ජෝන් මැකේන්ගේ ඇමෙරිකාව යළිත් වරක් ශ්‍රේෂ්ඨ ඇමෙරිකාවක් කිරීමට අවශ්‍ය නොවන බවත්, ඇමෙරිකාව සෑමවිටම ශ්‍රේෂ්ඨ රාජ්‍යයක් බවත් ජෝන් මැකේන් අවමංගල්‍ය සභාව අමතමින් දියණිය මේඝන් මැකේන් පවසයි.
"ජෝන් සිඩ්නි මැකේන් යනු බොහෝ දේවල්. ඔහු නාවුකයෙක්. ඔහු ගුවන් නැවියෙක්. ඔහු ස්වාමි පුරුෂයෙක්. ඔහු රණකාමියෙක්. ඔහු සිරකරුවෙක්. ඔහු යුද විරුවෙක්. ඔහු කොංග්රස් සභිකයෙක්. ඔහු සෙනට් සභිකයෙක්. ඒ වගේම, ඔහු ඇමෙරිකානු ජනාධිපති අපේක්ෂකයෙක්.
මේ සියල්ල ඔහු ගත කළ ජීවිතයේ ඔහු දැරූ තත්ත්වයන්. නමුත්, ඒ කිසිවක් ඔහු ජීවිතයේ දැරූ උසස්ම තත්ත්වයවත්, ඔහු ඉසිලූ ඉතා වැදගත්ම කාර්ය භාරයවත් නොවෙයි. ඔහු ඉතා හොඳ මනුස්සයෙක්.
ජෝන් මැකේන්ගේ ඇමෙරිකාව යළිත් වරක් ශ්‍රේෂ්ඨ ඇමෙරිකාවක් කිරීමට අවශ්‍ය නෑ. මොකද, සෑමවිටම ඇමෙරිකාව ශ්‍රේෂ්ඨ රාජ්‍යයක්." යැයි මේඝන් මැකේන් පවසා සිටියාය.
මෙම අවස්ථාවේදී හිටපු ඇමෙරිකානු ජනාධිපති සහ වරක් මැකේන් සමග ප්රතිවාදීව තරග කරමින් ජනපති සටන ජයග්‍රහණය කළ බරැක් ඔබාමාද කතා කළේය. ඔහු මෙන්ම, හිටපු ජනපති ආර්යා මිෂෙල් ඔබාමාද මෙම අවස්ථාවට එක්ව සිටියාය.
එමෙන්ම, ඇමෙරිකා එක්සත් ජනපදයේ තවත් හිටපු ජනපතිවරයෙකු වූ ජෝර්ජ් ඩබ්. බුෂ්ද මෙහිදී කතා පැවැත්වීය. හිටපු ජනපති බිල් ක්ලින්ටන් සහ හිලරිි ක්ලින්ටන්ද අවමංගල්‍ය උත්සවයට සහභාගී වී සිටියහ.
රිපබ්ලිකන් සෙනට් සභිකයෙකු ලෙස ඇමෙරිකානු සෙනට් මණ්ඩලය නියෝජනය කළද ඔහු වත්මන් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩිව විවේචනය කළ අයෙකු විය.
මේ නිසාම, මැකේන් ජීවිතක්ෂයට පත්වූ මොහොතේ සිටම වත්මන් ජනාධිපතිවරයා ඔහු වෙනුවෙන් රාජ්‍ය ගෞරව පැවැත්වීම දුර්වල මට්ටමක පැවති බවටද චෝදනා එල්ල විය.
ඊට වඩාත් හොඳ ප්‍රතිචාරයක් ලබාදෙමින් මැකේන්ගේ දියණිය මේඝන් සිය පියාගේ දේහය අභියස සිට අවමංගල්‍ය කතාව අවසන් කළේ වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ 'ඇමෙරිකාව යළිත් ශ්‍රේෂ්ඨ රාජ්‍යයක් කරමු' යන සටන් පාඨය සුනුවිසුණු කරමිනි.