ඇමෙරිකා එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් ප්රාන්තයේ, බොස්ටන් හි ගෑස් නල පිපිරීමක් හේතුවෙන් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තවත් පිරිසක් තුවාල ලබා තිබේ.
එම පළාතේ පොලීසිය පවසා සිටියේ නිවාස හා දේපළ රැසක පිපිරීම් සහ ගිනි ගැනීම් වාර්තා වූ බවයි.
මෙම තත්ත්වයත් සමග නිවෙස්වල පදිංචිව සිටි සිය ගණනක් ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇති අතර, ගිනි ගැනීම් හා පිපිරීම් පාලනය සඳහා විදුලිය කපා දැමීමටද පියවර ගෙන තිබේ.
පළාත් ගිනි නිවන හමුදා ප්රධානියා පවසා සිටියේ තමන්ගේ 39 වසරක සේවා කාලය තුළ මෙවැනි ගිනි ගැනීම් තත්ත්වයක් හා පිපිරීමක් නොදුටු බවයි.
බලධාරීන් පවසන්නේ ගිනි ගැනීම් 60 - 80 ත් අතර ප්රමාණයක් වාර්තා වන අතර, පිපිරීම්ද විශාල ප්රමාණයක් සිදුව ඇති බවයි.
එරට වේලාවෙන් සවස 4.30ට පමණ මෙම සිද්ධිය ආරම්භ වූ බවත්, පසුව දිගින් දිගටම පිපිරීම් හා ගිනි ගැනීම් වාර්තා වූ බවත් සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.
ගිනි නිවන හමුදාව සහ පොලීසිය එක්ව ගින්න මැඬපැවැත්වීම සඳහා කටයුතු කරමින් සිටියි.