චීනයේ කැනේඩියානු තානාපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ධුරයෙන් නෙරපා හැරීමට කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ කටයුතු කර තිබේ.
චීනයේ කැනේඩියානු තානාපතිවරයා ලෙස කටයුතු කළ ජෝන් මැකලම්, චීනයේ හුවාවේ සමාගමේ විධායක නිලධාරිනියක අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සිදුකළ විවාදාත්මක අදහස් දැක්වීමත් ඔහුට සිය ධුරය අහිමි වීමට හේතු වී ඇත.
නිවේදනයක් මගින් කැනඩා අගමැතිවරයා පවසා සිටියේ මැකලම් වෙත ධුරයෙන් ඉවත්වන ලෙස තමා නිල වශයෙන් ඉල්ලීමක් කළ බවයි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉල්ලීමක් පරිදි හුවාවේ සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරිනී මෙන්ග් වැන්සොව් අත්අඩංගුවට ගැනීමට කැනඩාව කටයුතු කළ අතර, එය දෙරට අතර සබඳතා බිඳ වැටීමට හේතු විය.
ඉරානය වෙත ඇමෙරිකාව පනවා ඇති සම්බාධක උල්ලංඝනය කළේ යැයි යන චෝදනා යටතේ ඇය අත්අඩංගුවට ගත් අතර, මෙම චෝදනා මෙන්ග් සහ හුවාවේ සමාගම තරයේ ප්‍රතික්ෂේප කරයි.
එහිදී, මැකලම් පසුගිය අඟහරුවාදා ප්‍රසිද්ධියේ කියා තිබුණේ මෙන්ග් මහත්මිය, අත්අඩංගුවට ගන්නා ලෙස සිදුකළ ඉල්ලීම අතිශය දෝෂ සහිත බවයි.
කෙසේ වෙතත්, ඊට පසුදින නිවේදනයක් නිකුත් කරමින් තමා වැරදීමකින් එම අදහස් දැක්වීම සිදුකළ බවත්, ඉන් යම් ව්‍යාකූලත්වයක් ඇතිවූයේ නම් ඊට සමාව ඉල්ලා සිටින බවත් ඔහු කියා සිටියේය.
නමුත්, නැවතත් පසුගිය සිකුරාදා ප්‍රකාශයක් කරමින් ඔහු කියා තිබුණේ ඇමෙරිකාවේ ඉල්ලීම ඉවත දැමීමට කැනඩාවට හැකි නම් එය කැනඩාවට සුවිශේෂී වනු ඇති බවයි.
මේ ප්‍රකාශයන් ඔහුට සිය ධුරය අහිමි වීමට හේතු වී ඇත. කෙසේ වෙතත්, තානාපති මැකලම් කෘතහස්ථ රාජතාන්ත්රිකයෙකු බව කියා සිටි අගමැතිවරයා, ඔහු කැනේඩියානු රජයේ ධුරයන් රැසක් හෙබවූ බවද සිහිපත් කරයි. එම සේවය වෙනුවෙන් ඔහුට මෙන්ම, ඔහුගේ පවුලේ සැමට ස්තූතිය පළ කිරීමටද අගමැතිවරයා කටයුතු කර ඇත.