලද බවට එල්ල වන චෝදනා පසුපස යමින් ඊට එරෙහිව ක්‍රියා කිරීමට ඔහුගේ ප්‍රතිවාදීන් සැලසුම් කරමින් සිටින බව විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ කණ්ඩායම කියා සිටින්නේ මෙම වාර්තාව නිකුත් වීමත් සමග සියලු චෝදනාවලින් ට්‍රම්ප් නිදහස් වී ඇති බවය. පිටු 448කින් යුත් වාර්තාව ප්‍රසිද්ධියට පත් කෙරුණේ මාස 22ක් තිස්සේ පැවති පරීක්ෂණයකින් අනතුරුවය.